හිඟු‍රාණ නවරත්න සමරතුංග 



සාත්තුවට නතර කළ මුනුපුරා සැප නින්දේ සිටිද්දී ලෙඩ සීයා ඇඳ ළඟ හිඳ ඔහුට සාත්තු කළ සිද්ධියක් අම්පාරේ ප්‍රාදේශීය ග්‍රාමීය රෝහලකින් වාර්තාවේ. 
සිද්ධිය මෙසේය. අසනීපයක් හේතුවෙන් 08 දා රාත්‍රී දහයට පමණ එම ප්‍රාදේශීය රෝහලට සීයා කෙනකු ඇතුළත් කර සිටි අතර, ඔහුට සාත්තු කිරීමට වයස අවුරුදු 17 පමණ මුනුපුරකු ළඟ නතර කර තිබිණි. 
සීයා ඇතුළත් කර සිටියේ හදිසි ප්‍රතිකාර ඒකකයට බව කියති. 
සීයා රාත්‍රී 12.00 පමණ වනතුරු මුනුපුරාට තම ඇඳේ නිදාගැනීමට සලස්වා, ඔහු නින්දේ පසුවෙනු දැක ශරීරයට සවිකර තිබුණු මුත්‍ර බටය සහිත පොලිතින් බෑගය අතින් ගෙන හදිසි ප්‍රතිකාර ඒකකයෙන් පිටවී ඇත.
පසුව එම රෝහලේ ආරක්ෂක මුර කුටිය වෙත පැමිණ එතැන වාඩි වී මුරකරු සමග කතාබස් කරන්නට විය. 
බොහෝ වෙලාවක් එතැන රැඳී සිටි ඔහුගෙන් ‘‘වාට්ටුවට යන්නේ නැද්දැයි”‍ මුරකරු ප්‍රශ්න කරන විට ‘‘මට ඇති ලෙඩක් නෑ.... මම පුතා බලාගන්න තමයි ඇවිල්ලා ඉන්නේ. මම එයා බලාගන්නවා”‍ යයි සීයා කීවේය. 
‘‘මොනවා, එතකොට මුත්‍ර බටයයි, බෑග් එකක් හයිකරගෙන ඉන්නේ  ඇයි? පුදුම වූ මුරකරු ප්‍රශ්න කළේය. 


කොපමණ කීවත් සීයා තමා රෝගියකු බව නොපිළිගත් අතර, අලු‍යම 5.00 පමණ වනතුරු එතැන රැඳී සිටි බව කියති. 
එම අවස්ථාවේ කාර්යභාර රෝහල් සේවකයකු එතැනට පැමිණ මුත්‍ර මල්ලක් අතේ තබාගෙන සිටි සීයා දැක ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයට කැඳවාගෙන යෑමට සූදානම් විය. 
‘‘බෑ.... බෑ.... මට යන්න බෑ. මට ඇති ලෙඩක් නැහැ. පුතා තමයි ලෙඩා, මම එයා බලාගන්න ආවේ”‍ යැයි කීවේය. 
‘‘අපි යමුකෝ කවුද ඔය ලෙඩා කියලා බලන්න”‍ කී රෝහල් සේවකයා සීයා හදිසි ප්‍රතිකාර ඒකකයට කැඳවාගෙන ගොස් බලන විට මුනුපුරා එම ඇඳේ තද නින්දේ පසුවෙනු දැකිය හැකි විය. ‘‘පුතා අවදි කරන්න එපා, එයාට අමාරුයි. මම එයා බලාගන්න ආවේ”‍ යැයි නැවත නැවතත් සීයා කියන්නට විය. 
පසුවදා උදෑසන සීයා බැලීමට පැමිණි ඥාතීන්ට මෙම සිද්ධිය දැනගත හැකි වීමෙන් පසුව ඔවුහු බලෙන් ටිකට් කපාගෙන සීයා රැගෙන රෝහලින් පිටව ගොස් ඇති බව කියති.