සිමෙන්ති ටොන් 17800 ක් කුලුනට යට වුණා   

 

 

 

දකුණු ආසියාවේ සම්පූර්ණ කරන ලද 11 වැනි උසම කුලුනත්  ලෝකයේ සම්පූර්ණ කරන ලද 19 වැනි උසම කුලුනත් වන, මහල් 17 කින් යුත්, මීටර් 367 ක් උස, ඇමෙරිකානු ඩොලර් මිලියන 104 ක් වැයකර ඉදිකළ නෙළුම් කුලුන පසුගිය 16 ද‌ා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.   


කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේ බේරේ වැව අසබඩ වර්ග මීටර් 30,600 ක භූමියක ඉදිකර තිබෙන නෙළුම් කුලුන පිළිබඳ යෝජනාව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ය. කුලුනේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුල්ගල් තැබුවේ 2012 ජනවාරි 20 වැනිද‌ාය.   


2012 ජනවාරි 8 වැනිද‌ා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව හා කොන්ත්‍රාත් සමාගම් අතර නෙළුම් කුලුන ඉදිකිරීමට අද‌ාළ ගිවිසුම් එවකට විදුලි සන්දේශ කොමිෂන් සභාවේ සිටි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ඇතුළු පිරිස විසින් සිදුකරන ලදී.   


මීටර 350 ක් උසැති මීටර් 30,600 ක වපසරියකින් යුත් කුලුනක් වන මෙය නෙළුම් පොහොට්ටුවක හැඩ ඇති නිසා ‘නෙළුම් කුලුන’ ලෙස නම් කෙරේ. ඉදිකිරීම් ආකෘතිය නෙළුම් මලක හැඩයට සමාන වේ. නෙළුම් මල මගින් ශ්‍රී ලංකා සංස්කෘතියෙහි නිර්මලත්වය, සශ්‍රීකත්වය සහ දියුණුව පිළිබඳව අර්ථ ගන්වයි. කුලුනේ පාදම සඳහා ද නෙළුම් මලක හැඩය යොද‌ා ගැනේ. මෙහි ආකෘතිය සිත්තම් කරනු ලැබුවේ මහාචාර්ය නිමල් සිල්වා මහතාය.   


මෙහි පාදම මහල් හතරකින් යුක්තය. මුළුතැන්ගෙය, වායුසමීකරණ පද්ධතිය හා විදුලි මෙහෙයුම් පද්ධතිය පතුල් මහලේ පිහිටා ඇත. බිම් මහල අමුත්තන්ගේ පිවිසුම් මහලය. සාප්පු සංකිර්ණ සඳහා කුලුනේ පළමු හා දෙවැනි මහල් වෙන්කර ඇත. විවෘත සංදර්ශන හා රැස්වීම් සඳහා තෙවැනි මහල වෙන්වී තිබේ. හතරවැනි මහල උත්සවශාලාවන්ගෙන් සමන්විතය. ආසන 600 කින් යුත් කැරකෙන ආපන ශාලාව පිහිටා ඇත්තේ පස්වැනි තට්ටුවේය.   


රාජ්‍ය අමුත්තන් සඳහා වෙන් වූ කාමර අටකින් යුත් හය වැනි මහලත් නැරඹුම් කුටියකින් යුත් හත්වැනි මහලත් වායුසමීකරණය කරන ලද ප්ලාන්ට් රූම් සහ විදුලි සෝපාන ප්ලාන්ට් රූම් අඩංගු අටවෙනි මහලත් අඩංගු නෙළුම් කුලුනේ මූලික ආද‌ායම් මාර්ග වනු ඇත්තේ සංචාරක ව්‍යාපාරය සහ සම්ප්‍රේෂණ ඇන්ටනා බදු දීම වේ.   
 මෙම කුලුනට ගුවන්විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ ඇන්ටනාවක් ලෙස ක්‍රියාත්මක වීමට හැකියාව පවතින බැවින් රූපවාහිනී සේවා 50 කටත් ටෙලි සන්නිවේදන සේවා ආයතන 20 කටත් පහසුකම් සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.   


2012 වසරේ වැඩ ආරම්භ කෙරුණු මෙම කුලුනේ වැඩ අවසන් කිරීමට වසර 7 කට ආසන්න කාලයක් ගත විය. 

 
ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් 200 පමණ සහභාගිත්වයෙන් නිර්මාණය වූ මෙය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අති දැවැන්ත නිර්මාණයක් වන නිසාවෙන් මෙහි ඉදිකිරීම් ඇතිවන අතරතුර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුවන්නන් රැසක් මේ සඳහා ද‌ායක වී තිබේ.   


නෙළුම් කුලුනේ ව්‍යූහ ඉංජිනේරුවා කිත්මල් පෙරේරා මහතාය. මෙරට විශ්වවිද්‍යාල මහාචාර්යවරු 80 දෙනෙකුගේ සහය සහ උපදෙස් මෙම ව්‍යාපෘතියට ලැබී ඇති බව සඳහන් වේ.   
මෙරට ගොඩනැගිල්ලක ඇති වේගවත්ම සෝපාන ත්‍රිත්වය හිමිවන්නේ ද නෙළුම් කුලුනට වීම විශේෂත්වයකි. එම සෝපාන තත්ත්පරයට මීටර් 7 ක වේගයෙන් තත්ත්පර 35 කදී කුලුන මුදුනේ ඇති නැරඹුම් වේදිකාව මත ගමන් කරයි.   


මෙරට ගුවන්විදුලි හා රූපවාහිනී සම්ප්‍රේෂණ ක්ෂේත්‍රයට මෙම කුලුනෙන් සිදුවන්නේ අති දැවැන්ත මෙහෙයකි. භූමි කම්පා, සුළිකුණාටුවලට ඔරොත්තු දෙන අයුරින් කුලුන ඉදිකර ඇති බව ද පැවසේ.   


කොළඹ අහස උසට වැඩුණු දකුණු ආසියාවේ උසම සම්ප්‍රේෂණ කුලුන වන නෙළුම් කුලුන ජනතා අයිතියට පත් කෙරුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සුරතිනි. මේ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු විය.   


මෙම ගොඩනැගිල්ල මේ තත්ත්වයට ගෙන ඒමට වසර 7 ක කාලයක් ගතව තිබේ. 2012 ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ මෙහි වැඩකටයුතු ආරම්භ කරන්නේ ණය මුදලක් ලබාගෙනය. ඒ චීනයේ එක්සිම් බැංකුවෙන් ශ්‍රී ලංකාව ලබාගත් විශාල ණය මුදලකි.   


මේ විශාල ණය මුදල සමඟ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 2012 දී එවකට රජය ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කර තිබේ. එම ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව, චීනයේ එක්සිම් බැංකුව සහ චීනයේ සමාගම් දෙකක් අත්සන් කර ඇත. ඒ ණය ගිවිසුම තුළ මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජයට එකඟ වී තිබෙන ණය මුදල රුපියල් බිලියන 16 කි. රුපියල් කෝටි 1600 කි. ඒ මුදලින් ලැබී තිබෙන්නේ බිලියන 12 කි. කෝටි 1200 ක් බව සඳහන්ය.   


 මෙම රුපියල් බිලියන 12 ණය මුදල වෙනුවෙන් අවුරුද්දකට රුපියල් බිලියන 2400 ක මුදලක් චීනයේ එක්සිම් බැංකුවට ගෙවීමට අවශ්‍ය බව ද සඳහන් වේ.   


මෙම කුලුනේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැත. ඉතිරි වැඩ අවසන් කරන්නට මිලියන 3000 ක් එනම් කෝටි 300 ක් අවශ්‍ය වන බවත් වාර්තා වේ.   


මෙහි තිබෙන සුන්දරත්වය ලෙසම එහි තිබෙන අභියෝගයත් ඉතා බැරෑරුම්ය. මේ ඉදිකිරීම පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා එහි ව්‍යාපෘති නිලධාරි ඉංජිනේරු අනුර කුමාරප්පේළි මහතා සම්බන්ධ කර ගත්තෙමු.   


නෙළුම් කුලුනේ ඉදිකිරීම් අවසන් වුණා. මෙය විවෘත කළාට තවම නරඹන්නට අවස්ථාව ලබා නොදෙන්නේ ඇයි?   


ඒකට හේතුව මේ ගොඩනැගිල්ල පාලනයට තවම කළමනාකරණ මණ්ඩලයක් නැති එකයි. විදුලි සංදේශ නියාමන කොමෂන් සභාව (TRC) තියෙනවා. නමුත් මෙවැනි දෙයක් පාලනය කරන්න මේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්නත් ඕනැ. මොකද මේ ව්‍යාපාරයක් නිසා. රජයේ ආයතනයක ව්‍යාපාර කරන්නෙ නෑනෙ. රජයේ ආයතනයක සේවාවක්නෙ සපයන්නේ. ඉතින් මේ වගේ දෙයක් කරන්න ව්‍යාපාරික දැක්මක් තියෙන්න ඕනැ. එවැනි දැක්මක් තියෙන කෙනෙක් මෙහි පාලනය භාර අරගෙන ව්‍යාපාරයක් විදියට මේ දේ කරගෙන යන්න ඕනැ. එවිට මෙය සාර්ථක වෙන්නෙ. ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයක් නැති එකයි හේතුව. 

