මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම 



විභාගයට පෙර අපල උපදුව දුරලන්නට සුදානම් කළ යන්ත්‍රය දරුවා දමන්නට පළමුව රිළවකු රැගෙන ගිය පුවතක් යාපහුව අඩවියෙන් අසන්නට ලැබෙයි.
ලෙඩ දුක්වලට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා වෙදකම් කරන ස්ථානයකි.එමෙන්ම බාරහාර වෙන තැනකි.
මෙවර උසස් පෙළ විභාගයට ඇත්තේ තවත් දින කිහිපයකි. මේ නිසා කෙම්මුර දිනවලදී පන්සල් බිම පාසල් දරුවන්ගෙන් පිරී ඉතිරී පවතී. ඒ විභාගය ඉහළින් සමත්වීමට සෙත් ශාන්තිය ලබා ගැනීම හා දෙවියන්ට බාරවීම උදෙසාය. 
බාර හාර සිදුකරන්නේ ගිහි කපු මහතකු විසිනි.


එම කපු මහතා හදහන් බැලීමටද හපනෙකි. එලෙස හදහන බැලු‍ දරුවකුට මාරක අපලයකි. ඒ සඳහා යන්ත්‍රයක් දැමිය යුතුව ඇත. දරුවාට වඩා මව්පියෝ එය දැමීමට යුහුසුළුව පියවර ගත්හ.
අවැසි තඹ කොළ, සුදු යකඩ සුරය තෙල්,මල්,බුලත්,පුවක්,පඩුරු  රැගෙන කල්වේලා ඇතිව ඔවුහු  දරුවාද කැටුව පැමිණියහ.
කපු මහතා පළමුව දේවාලයට ගොස් යාතිකා කළේය. ඒ අසල වට්ටියක සකසා ඇති දැහැත් වට්ටියේ යන්ත්‍රය තබා දෙහි කපා යන්ත්‍රය  දැමීමට සූදානම් වුවත් යන්ත්‍රය දක්නට නැත. එය ඒ අසල ගැවසුණු රිළවකු සියල්ලන්ගේ ඇස් වසා ඩැහැගෙන ගොස් බෝ ගසේ මුදුනේ සිටිනු එහි සිටි අයකුගේ නෙතගට ගැටුණි.
සෙත් ශාන්තියට ගත කළ කාලයට වඩා යන්ත්‍රය රිළවාගෙන් ගැනීමට වැඩි කාලයක් පිරිස එක්ව කටයුතු කළත් එය ගඟට කැපු ඉණි මෙන් නිශ්ඵල වී ඇති බවත්, මේ අලකලංචිය නිසා එම දරුවාට යන්ත්‍රය දැමීම පමණක් නොව අන් දරුවන්ට බාර හාර වීමද ඊළඟ කෙම්මුර  දිනයට කල් තබා ඇති බවත්  දැන ගන්නට තිබේ.