ලෝකයේ හරිත දැවැන්තයා වන, ලොව විශාලම වැසි වනාන්තරය වන ඇමේසන් වනාන්තරයේ පසුගියදා ඇතිවූ ගින්නක් හේතුවෙන් වනාන්තර භූමියෙන් විශාල පෙදෙසක් දැවී විනාශ විය. වනාන්තරය ගිනිගැනීමෙන් හටගත් දුම, අසල්වැසි නගරවලට මෙන්ම බ්‍රසීලයේ ගිනිකොනදිග කෙළවරට වන්නට පිහිටි සාවෝ පාවුලෝ වෙරළබඩ නගර කලාපයට පවා දර්ශනය වී තිබේ.   


පෘථිවියේ කාබන් චක්‍රය හා දේශගුණ නියාමනය කෙරෙහි තීරණාත්මක සාධකයක් වන ඇමේසන් වැසි වනාන්තරය බ්‍රසීලයේ පිහිටා තිබේ.   


මෙම ගින්න පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම්වත් වූ ලෝකයේ පුරවැසියෝ ගින්න නැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් විදීවලට බැස උද්ඝෝෂණය කරන්නට වූහ.   
මෙම ගින්න බ්‍රසීලයේ පමණක් නොව, අන්තර්ජාතික අර්බුදයක් වී ඇතැයි ප්‍රංශ ජනපති එමානුවෙල් මාකෝන් ජී 7 සමුළුවේදී කියා සිටියේය. ජී 7 රටවල නායකයෝ මිලියන 20 ගණනාවක ආධාර ලබාදීමටද එකඟ වුවත්, බ්‍රසීලියානු ජනපති ඒ උපකාර ප්‍රතික්ෂේප කළේය.   


ඔහු පළමුව එය ප්‍රතික්ෂේප කළේ විදෙස් රටවල අත පෙවීම තම රටේ ස්වාධිපත්‍යයට හානියක් බව කියමිනි. තම රටේ ගැටලු විසඳන්නට එනු වෙනුවට, යුරෝපයේ ගස් ටිකක් වවාගත්තොත් හොඳ නැද්දැයි කියමින් ඔහු ප්‍රංශ ජනපති තරයේ විවේචනය කළේ බ්‍රසීලය ප්‍රංශයේ යටත් විජිතයක් නොවන බව අඟවමිනි. කෙසේ නමුත් ගින්න මැඩපවත්වා ගැනීමට ජී 7 රටවලින් ආධාර වුවමනා නැතැයි දැඩි මතයක සිටි බ්‍රසීලය පසුව සිය අදහස වෙනස් කරගති.   


බ්‍රසීලයේ වත්මන් ජනපති බොල්සොනාරෝ බලයට පත් වී වසරක් ඉක්ම යන්නටත් මත්තෙන් මෙම විනාශය සිදුවූයේ ඔහු පරිසරය රැකගැනීම උදෙසා පනවා තිබූ නිීති රීති ලිහිල් කිරීම නිසා යැයි විද්වත්හු පෙන්වා දෙති. ඔහු කෘෂිකර්මාන්තය හා ආකර කර්මාන්තය වෙනුවෙන් වනාන්තරය එළි කිරීමට අනුබල දෙන බව ප්‍රසිද්ධය. ගින්න හටගත් අවස්ථාවේ කිසිදු සාක්ෂියක් නැතිවම ඔහු කියා සිටියේ රාජ්‍ය නොවන සංවිධානවලට සිදුකරන ගෙවීම් කපා හැරි බැවින් ඔවුන් මෙසේ ගිනි අවුලන්නට ඇති බවය.   


අගෝස්තු 22 වැනි දා ප්‍රකාශයක් නිකුත් කළ ග්‍රීන්පීස් සංවිධානය, ලැව් ගිනි හා දේශගුණ විපර්යාසය රුදුරු චක්‍රයකට අනුව ක්‍රියාත්මක වෙන බව හා වනාන්තර ගිනිගැනීම් වැඩි වෙන විට එයින් පරිසරයට මුදාහැරෙන හරිතාගාර වායුද ඉහළ යන බවත්, ඒ සියල්ල නිසා පෘථිවියේ උණුසුම වැඩි වෙන බවත් පෙන්වා දුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දරුණු නියඟ ආදිය නිතර හටගනී.   


බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්‌යේෂණඅ පිළිබඳ ජාතික ආයතනය සඳහන් කරන පරිදි 2019 වසරේ මුල සිට මේ දක්වා ලැව්ගිනි 74000කට අධික ප්‍රමාණයක් ඇතිවී තිබෙන අතර, පසුගිය වසරේ මේ කාලයේදී ඇතිවූ ගිනි ගැනීම්වල ප්‍රතිශතය සියයට 84කින් වැඩිවී ඇත.   