 
 අධ්‍යක්ෂ ජනරාල් කියපු විදියට මේ වෙනුවෙන් වෙනම රජයේ ආයතනයක් ආරම්භ කරලා තියෙනවනේ. ඒ ආයතන ආරම්භ වෙලා ඒ වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාගෙන, සේවක මණ්ඩලය තෝරාගෙන මෙහි තිබෙන උත්සව ශාලා, අවන්හල් ආදී හැමදේම භාරදේවි. ඒ හැමදේම භාරදීලා අවසන් වෙද්දී අඩුම තරමින් තව මාස 4 ක් 5 ක් ගතවේවි.   
 ඒ හැමදේම අවසන් වීමට පෙර ඇයි විවෘත කළේ?   


චීන පිරිසට උවමනාව තිබුණා මෙය ඉක්මනටම භාර දෙන්න. මොකද මෙහි දැනට අවසන් කරලා තියෙන ප්‍රමාණය තුළ විවෘත කරන්න හැකියාවක් තිබෙනවා. ඉතිරිවෙලා තියෙන්නෙ මෙම පරිශ්‍රයේ කළමනාකරණ පද්ධතිය වැඩ පමණයි.


මේ ගොඩනැගිල්ල පාලනය කරන පද්ධතියක් තියෙනවා. උද‌ාහරණයකට ගත්තොත් ගිනිනිවීමේ යාන්ත්‍රණ පද්ධතිය සහ CCTV පද්ධතිය ක්‍රියාකරන ආකාරය ගින්නක් සිදුවුවහොත් එහි දුම තරප්පු පෙළ අසළට නොඑන්නට ක්‍රියා කරන ආකාරය. ඒ හැම ආරක්ෂක මෙවලමක්ම නිසි ලෙස අවසන් කරගන්න අවශ්‍යයි. චීන ජාතිකයන්ගෙ වැඩ කටයුතු 99.99% අවසන්. ඒ නිසා ඔවුන්ට මේවා භාර දීලා යන්න අවශ්‍යයි.   


නමුත් ඔවුන්ගේ නඩත්තු කාලයක් තියෙනවා යම් දෙයක් සිදුවුවහොත් නැවත පිළිසකර කරලා දෙන්නට. ඒක ඔවුන්ගේ වගකීමක්. ඉතින් ඒ කාලෙත් තව දීර්ඝ වෙනවා මෙය භාර නොගතහොත්. ඒ හේතුන් නිසා තමයි විවෘත කිරීම ඉක්මන් කළේ. ඒ වගේම මේ ජනාධිපතිතුමා යටතට තියෙන ආයතනයක්. ඒ නිසා එතුමන් තීරණය කළා දැනට පාවිච්චි කළ හැකි තත්ත්වයේ තියෙන නිසා මෙය විවෘත කරලා භාරගන්නට.   


මෙහි ප්‍රධාන අරමුණ?   


මූලික අරමුණ රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේෂණ කටයුතු සඳහා යෙදවීම. චීනයෙ මෙවැනි සන්නිවේදන කුලුනු 30 ක් පමණ තියෙනවා. කොළඹ නෙළුම් කුලුනට ලෝකයේ කුලුනු අතරින් 19 වැනි ස්ථානය හිමි වෙනවා. ලෝකයේ උසම කුලුන ජපානයේ ටෝකියෝවල පිහිටලා තියෙනවා. ස්කයි ට්‍රී (Sky Tree) චීනයේ ගුවන්ෂුවල කැන්ටන් ටවර් (Canton Tower) කැනඩාවෙ සී එන් ටවර් (CN Tower) රුසියාවෙ ඔස්ටැන්කිනෝ ටවර් (OS Tankino Tower) ඉරානයේ ටෙහෙරාන්වල මයිලාඩ් ටවර් (Milad Tower) මැලේසියාවෙ ක්වාලම්පූර්වල කේ.එල්. ටවර් (KL Tower) වැනි කුලුනු ලෝකයේ උසම කුලුනු අතරට එක්වෙලා තියෙනවා.  


 ඒ වගේම අපේ නෙළුම් කුලුනත් විදේශිකයන්ගෙ ආකර්ෂණයට ලක්වෙන සද‌ාතනික මතක සටහනක් වෙයි. ඒ නිසා අපේ රටටත් මෙය ගොඩක් වැදගත් දෙයක් වෙන නිසා තමයි මේ කුලුන නිර්මාණය කළේ.  

 

 


 විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනැ 2008 වසරෙ අග භාගයේදි අපේ රටේ පැවැති යුද්ධයේ ප්‍රගතියත් එක්ක ඒ ජයග්‍රහණයේ අභිමානය ඉදිරියට ගෙනියන්නයි මේ වගේ දැවැන්ත කාර්යයකට අත ගැහුවෙ. ඒ විතරක් නොවෙයි. මේක ලංකාවෙ ආර්ථිකයටත් විශාල වශයෙන් වාසිගෙන දෙන ව්‍යාපෘතියක්. 


මෙහි තිබෙන වි​ෙශ්ෂතා ගැන කිව්වොත්?  


තත්ත්පරයට මීටර් 7 ක වේගයෙන් දිවෙන මේ විදුලි සෝපානයෙන් තත්ත්පර 35 කදි කුලුනේ මුදුනත නැරඹුම් වේදිකාව 29 වැනි මහල වෙත ගමන් කරනවා. මෙම කුලුනු ගොඩනැගිල්ල අධි තාක්ෂණික ගොඩනැගිල්ලක් ලෙස හඳුන්වන්න පුළුවන්. අධි තාක්ෂණයෙන් ඉහළ නගින විදුලි සෝපාන තුනක් පවතිනවා. ඉන් සෝපාන දෙකකින් එකවර 80 දෙනෙකු කුලුන මුදුනට රැ​ෙගන යාමේ හැකියාව තියෙනවා. එකවර දහසක් පමණ දෙනෙකුට කුලුනේ ඉහළම මහලේ රැඳී සිටින්නටත් පහසුකම් තියෙනවා.  


නිරීක්ෂණ වේදිකාව දක්වා නෙළුම් කුලුනේ උස මීටර් 245 ක් අඩිවලින් 803 ක්. මුහුදු මට්ටමේ සිට ගතහොත් තවත් මීටර් 6 ක් එකතු විය යුතුයි. එනම් මීටර් 251 ක්. මෙම නිරීක්ෂණ වේදිකාවෙන් ඔබ්බට සංචාරකයින්ට ගමන් කිරීමට අවසරයක් ලැබෙන්නෙ නැහැ.  


එතැන සිට ඉහළට තියෙන්නෙ අති නවීන ඩිජිටල් තාක්ෂණය සහිත ලෝහමය ඇන්ටනාවක්. කොටස් 4 කින් සමන්විත මේ ඇන්ටනාවෙ බරටොන් 180 ක්. මෙහි ගුවන්විදුලි්, රූපවාහිනි නාළීකා 50 ක් සඳහා සම්ප්‍රේෂණ පහසුකම් තියෙනවා.  


නැරඹුම් වේදිකාවෙන් එක් මහලක් පහළට බැස ගිය පසු හමුවන්නේ කාමර 8 කින් යුත් හෝටලය. මෙහි විනාඩි 90 කදී අංශක 360 ක් එනම් සම්පූර්ණ වටයක් පැයකට එකවරක් බැගින් කැරකෙනවා. එය දක්ෂිණවෘතව කැරකෙන්නෙ. ඊට අමතරව නෙළුම් පොහොට්ටුවේ යට තට්ටු දෙකේ ප්‍රියසම්භාෂණ උත්සවශාලා දෙකක් තියෙනවා. මෙහි මංගල උත්සව සහ වෙනත් උත්සව පැවැත්වීමේ පහසුකම තිබෙනවා. එක් සම්භාෂණ ශාලාවක 250, 300 පමණ හිදීමේ හැකියාව තියෙනවා.

  
මුදුනෙහි ඇන්ටෙනාවක් නෙළුම් පොහොට්ටුවේ කොටසක් හැරුණු කොට ඉන්පසු පහලට ඇත්තේ නෙළුම් මලේ නටුව නොහොත් කුලුනේ කඳ කොටසයි. එහි උස මීටර් 180.5 ක්. එනම් අඩි 592 ක්. බිම් මහල පිවිසුම් දොරටු 4 ක් සහිත ලොබියක් ද ඉතිරි මහල් දෙක සාප්පු සංකිර්ණ ලෙස ද ඊට අමතරව වාහන 250 නවතා තැබීමේ පහසුකම් ද සහිතයි. නැරඹුම් මැදිරිය තුළ එකවර තුන්සිය දෙනෙකුට කොළඹ නරඹන්නත් හැකියාව ලැබෙනවා.  


එක් පැත්තකින් සීතල මුහුදු සුළඟ තවත් පැත්තකින් බේරේ වැව කුඩා කොළ පැහැති පොකුණක් සේ දිස්වෙනවා.මෙහි නෙළුම් මලේ පෙති කොටස වීදුරුවලින් නිමවා තිබෙන්නෙ. මෙම කුලුනට ප්‍රධාන ධාරාවෙන් කි.වො. 2000 ක විදුලියක් ලැබෙන්නෙ. මෙය ගුවන්විදුලි, රූපවාහිනි හා දුරකථන සන්නිවේදන කුලුනක් බවට පත්වන නිසා විදුලිය ඉතාමත් වැදගත් සාධකයක්. හැම තත්පරයකම විදුලිය පැවැතිය යුතුයි.  


විදුලි විසන්ධි වීමකදී විදුලිබලය ලබා ගැනීමට ජෙනරේටර් යන්ත්‍ර 10 ක් සවි කරලා තියෙනවා. චීන ජාතිකයන්ගේ ඉංජිනේරු තාක්ෂණයෙන් ඉදිවන මෙහි සවිකරන විදුලි උපකරණ චීන නිෂ්පාදනය. නෙළුම් මලේ ආලෝකය සඳහා භාවිත කරලා තියෙන්නේ LED බල්බ්.  


සාමාන්‍ය ජනතාවට මෙය නැරඹීම සඳහා ක්‍රමවේදයක් තියෙනව ද?  


මුලින්ම කියන්න ඕනෑ මෙය නිල වශයෙන් විවෘත කළාට ජනතාවට තවම ඒ වෙනුවෙන් අවස්ථාව ලබා දීලා නෑ. ඒ නැවත දැනුම් දෙනතුරු. හේතුව තවම නිසි කළමනාකාරිත්වයක් නැති නිසා. මේ හැමදේටම නිසි ක්‍රමවේදයක් සකස් කළාට පසුව යථා කාලයේ එය නැරඹීමට හැකි වෙයි. වැඩි කාලයක් ගතවෙන එකක් නැහැ.  


කොළඹ නෙළුම් කුලුන විවෘත කිරීමේ අත්සවයේදී අදහස් දක්වමින් එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවකු වූ චීනයේ ‘ඒලිට්’ නැමැති සමාගමක් ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් දුන් රුපියල් බිලියන දෙකක (ඒ කාලයේ හැටියට ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක) අත්තිකාරම් මුදල රැගෙන අතුරුදහන් වූ බවට ආන්දෙ‌ා්ලනාත්මක ප්‍රකාශයක් ජනාධිපතිවරයා සිදුකළේය.  


චීනයේ සිටින වත්මන් තානාපතිවරයා මෙකී ඒලිට් සමාගමේ ලිපිනය සඳහන් ස්ථානයට ගොස් බැලූ විට ඒ ලිපිනයේ එවන් සමාගමක් නැති බවට අනාවරණය කරගත් බව ද එතුමා කියා සිටියේය.  


මේ චෝදනාව රොයිටර්ස් ඇතුළු වි​ෙද්ශීය ප්‍රවෘත්ති සේවා මගින් සැනෙකින් මුළු ලෝකය පුරාම ප්‍රචාරය කිරීම හේතුවෙන් එය ආසියානු රටවල් ගණනාවක මාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට ද පත් විය.  


මේ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2019 අප්‍රෙල් මාසයේදී මෙම කුලුන මත පළවූ පිටු 670 ක විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවේ ද රුපියල් බිලියන දෙකක් රැගෙන අතුරුදන් වූ චීන කොන්ත්‍රාත්කරුවකු පිළිබඳ කිසිදු සඳහනක් නැති බවයි. නෙළුම් කුලුන පිළිබඳ අද‌ාළ සියලුම ලිපි ලේඛන විදුලි සංදේශ නියාමන කොමිසම සහ විගණකාධිපතිවරයා සතුව තිබෙන නිසා මේ කාරණාවල ඇත්ත තත්ත්වය සොයා බැලීම අසීරු කාරණයක් නොවේ යන්නය.  


මේ සම්බන්ධ වාද විවාද කුමක් වුවත් නෙළුම් කුලුන ශ්‍රී ලංකාවට ආභරණයකි. කොළඹ නගරයට අලංකාරයකි.

 

 

 සටහන -  ධනු විජේරත්න  
ඡායාරූප - චානුක කුලසේකර