පෙම්වතියට ගිහිල්ලා දෙන්න යැයි යුරෝපා රටක සිට බාල සහෝදරයා එවා තිබුණු චොකලට් පාර්සලය කඩා දරුවන්ට කොටසක් දී ඉතිරි කොටස පෙම්වතියට ගිහිල්ලා  දී ඇතැයි කියන සහෝදරියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 28 හැවිරිදි තරුණයකු මීට මාස 10 ට පමණ ඉහතදී යුරෝපා රටක රැකියාවකට ගොස් තිබේ. මෙම තරුණයාගේ නිවසේ මවුපියන් සමග ඔහුගේ විවාහක දරුවන් තිදෙනෙකු සිටින වැඩිමල් සහෝදරිය ද ජීවත් වෙමින් සිටී.
මෙම තරුණයා විදේශ ගත වීමට පෙර වරකාපොළ ප්‍රදේශයේ ඇඟළුම් ආයතනයක විදුලි කාර්මික ශිල්පියකු ලෙස සිව් වසරක සේවා කාලයක් ගතකර තිබේ. ඇඟළුම් කර්මාන්ත ශාලාවේ රැකියාවට යන එන අවස්ථාවේ දී තරුණයා එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන දෙදෙනා පෙමින් වෙලී සිටියහ.


ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කර උපයන මාසික සොච්චම් වැටුපෙන් ඉඩම් කැබැල්ලක් ගෙන අලංකාර නිවසක් කවදාවත් තනා ගැනීමට නොහැකි යැයි සිතූ තරුණයා මීට මාස 10 ට පමණ ඉහතදී යුරෝපා රටක රැකියාවකට දිවයිනෙන් පිටත්ව ගියේය. තරුණයා විදේශ ගත වූ දිනයේ ඔහුගේ පෙම්වතිය ද ගුවන් තොටුපොළට පැමිණ හඬා වැලපෙමින් විදේශ ගත නොවන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කළාය. ”‍ මටම කියලා කවදා හරි දවසක ඉඩම් කැබැල්ලක් අරගෙන ගෙයක් හදලා ඔයා ඒ ගෙදරට එක්කරගෙන යනවා අනිවාර්යයෙන්ම. ඒ හින්දා තමයි මම රට යන්න තීරණය කළේ”‍ යැයි හඬා වැලපෙමින් සිටි පෙම්වතිය සනසාලමින් තරුණයා විදේශ ගත විය.
තරුණයා විදේශ ගත වූ දිනයේ සිට සිය පෙම්වතියට වීඩියෝ කෝල් ගෙන දෙදෙනාගේ තොරතුරු හුවමාරු කර ගත්හ. දැනට තරුණයා විදේශ ගතව මාස දහයකි. තරුණයා රැකියාව කරන ආයතනයේ නිට්ටඹුව ප්‍රදේශයේ තරුණයකු වසර තුනකට පසුව ලංකාවට පැමිණීමට තීරණය කර තිබුණේ මාස කිහිපයක සිටය. පසුව තරුණයා පෙම්වතියටයි වැඩිමල් සහොදරියගේ දරුවන්ටයි යැයි පවසා වෙන වෙනම චොකලට් පාර්සල් දෙකක් එක් බෑගයකට දමා නිට්ටඹුවේ මිතුරා අතේ ලංකාවට එවා තිබුණි. ලංකාවට පැමිණි තරුණයා චොකලට් පාර්සලය කෑගල්ලේ මිතුරාගේ නිවසට ගොස් වැඩිමහල් සහොදරියට දී තිබේ. 
මෙතන වෙන වෙනම චොකලට් පාර්සල් දෙකක් තියෙනවා කියලා කිව්වා. එකක් ඔයාලා ගන්න. අනික මල්ලිගේ පෙම්වතියට ගිහිල්ලා දෙන්න යැයි තරුණයා කාන්තාවගෙන් ඉල්ලීමක් කෙරිණ.”‍  හා මල්ලී මම අපේ මල්ලී යාළුවෙලා ඉන්න නංගිට ගිහිල්ලා දෙන්නම් යැයි වැඩිමල් සහෝදරිය පවසා චොකලට් පාර්සලය ගෙන තිබේ. බෑගය විවෘත කර ඇති වැඩිමල් සහෝදරිය ඔවුන්ගේ චොකලට් පාර්සලය විවෘත කර බැලු‍වාය. පසුව සහෝදරයාගේ පෙම්වතියට දෙන්න යැයි පවසා ඒවා තිබුණු චොකලට් පාර්සලය ද විවෘත කර බලා චොකලට් කිහිපයක් ගෙන ඉතිරි ටික සහොදරයාගේ පෙම්වතියට වරකාපොළ නගරයට පැමිණෙන්න යැයි පවසා රැගෙන ගොස් දී තිබේ.
සිය චොකලට් පාර්සලය කවුරු හරි කඩා ඇති බවත් චොකලට් එහි අඩු බවත් දැන ගත් තරුණිය එකී අවස්ථාවේදීම විදේශ ගතව සිටින සිය පෙම්වතාට දුරකතනයෙන් පැවසුවාය. වහාම විදේශ ගතව සිටින තරුණයා වැඩිමල් සහොදරියගේ දුරකතනයට ඇමතුමක් ගෙන ඇයගෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමසීය. 
‘‘එයාට එච්චර චොකලට් මොකට ද මම ඒ පාර්සලයත් කඩලා ටිකක් ගත්තා මගේ ළමයින්ට දෙන්න”‍ පසුව බාල සහෝදරයා දුරකකනයෙන් වැඩිමල් සහෝදරියට පරුෂ වචනයෙන් බැන වැදී එදින සිට දෙදෙනා කතා බහා නොකරන බවත් වාර්තා වෙයි.”‍ මම ඔයාට තව මාස කිහිපයකින් චොකලට් පාර්සලයක් මිතුරකු අතේ එවන්නම් යැයි තරුණයා පෙම්වතියට දන්වා තිබේ.

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න