රෝගීව රෝහලේ ප‍්‍රතිකාර ලබන අම්මා ආපසු කැඳවාගෙන යාම පුතා හා දියණිය ප‍්‍රතික්‍ෂේප කරමින් එකිනෙකා වාද කරමින් සිටින අතරදී අම්මා මියගිය බව දැන ගැනීමෙන් පසුවද එම වාදය දුරදිග යාමේ පුවතක් සියනෑවේ පොලිසියකින් පසුගියදා අසන්නට ලැබිණි.

 මේ මවට දරුවෝ  දෙදෙනෙකි. ඒ පුතා හා දුවය. අම්මා සිටියේ පුතා හා ලේලිය සමගය. අසනීප වූ අම්මා රෝහල්ගත කෙරිණි. ඇගේ තත්ත්වය අසාධ්‍ය විය. ප‍්‍රතිකාරවලින් පලක් නැති නිසා මව ගෙදර යාම සුදුසු බව වෛද්‍ය නිර්දේශය විය.

 අම්මා යළි ගෙදර කැඳවාගෙන එනවාට ලේලිය විරුද්ධත්වය පෑවාය. අයියා කීවේ නංගීගේ ගෙදර අම්මා කැඳවාගෙන  යන ලෙසය. ඇයට ඒ සඳහා පහසුකම් නැති බව ඇය කීවාය. මේ වාදය පොලීසිය දක්වා  ගියේය. දෙදෙනා අතර වාද විවාද ඇතිවිය. බිරියගේ විරෝධය නිසා පුතා පසුබා සිටියදී දියණිය කරකියා ගත හැකි දෙයක් නැතිව කල්ගත කළාය. ඒ තමන්ට අම්මා කැඳවාගෙන ගොස් රැුකබලා ගන්නට තරම් පහසුකම් හෝ රැකියාවක් හෝ නැති බැවිනි.

 පොලීසිය මේ ආරවුල සමථයකට පත් කරන්නට උත්සාහ ගත්තත් පුතා බිරියගේ බහට පිටින් වැඩ කරන්නට සූදානම් වූයේම නැත. මේ අතර පොලීසියට පණිවිඩයක් ලැබිණි. ඒ අම්මා රෝහලේදීම මියගිය පුවතයි.

 පොලිස් නිලධාරීහු දැඩිව කතා කළහ. වාදය අවසන් කරන ලෙස දැන්වීය. නැගණියගේ සහාය ඇතිව මවගේ අවසන් කටයුතු කරන ලෙස පුතුට අවවාද කළේ බිරියට පෙර තමන්ට අම්මා ලැබුණු බව සිහිපත් කර දෙමිනි.