“සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්‍යාණ මිතුරනි, බොදුනු කිතුනු හින්දු ඉස්ලාම් සොයුරනි, එකම රටක ඉපිද ගැටෙමු මියෙමු (ද) යුද වැදී, සතුරු කැළත සඳලුතලෙහි ඉඳිති මධු බිබී” ආදරණීය මිතුරනි, අපි සියල්ලෝම බියට පත්වී සිටිමු. එකිනෙකා සැක කරන්නෝ බවට පත් වුවෝ වෙති. කවරෙකුට හෝ චෝදනා කරන්නෝ බවට පත් වී සිටිති. මෙසේවී ඇත්තේ ඇයි? සමාජය මතට හෙනයක් සේ පතිත වූ පාස්කු ප්‍රහාරය ඊට හේතුව නම් ඒ හේතුවේ හේතුව අප විසින් සොයා ගත යුතු නොවේද මා මිතුරනි.

ලෝක ඉතිහාසය රංචු, ගෝත්‍රික, කුල, වාර්ගික, ආගමික, භෞමික සහ ජාතික ගැටුම්වලින් පිරී ඉතිරී ගිය එකකි. ඒවා අති බිහිසුණුය. එවැනි ගැටුම් ඇති වූයේ මානව සමාජයේ වෙනස්කම් තම අනන්‍යතාව පෙන්වීමට පමණක් යොදා ගත නොහැකි ප්‍රාථමික බුද්ධියක් ඇති පිරිස්වල ක්‍රියාකාරකම් නිසාය. ඔවුහු තම අනන්‍යතාව වෙනසක් ලෙස නොව උසස් පහත් භේදය මනින මිනුම් දණ්ඩක් ලෙස යොදා ගත්තෝය. එහි මාධ්‍යය වූයේ අනෙකාගේ නොපැවැත්ම තීරණය කරන අනෙකාගේ සමූලඝාතනය තම අනන්‍යතාවේ පැවැත්ම සහතික කරන මාරාන්තික ප්‍රචණ්ඩත්වය ය. මුලින් හුදු භෞතික දෙයක් වූ එයට පසු කාලීනව දෘෂ්ටිවාදීමය රැකවරණ සකසා ගැනුණි. විශ්වාස, ලබ්දි සහ ආගම් අතර මහා ප්‍රචණ්ඩත්වය යුක්ති යුක්ත කරන නැතහොත් සාධාරණීකරණය කරන දෘෂ්ටිමය බලඇණි වුයේ ඒ ආකාරයෙනි.

මඳක් සිතන්න. එවැනි බිහිසුණු ඉතිහාසමය විකාශනයක් සහිත වර්තමාන මානව සමාජය ඉදිරියට ආවේ විද්‍යාවේ දියුණුව, භෞතිකවාදය, කාර්මීකරණය, ප්‍රබුද්ධත්වය, නාගරීකරණය, නියෝජනය, ප්‍රජාතන්ත්‍රීයකරණය, සමාජවාදය, සාමය සහ මානව සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර සංවිධාන, මානව හිමිකම්, ගැටුම් නිරාකරණය, තිරසාර සංවර්ධනය සහ බලය බෙදාහදාගැනීම වැනි මහා මාර්ග සහ විවිධ අතුරු පාරවල් ඔස්සේ ය. එහෙත් ඒ සියල්ල මැද දැන් අප වැටී ඇත්තේ ඒ කිසිවකින් උත්තරයක් නැති ප්‍රශ්න වැලකට වගේම ප්‍රශ්න වළකට ය. විසඳුමක් නො මැති ගැටලුවකට ය. ගැටුම් නිරාකරණ විෂයෙහි කෙළ පැමිණි (අයිස් බර්ග් උදාහරණය රට තුළ ප්‍රචලිත කළ) දේශීය සහ විදේශීය බුද්ධිමතුන් සහ බුද්ධිමය වෘත්තිකයින් කිසිවක් නො දොඩන මේ මොහොතේ මේ ගැටලුව වටහා ගැනීමට අප උත්සාහ කළ යුතුය.

මේ රට විධිමත් රාජ්‍යයක් නොවේ යැයි මේ ලිපි පෙළ තුළම මා මතුකළේ බොහෝ කලක සිටය. එය අදටත් අදාළ ය. සාපේක්ෂව විධිමත් රාජ්‍යයන් වන උතුරු ඇමරිකානු සහ යුරෝපීය රාජ්‍යවලත් මෙවැනි බිහිසුණු ප්‍රහාර සිදුවුණු බව ඇත්තකි. එහෙත් අපට වඩා ඔවුන් වෙනස් වන්නේ ඒ ආපදාව ජාතික ආපදාවක් ලෙස ගෙන මුහුණ දීමට ඔවුන් දැක්වූ ජාතික හැඟීම, වුවමනාව, සංවිධානගත වීම, ජාලගත වීම සහ වෙහෙස නිසාය. අපට අප ජාතියක් යැයි හැඟෙන්නේ ව්‍යසනය සිදුවූ නිමේශයට පමණි. එසේ නොමැතිව එය විසඳා ගැනීම සඳහා වූ කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙළ සහ ක්‍රියාමාර්ගවලදී අඛණ්ඩව නොවේ. අප අර රාජ්‍යවලින් වෙන්කර හඳුනා ගත හැකි වෙනස ඒක ය.

