IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


පාරාවෝ සොහොනෙන් හමුවූ වසර 2500ට එහා මිනිස්සු

 

මමීකරණය කළ සිරුරු තැන්පත් කළ මිනීපෙට්ටි ප්‍රදර්ශනයට තබා ඇති අයුරු

 

  • මමීකරණය කළ මළ සිරුරු 100ක් එකම තැනින් සොයාගත් ප්‍රථම වතාව මෙයයි

 

 

මිසරය යනු පුරාණ ඊජිප්තුවය. මිසරයේ රජවරුන් හැඳින්වෙන්නේ ‘පාරාවන්’ යනුවෙනි. ලෝකයේ ඉපැරණි පුදුම හත ට ද ඇතුළත් තවමත් නොනැසී පවතිණ, ගීසා නම්නයේ යෝධ පිරමීඩ පාරාවන්ගේ සොහොන් ගෙවල්ය. පාරාවන්ගේ මමීකරණය කළ සිරුරු අලංකාර ලෙස සිතුවම් කළ මිනී පෙට්ටි තුළ තැන්පත් කර, මුතු මැණික්, රන් රිදී සමඟ පිරමිඩ තුළ මුද්‍රා තබා තිබේ.   


මමීකරණයට ලක් කෙරුණේ පාරාවන් සහ පාරාවන්ට සමීපව කටයුතු කළ ප්‍රභූවරුන්ගේ සිරුරු පමණි. සිරුරු මමීකරණය කරමින් ඒවා නරක් නොවන ආකාරයට මිනී පෙට්ටිවල තැන්පත් කෙරුණේ, මිසර ඇදහිලි අනුවය. 

 
සිරුර මමීකරණය කිරීම මගින්, ඊළඟ ආත්මයට යා හැකි බව මිසර වැසියන්ගේ විශ්වාසය වී තිබුණි. එසේ යෑමට නම්, එම තැනැත්තාට ඔහුගේ හෝ ඇයගේ බරට සමානව වස්තුව ද තිබිය යුතුය. සොහොන් ගෙවල් තුළ වස්තුව තැන්පත් කෙරුණේ ඒ අනුවය.   


ඊජිප්තුවේ වැළලුණු යටගියාව පුරාවිද්‍යාත්මක කැණීම් හරහා නිරන්තරයෙන් ඉස්මතු වෙයි. වැළලුණු පිරමීඩවල, නටබුන්, මමීකරණය කළ සිරුරු, මමීකරණය කළ සතුන් (විශේෂයෙන් බළලුන්) හමුවීම අරුමයක් නොවෙයි. මහා පිරමීඩ ඇති ගීසා නිම්නය පිහිටා ඇත්තේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝ මීටර් 18 ක් දුරිනි. ගීසා නිම්නය සොහොන් බිමක් ලෙස ද සැලකෙයි.   


කයිරෝ අගනුවරට කිලෝමීටර් 30 ක් දකුණු දෙසින් තවත් සොහොන් බිමක් පිහිටා ඇත. ඒ, සක්කාරාය. සක්කාරා භූමිය ද ලෝක උරුමයකි. ලොව පළමු පිරමීඩය දකින්න ලැබෙන්නේ මෙහිය. ලොව පළමු පිරමීඩය ලෙස සැලකෙන්නේ ක්‍රි.පූ. 27 වැනි සියවසේ දී ඉදිකළේ යැයි විශ්වාස කරන පඩි පිරමීඩයයි. ගීසා පිරමීඩ මෙන් දැවැන්ත නොවන මෙම පිරමීඩය ඉහළට ඉදිකර ඇත්තේ පඩි පෙළක් ලෙසිනි. පුරාවිද්‍යාඥයන් පඩි පිරමීඩය යන නම ඊට යොදා ඇත්තේ එහෙයිනි. පඩි පිරමීඩය, ගීසා පිරමීඩ මෙන්, සිත් ඇදගන්නා පිරමීඩයක් ද නොවෙයි.   


පඩි පිරමීඩයට නුදුරින් පසුගිය වසර කිහිපය පුරා කැණීම් සිදුවිය. ඊජිප්තු පුරාවිද්‍යාඥයන් පමණක් නොව, යුරෝපා රටවල පුරාවිද්‍යාඥයෝ පවා ඊට දායක වූහ. පසුගිය නොවැම්බරයේ, කොරෝනා ජරමර මැද වුවත්, කැණීම් සිදුවෙද්දී වැළලී ගිය විශාල අංගණයකින් ඉතා අලංකාර ලෙස සිතුවම් ඇඳ වර්ණ ගැන්වූ දැව මිනී පෙට්ටි සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. පසුගිය සතිය වනවිට සිදුකළ කැණීම්වලින් හමුවුණු දැව මිනී පෙට්ටි ගණන 100 කි.   


