කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
උපාධිධාරි රජයේ රැකියාවක නියැලී සිටින අවිවාහක දියණියට විවිධ තරාතිරමේ මනාලයන් පනස් දෙනකු නිවසට ගෙන්වාගෙන තොරතුරු සොයා බැලුව ද ගැළපෙන මනාලයකු සොයා ගැනීමට නොහැකි වූ අපූරු මවක පිළිබඳ පුවතක් සබරගමුව පළාතේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
සබරගමුව පළාතේ ග්‍රාමයක දරුවන් තිදෙනකු සිටින මවක් සිටියි. ඇගේ සැමියා කලකට ඉහතදී මිය ගියේය. මෙම තිදරු මවගේ වැඩිමල් දරුවා පිරිමි දරුවෙක්ය. දෙවැනි හා තෙවැනි දරුවන් ගැහැනු දරුවන්ය. වැඩිමල් පිරිමි දරුවා රජයේ රැකියාවක් කරන්නේය. ඔහු කලකට ඉහතදී රජයේ රැකියාවක් කරන තරුණියක විවාහ කරගෙන නිවසට කැන්ඳාගෙන පැමිණි අතර. දෙවැනි දියණිය තරුණයකුට කලකට ඉහතදී විවාහ කර දී ඇත.
බාල දියණිය 35 හැවිරිදි තලෙළු තරුණියකි. ඇය උපාධිධාරි රජයේ රැකියාවක් කරන්නේය. තාම ඇය අවිවාහකය. බාල දියණිය විවාහ කර දීමට මව වසර ගණනාවක සිට මනාලයකු සොයන්නීය. විවිධ තරාතිරමේ තරුණ මනාලයින් පනස් දෙනකු දැනට නිවසට විවිධ පුද්ගලයින් ලවා කැඳවා මව තොරතුරු විමසා බැලුවාය.
තරුණිය බැලීමට පැමිණි බොහෝ තරුණයෝ උපාධිධාරි තරුණිය විවාහ කර ගැනීමට දැඩි කැමැත්ත ප්‍රකාශ කළහ. තරුණිය ද පැමිණ සිටි මනාලයන් කිහිප දෙනකුට දැඩි කැමැත්ත ප්‍රකාශ කර තිබුණි. මව මොකක් හෝ ඔවුන්ගේ අඩුපාඩුවක් පෙන්වා දී විරුද්ධතාව ප්‍රකාශ කරන්නීය. අවසානයේ ඔවුහු හිස් අතින් ආපසු හැරී යති.
මෑතකදී තරුණියගේ වැඩිමල් පිරිමි සහෝදරයා 38 හැවිරිදි රජයේ රැකියාවක් සිදු කරන එකම පිරිමි දරුවකු සිටින පවුලක තරුණ මනාලයකු නිවසට ගෙන්වා තිබුණි. එහිදී තරුණිය ද වැඩිමල් සහෝදරයා ද තරුණයාට කැමැත්ත ප්‍රකාශ කර තිබුණ ද මනාලයාගේ හම සුදු වැඩියි යැයි පවසා එයට ද තරුණියගේ මව අකුල් හෙළා නතර කර දැමිණ.
‘‘නංගිට ද මනාලයෙක් හොයන්නේ අම්මාට ද මට නම් පැහැදිලි නෑ. කවදාවත් නංගිට කොල්ලෙක් අම්මා ඉන්නකම් හොයන්න හම්බ වෙන්නේ නෑ. මම මීට පස්සේ කොල්ලෝ හොයන්නේ නෑ’’ තරුණියගේ වැඩිමල් සහෝදරයා මවගේ මූණටම කීවේය. ‘‘මම ගණන් හදලා බැලුවා නංගි බලන්න කොල්ලෝ පනහක් ගෙදරට ගෙන්නලා තියෙනවා. අපූරු කොල්ලෝ ආවා. අම්මා මොකක් හරි උන්ගේ ඇදයක් කියලා පෙන්වා දීලා නතර කරලා දානවා. නාකි වෙයි නංගි ගෙදරටම’’ තිදරු මව හමුවේ ඇගේ වැඩිමල් පිරිමි දරුවා ආවේගශීලිව පැවැසීය.
තරුණියගේ මව මෑතකදී යළි මගුල් කපුවන් කිහිප දෙනකු නිවසට ගෙන්වා අත්තිකාරම් මුදලක් ද ඔවුනට දී දියණියට ගැළපෙන මනාලයෙක් යළි සොයා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. තමන් හොඳ මනාලයන් කිහිප දෙනකු ගෙන්වුව ද එකකටවත් කැමති නොවූ බවත්, එදා කසාද බැන්ඳා නම් අද ලොකු දරුවන් සිටින බවත් කපු මහතෙක් කාන්තාව හමුවේ පැවසීය. තිදරු මව මුහුණ බිමට හරවා ගෙන ‘‘ඒක නම් ඇත්තයි කපු මහත්තයා, අතේ ඇඟිලි එක සමාන දිගට නැති බව මට වැටහුණා. අංගසම්පූර්ණම කොල්ලෝ හොයන්න බෑ. කොල්ලෝ 50 ක් ගෙදරට ගෙන්වා තියෙනවා කියලා ලොකු පුතා මට කෑ ගැහුවා. 51 වැනියාවත් විවාහ කර දෙන්න හොඳ කොල්ලෙක් හොයාගෙන එන්න, නැතිනම් දුව වයසට යනවා’’ යැයි තිදරු මව කපු මහත්වරුන් හමුවේ බැගැහැපත්ව යළි ඉල්ලීමක් කර ඇති වාර්තා වන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd