බලංගොඩ – වයි.ඒ.එස්. වීරවංශ 



මෙය සබරගමුව පළාතේ රත්නපුරට නොදුරු එක්තරා ප්‍රදේශයක සිදුවූ අපුරු සිදුවීමකි.
ඔවුන් අයියා මලෝය. දෙදෙනාම විවාහ වී දරුමල්ලෝ හදාගෙන සිටිති. එක කුස උපන් සහෝදරයන් වුවත් පැල ඉනිවැටට නිතරම සණ්ඩු සරුවල්ය.
දිනක් පැල ඉනිවැටට ආරවුලක් ඇතිවිය. අයියා මල්ලීට විරුද්ධව අදාළ පොලිසියේ පැමිණිලි කළේය. පැමිණිල්ල අනුව දෙදෙනාම පොලිසියට කැඳවීය. ලොකු මහත්තයා එනතුරු බංකුවේ වාඩිවී සිටින්නට සිදුවිය.
ඔවුන් ආසන්නයේ තවත් දෙදෙනෙක් වාඩිවී සිටියහ.
ලොකු මහත්තයා පැමිණියේය. කෝ මුලින්ම ආපු දෙන්නා, එනවා ඇතුළට, ලොකු මහත්තයා සැරෙන් කීවේය. ඒ අනුව බංකුවේ වාඩිවී සිටි දෙන්නා දොරෙන් ඇතුළට ගියහ. 


නඩුව විභාගය ආරම්භ විය. උඹලා දෙන්නා හැමදාම රණ්ඩු, සාජන් අරගෙන එනවා අර වේවැල, ලොකු මහත්තයා සැරෙන් කීවේය.
බංකුවේ වාඩිවී සිටි අයියා මලෝ මුහුණට මුහුණ බලාගත්හ. අපිටත් වේවැල් කසාය හම්බවෙන්න යන්නේ, දෙන්නටම එකවර කියැවිණි. හෙමින් සැරේ මාරුවෙලා යමු, අයියා කීවේය. ඒ අනුව දෙදෙනා පොලිසියෙන් පිටව ගියේ පස්ස නොබලාය.
එදෑයින් පසුව දෙදෙනා අතර ආරවුල් නොතිබිණි.