මිනී පෙට්ටිවල මමීකරණයට ලක් කළ සිරුරු, එසේත් නැතිනම් මමී වසර 2,500 ක් පැරණි බව සිදු කළ කාබන් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මිසරයේ මමීකරණයට ලක් කළේ පාරාවන් සහ පාරාවන්ට සමීපව කටයුතු කළ ප්‍රභූවරුන් පමණක් හෙයින්, මෙම සිරුරු කාගේදැයි යන්න මෙතෙක් තහවුරු වී නැත. ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පැවැසෙයි. මමී 100 ක් හමුවීමේ මෙම විස්මිත සොයා ගැනීම ලොව කාගේත් අවදානය දිනා ගත් සිදුවීමක් වූ අතර, මාධ්‍යවලින් ඊට පුළුල් ප්‍රචාරයක් ද ලැබුණි.   


මිනීපෙට්ටි සමඟ රන් ආලේපිත මුහුණු ආවරණ හා රන් ආභරණ ද සොයා ගැනුණි. එක් එක් සිරුරේ හැඩයට අනුව දැවමය පෙට්ටි නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි. “මේක එසේ මෙසේ සොයා ගැනීමක් නොවෙයි. එදා මෙදා තුළ සිදු කළ විශිෂ්ටතම සොයා ගැනීම්වලින් එකක්. මමීකරණය කළ මෙම සිය දෙනා කවුරුන් විය හැකිද යන්න ප්‍රශ්නාර්ථයක්. අබිරහසක්” යැයි ඊජිප්තුවේ පුරාවස්තු කවුන්සිලයේ මහ ලේකම් මොස්ටාෆා වසිරි රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.   


මෙම මමී සියය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි. ඊට දෙස් විදෙස් මාධ්‍ය කණ්ඩායම්වලට ඇරැයුම් කෙරුණි. සක්කාරා කැණීම් භූමියට පැමිණි මාධ්‍යවේදීන්ට පෙනෙන ආකාරයට පුරාවිද්‍යාඥයෝ එක් මිනීපෙට්ටියක් ඉතාමත් ප්‍රවේශමෙන් විවෘත කළහ. මිනීපෙට්ටි විවෘත කෙරුණේ විශේෂඥයන්ගේ මැදිහත් වීමෙනි. ඊට හේතුව ඊජිප්තු වැසියෝ පුරාණ මිනීපෙට්ටි විවර කිරීමට අදිමදි කරන බැවිනි. ඒ, ඒවා විවෘත කිරීමෙන් සාපයකට ලක් වී කුරිරු මරණයක් අත්වේවි යැයි යන විශ්වාසය නිසාය.   

 

විවෘත කරන ලද මිනී පෙට්ටියේ මමිය ස්කෑන් කරමින් ...  

 


වෙළුම්පටිවලින් ඔතන ලද මමීකරණය කළ සිරුර ඉතාමත් සුරක්ෂිතව පැවැතීම ගැන බොහෝ දෙනා විස්මය පළ කරන්නට වූහ. සිරුර ස්කෑන් පරීක්ෂණයකට ද ලක් කෙරිණි. සෙසු මිනී පෙට්ටි 99 වෙන් වෙන්ම විවෘත නොකර සෑන්ක් කරන ලදී. ඒවායේ බහාලූ සිරුරු ද ඉතා හොඳින් සුරැකී ඇති බව ඒ අනුව පෙනී ගියේය. විවර කරන ලද පෙට්ටියේ වූ සිරුර අඩි 5.7 ක් පමණ උසැති පිරිමියකුගේය. මියයන්නට ඇත්තේ අවුරුදු 40 ත් 45 ත් අතර වයසේ දී යැයි කාබන් වාර්තා අනුව පැහැදිලි විය. මූලික පරීක්ෂණ අනුව, ඔහු හොඳ නිරෝගී අයකු බව පෙනී ගිය අතර, මරණය සිදුවුණු අයුරු තහවුරු නොවිණි.   


ඊජිප්තුවේ ප්‍රධානතම ආදායම සංචාරක කර්මාන්තයයි. ශේෂ වූ නටබුන් දැකගැනීමට ලොව නන්දෙසින් සංචාරකයෝ ඊජිප්තුවට ඇදී එති. ‘කොවිඩ් 19’ වයිරස වසංගතය හමුවේ ඊජිප්තු සංචාරක කර්මාන්තය බිඳවැටී අවසන්ය. ඊජිප්තු පුරාවිද්‍යාඥයන්ට අහම්බෙන් මෙන්, මෙම මමී හමුවූයේ එවැනි අවස්ථාවකය. සංචාරක කටයුතු යළි සුපුරුදු පරිදි ආරම්භ වෙද්දී, මෙම මමී නැරඹීමට බොහෝ දෙනා පැමිණෙනු ඇතැයි ඊජිප්තු රජයේ විශ්වාසය වී තිබේ. එහෙයින්, හමුවුණු මිනීපෙට්ටි කයිරෝ ප්‍රධාන නව කෞතුකාගාරයේ පමණක් නොව, ඊජිප්තුව පුරා පිහිටි සෙසු කෞතුකාගාරවල ප්‍රදර්ශනය කිරීමට නියමිත බව පැවැසෙයි. 

 

ලුසිත ජයමාන්න   
‘ද සන්’ ඇසුරිනි



අදහස් (0)

පාරාවෝ සොහොනෙන් හමුවූ වසර 2500ට එහා මිනිස්සු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 440 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 457 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site