ලෝකයේ පෙනහලු දවා හරින මහා ගිනි ඇති වී තිබෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. විවිධ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් ඇමේසන් වනයට වදින බොහෝ දෙනෙක් වෙති. නීති විරෝධීව වනාන්තර භූමිය හෙළි කරමින් වගා කරන ගොවියෝ, වගා කටයුතුවල පහසුවටත්, සතුන් දඩයමේ යන තවත් පිරිසක් සාක්ෂි සැඟවීම සඳහාත්, තවත් පිරිසක් නොසැලකිලිමත් බව නිසාත් වනය ගිනි තබති. ගිනි සහ කැලෑ එළිකිරීම නිසා දැනටමත් ඇමේසන් වැසි වනාන්තරයෙන් විශාල කලාපයක් ලෝකයට අහිමි වී තිබියදීය මෙම මහා විනාශකාරී ගින්න ඇතිවූයේ.   


මෙම වැසි වනාන්තරයේ ඇතිවෙන වැස්ස යනු හුදු සාමාන්‍ය දේශගුණික ස්වභාවයක් නොව, එම කලාපයේම ජලවහන පද්ධතිය කෙරෙහි ප්‍රබල හා තීරණාත්මක සාධකයකි. වැසි වනාන්තරයේ වැසි ඇතිවන විට ගස්වල මුල් මගින් ජලය උරාගෙන, ගසේ ඉහළට ගමන් කර කොළවලින් වාෂ්ප කර හරියි. එම වාෂ්පයත්, ගස්වලින් නිකුත් කරන අණු විශේෂයක්ද වනාන්තරයට ඉහළින් වලාකුළු ඇතිවීම කෙරෙහි මූලික වේ. වැසි වනාන්තරයේ තිබෙන ගස් සිය දහස් බිලියන ගණනක් මෙසේ වැස්ස ඇතිකිරීමට දායක වෙන අතර එයින් ජලය පිරිසුදු වෙන අතර නිරන්තරව වර්ෂාවද ලැබෙමින් පවතී.   

 

ගින්නෙන් නිවාස අහිමිවූ ගෝත්‍රික ජනයා

 


බ්‍රසීලයේ කෘෂිකර්මාන්තය පවත්වාගෙන යාම කෙරෙහි දායක වන්නේ එම වැස්සය. එරටෙහි අධික ජනාකීර්ණ නගර ගණනාවක වෙසෙන මිනිසුන් මිලියන ගණනක පැවැත්මට පිරිසුදු වාතය හා පිපාසය සංසිඳුවන්නට ජලය ලබාදෙන්නේ මෙම වැසි වනාන්තරයයි. ජීවීනට හුස්ම හා ජලය ලබාදෙන ඇමේසන් වැසි වනාන්තරය එළිකිරීම නිසා එහි ජලය පිරිසුදු වෙන, වැසි ලබාදෙන පද්ධතියට දැඩි ලෙස හානි සිදුවී ඇත. ඒ සියලු කටයුතුවලට ගස් පමණක් නොව, කුඩා පඳුරු, තණකොළ, පසෙහි සිටින බැක්ටීරියාවන් ආදී සමස්ත පරිසර පද්ධතියම අත්‍යාවශ්‍යය.   


නිවර්තන වනාන්තර වායුගෝලය සමඟ ජලවාෂ්ප හා ශක්තිය විශාල ප්‍රමාණයක් හුවමාරු කරගන්නා බැවින්, ශාකවල උත්ස්වේදන ක්‍රියාවලිය ගංගාවල ජලවහනයට පමණක් නොව, සාගරයේ දියවැල්වලට පවා විශාල බලපෑමක් ඇති කිරීමට සමත්ය.   


නිරන්තරව සිදුවෙන ගස් කැපීම් හා වනය එළිපෙහෙළි කිරීම් නිසා වනාන්තරයේ මෙම ජල සංසරණ ක්‍රියාවලිය බිඳී ගොස් ඇත.   


දැන් පෙනී යන පරිදි අප සිතා සිටියාටත් වඩා ඉක්මනින් ඇමේසන් වනය විනාශ වේ. ලෝක වනජීවී අරමුදල තහවුරු කරන පරිදි පසුගිය වසර 50ක කාලය තුළ ඇමේසන් වැසි වනාන්තරයෙන් සියයට 17ක් පමණ ලෝකයට අහිමිවී ඇත. ඇවිළුණු මහා ගින්නත් සමඟ ඇමේසන් වනය, වැසි වනාන්තරයකින් සාමාන්‍ය වනාන්තරයක් දක්වා වෙනස් වීමට හෝ තැනින් තැන පිහිටි කැලෑ වශයෙන් වෙනස්වීමට ඉඩ තිබෙන බව විද්‍යාඥයෝ සැක කරති.   