අප රටේ මෑත කාලීනව සිදු වූ සියලු ස්වභාවික ආපදා දවසකින් දෙකකින් බල දේශපාලනයේ පොරපිටි බවට පත් වූ ආකාරය ඔබට මතක ඇති. සුනාමි ආපදාව, ගංවතුර, නායයෑම් වැනි බොහෝ ස්වභාවික ආපදා ස්වාභාවිකත්වයෙන් ගලවාගෙන පටු දේශපාලන ගැටුමේ උපකරණ බවට පත්කර ගැනීමට මෙරට (අ) දේශපාලකයන් දක්වන්නේ විෂ්මය ජනක දක්ෂතාවකි. දැන් සිදුවී ඇති මානව ආපදාව ද ඒ ඉරණමට ලක් වූයේ පාස්කු ප්‍රහාරය දවසේ සිට ම ය. මේ මහා ව්‍යසනයෙන් ජාතිය බේරාගෙන සුරක්ෂිතභාවය තහවුරු කරන්නේ කෙසේද යන පැනයට වඩා බලවත් වී ඇත්තේ ඒ ව්‍යසනය යොදාගෙන තමාට එරෙහිවන්නන් හෝ කල්ලි කණ්ඩායම් අඩපණ කිරීමේ සහ එකිනෙකාට නින්දා අවමාන සහ චෝදනා එල්ල කිරීම් ය. ඒ අනුව පෙනී යන්නේ මේ ප්‍රහාරයේ වගකීම ප්‍රහාර එල්ල කළවුන් නොව ප්‍රහාරයට ලක්වූවන් විසින්ම බාර ගත යුතුය යන ආකාරයේ වාචාල දෙඩවීම්වලින් අදේශපාලකයින්ගේ හඬින් ලෝකය පිරී ඇති බවය.
අයිස් බර්ග් උදාහරණය නැතහොත් අයිස් කඳු උපමාව තේරුම් ගනිමු. මේ උපමාව ගැටුම් නිරාකරණ විෂයෙහි නිතර භාවිතාවට ගැනෙන එකකි. මෙයින් කියැවෙන්නේ මහා සාගරයේ ඇති අයිස් කඳුවල දියෙන් මතුපිටට පෙනෙන ඉතා සුළු කොටසට වඩා අති විශාල දැවැන්ත කොටසක් ගැඹුරු සාගර පත්ලට කිඳා බැස ඇති බවයි. ව්‍යාප්තවී ඇති බවයි. නියම අයිස් කන්ද යනු අර මතු පිටට පෙනෙන කුඩා කොටස නොවන බව වටහා ගත යුතුය යන්න ඉන් ලබාදෙන පාඩමයි.

සත්‍ය වශයෙන්ම නම් අපට පෙනෙන රාජ්‍යයත් ඔය ආකාර ය. මතු පිටට පෙනෙන ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට, ජනාධිපති ධුරයට සහ මැති ඇමතීන්ට වඩා එය ගැඹුරු ය. ව්‍යාප්ත ය. මහා අර්බුදයක දී හෝ ව්‍යසනයකදී ඔය මතු පිටට පෙනෙන ආණ්ඩුවලට මහා වික්‍රමයක් කළ නොහැක්කේ ඒ නිසා ය.  උඩට පෙනෙන බල වළල්ලට නැතහොත් බල ජාලයට වඩා බලවත් බල වළලු කීපයක්ම මතුපිටට නොපෙනී පවතින බව අප තේරුම් ගත යුතුය. මතු පිටට පෙනෙන වළල්ලේ පාලකයින් එකිනෙකාට චෝදනා කර ගන්නේ බෝලය පාස් කරන්නේ අර යථාර්ථය නොදැන නොව එය වසන් කිරීම සඳහාය. එක්කෝ නොපෙනෙන වළලු සමඟ ඔවුන්ට ඇති සම්බන්ධය හෙළිදරව් වන නිසා ය. නැතහොත් ඒ වළලුවලට ඇති බිය හෝ ඒවායින් යැපෙන නිසා ය. අපට පෙන්වන්නේ ඇත්ත රාජ්‍යය හෝ රාජ්‍යයේ වළළු නොව ඒවා වසන් කරන මතුපිට පොත්ත ය. එනම් මැතිවරණ, පාර්ලිමේන්තුව, පක්ෂ, දේශපාලන වාදවිවාද සහ ප්‍රකාශන වනාහි අර ඇත්ත රාජ්‍යය වසන් කරන කැලෑ ඇඳුම් ය. 

රටක ප්‍රශ්නය වනාහි මේ නොපෙනෙන රාජ්‍යයන් ය. හිටි ගමන් මේ නොපෙනෙන රාජ්‍යවල සමහර තැන් දෘශ්‍යමාන වන අවස්ථා ඇත. ලංකාවේ අපිට අදාළ උදාහරණ කීපයක් මගින් එය තේරුම් ගත හැකිය. ඒවා එක අතකට තොරතුරු ය. වැට්බදු වංචාව ටිකක් පරණ එකකි. මහබැංකුවට සහ රටේ ආර්ථිකයට එල්ල වූ සුරැකුම්පත් ප්‍රහාරය අලුත් උදාහරණය කි. කරුංකා, ගම්මිරිස් ජාවාරම තවත් එකකි. කසළ තේ ජාවාරම තවත් එකකි. ඖෂධ සහ වෛද්‍ය උපකරණ ජාවාරම තවත් එකකි. එකම පවුලේ කීප දෙනෙකුට අයිති පුපුරණ ද්‍රව්‍ය ආනයනයේ කතිපයාධිකාරය පිළිබඳ තොරතුර අලුත්ම එකකි. ආනයන අපනයන වෙළඳාමේ ඇති කතිපයාධිකාරය තවත් එකකි. මත්ද්‍රව්‍ය ජාවාරම තවත් එකකි. මේ උදාහරණ කීපයක් පමණි. මේවා ඉඳහිට අහසේ පෙනී නොපෙනී යන උල්කාපාත වාගේ ය. එහෙත් ඉන් අප උගත යුත්තේ උඩින් පේන රාජ්‍යයට හෝ රාජ්‍ය හැවට යටින් රාජ්‍ය කීපයක් නැතහොත් වළලු කීපයක් සක්‍රීය සහ බලවත් බවය. ඒ වළලු පාලනය කිරීමට මහලොකු පුරවැසි බලයටවත්, අලුත් පරපුරටවත්, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට හෝ එහි අලුත් පෙනුම වන ජාතික මගටවත් වමේ කෙන්ද්‍රයටවත් බැරිය. ඒ රාජ්‍ය වළලු ඒ තරම්ම බලවත් ය. අර කී අයට කළ හැකි එකම දෙය ඒවා මත යැපීම හෝ ඒවාට අවනත වීම පමණක් ය.

රටක් සහ ජාතියක් විධියට අද අප මුහුණ දෙන භීෂණයට අදාළ හේතුවේ හේතුව එය ය. ඒ අපට පෙනෙන රාජ්‍ය ව්‍යුහය වෙනස් කිරීමෙන් හෝ ඉල්ලා අස් කිරීමෙන් හෝ අලුත් මුහුණු ගෙන එමෙන් හෝ මේ ව්‍යසනයන්ගෙන් සමාජය ගලවා ගත නොහැකිය. පෙනෙන රාජ්‍යයට යටින් ඇති පෙනෙන රාජ්‍යයේ පැවැත්ම සහ හැඩය තීරණය කරන ගැඹුරු හෙවත් නියම රාජ්‍ය ව්‍යුහය අප හඳුනා ගත යුතුය. ඒ ව්‍යුහය ජාතික සහ ගෝලීය ය. එය හඳුනා ගැනීම ලෙහෙසි නැති වුවත් එතරම් අපහසු නැත. ඒ දෙකම සමඟ ගනුදෙනු කරන කාටත් නොපෙනෙන අඳුරු රාජ්‍යය ද අප හඳුනා ගත යුතුය. එය සරළ පාතාලයට වඩා පාතාලයකි. වෙනස් කළ යුත්තේ ඒ ව්‍යුහයෝ ය.
ඒ තේරුම් ගැනීම කළහොත් අප පෙළන සහ පීඩාවට පත් කරන නියම ව්‍යුහ සහ ඒවා අතර ඇති අන්තර් සම්බන්ධය පැහැදිළි කරගත හැකිය. එවිට අප පෙළීම හෝ පීඩාවට ලක් කිරීම පහසු නැත. ආදරණීය “සිහළ ද්‍රවිඩ මුස්ලිම් කල්‍යාණ මිතුරණි, බොදුනු කිතුණු හින්දු ඉස්ලාම් සොයුරනි, එකම රටක ඉපිද ගැටෙමු මියෙමු (ද) යුද වැදී, සතුරු කැළත සඳලුතලෙ හි ඉඳිති මධු බිබී”. මේ උපුටනය මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා සංගීතය සැපයූ ආචාර්ය නන්දා මාලිනිය ගැයූ ගීතයකිනි. එය සොයාගෙන අසන්න. එහි එක තේරුමක් වන්නේ පෙනෙන දෙයට වඩා නොපෙනෙන ගැඹුර සහ අඳුර වටහා ගැනීම විමුක්තියට එක පියවරක් බවය. එවිට සැබෑ පීඩකයින් සහ පීඩක මෙවලම් මොනවාදැයි අපට වැටහෙනු ඇත. අරගල මාවත වෙනස් වනු ඇත. ඒ සඳහා අපි එකිනෙකා මිත්‍රත්වයේ දෑත් දිගු කරමු.

ධම්ම දිසානායක