මීට වසර මිලියන 300කට පමණ පෙර කාබනිෆරස් වැසි වනාන්තර විනාශ වීම නිසා මුළු පෘථිවියේ මහා පරිමාණ ජීව වඳවී යාමක් සිදුවිය. ඇමේසන් වනයේ හානියද එවැන්නකට මග පාදන්නට ඉඩ තිබෙන්නට පුළුවන. වනාන්තර එළිකිරීම හැරුණු විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අර්බුදයටද මෙම වනාන්තරය ලක් වී තිබිණ. මේ හේතුවෙන් ඉදිරියේදී වියළි කාලය අතිශය වියළි වන්නට මග පෑදෙන බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.   


වනාන්තර අහිමිවීම දේශගුණ විපර්යාසයට බලපාන අන්දම පිළිබඳව දේශගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවමින් සිටියේ දශක ගණනාවක සිටය. ක්‍රෙග් ඇලන් නමැති ඇමරිකානු පරිසර විද්‍යාඥයා 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තාවක් සපයමින් කියා තිබුණේ යම් හෙයකින් ලෝකයේ කාබන් සංචිත වන වනාන්තර හෙළිකිරීමෙන් මහා පරිමාණයෙන් වායුගෝලයට කාබන් මුදා හැරීමක් සිදු වුවහොත් එය ආපසු හැරවිය නොහැකි මහා හානියක් වෙන බවය.   


මිනිසුන් හැර පෘථිවියේ තිබෙන සෑම වනාන්තරයක්ම, සෑම ජීවියෙකුම දවනු ලැබුවහොත් වායුගෝලයේ තිබෙන ඔක්සිජන් ප්‍රතිශතය පහළ වැටීමෙන් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යන බව විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාඥයෙකු වන ෂැනන් පීටර්ස් ඇමරිකාවේ පැවති සමුළුවකදී ප්‍රකාශ කළේ, මිනිසුන් තම ඊළඟ හුස්ම ගැන නොතකා, ඊළඟ ආහාර වේල සොයාගැනීමට තැත්කරමින් සිටින බව අවධාරණය කරමිනි.   


ගස්වැල්, සතුන් හා ශාකවලින් සමන්විත ඇමේසන් වැසි වනාන්තරය යනු පරිසරයට එකතු වෙන කාබන් උරාගන්නා මහා පරිමාණ ස්පොන්ජියකි. වනාන්තර එළි කිරීම හා දේශගුණ විපර්යාස හේතුවෙන් ඒ මහා කාබන් සංචිතය යළිත් වායුගෝලයට මුදා හැරීම යනු ඉමහත් හානියකි. එයින් ගෝලීය උෂ්ණත්වය තවත් වැඩි කරන අතර දැනට තිබෙන දේශගුණික ගැටලු සියල්ල දෙගුණ තෙගුණ කරන්නට සමත් වෙනු ඇත. එහි සිර වී ඇති කාබන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් බිලියන 90කි. එම ප්‍රමාණය දශකයක් පමණ කාලයක වායුගෝලයට මුදා හරින ලද කාබන් ප්‍රමාණයට සමානය.   


යම් ප්‍රදේශයක කැලෑ එළිකිරීම එම ප්‍රදේශයේ වර්ෂාව ඇතිවෙන පිළිවෙළ වෙනස් වීමට සෘජුව බලපාන අතර වියළි කාලය තවත් දිගු වීමට හේතු වේ. එමගින් වනාන්තර, ජෛව විවිධත්වය, කෘෂිකර්මාන්තය හා මිනිසාගේ සෞඛ්‍යයට තර්ජනයට ලක් වේ.   


ඇමේසන් ගින්නෙන් නැගෙන දුම අභ්‍යවකාශයට පවා දර්ශනය වේ.   


බ්‍රසීල රජයේ චන්ද්‍රිකා දත්තවලට අනුව 2019 වසරේ මේ වෙන විට ගිනිගැනීම් 41000කට වඩා වාර්තා වී ඇත. ඉන් බහුතරයක්ම වාර්තා වී තිබෙන්නේ අගෝස්තු මාසයේදී වීම විශේෂත්වයකි.   


දකුණු ඇමරිකානු මහද්වීපයේ ඇමේසන් ගංගා ද්‍රෝණියේ ඇමේසන් ගඟ හා එහි අතු ගංගා පෝෂණය කරන ඇමේසන් වනාන්තරය, වර්ග කිලෝමීටර ගණනාවක් දුරට පැතිර තිබෙන්නකි. වනාන්තර භූමියෙන් සියයට හතළිහක් පමණ අයත් වන්නේ බ්‍රසීලයටයි. මෙය උතුරින් ගයනා උස්බිම්වලට, බටහිරින් ඇන්දීස් කඳුවැටියට, දකුණින් බ්‍රසීලියානු මධ්‍යම තැන්නටද, නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයටද මායිම් වේ.   

 

ගින්නට අසුවූ දැවැන්ත 
ඇනකොන්ඩාවෙක්

 


ලෝකයේ විශාලම ගංගා ද්‍රෝණිය ඇමසෝනියාවයි. ලෝකයේ ජෛව විවිධත්වයෙන් ඉහළම සංරක්ෂණාගාරය ඇමේසන් වනාන්තරයයි. එහි ජීවී විශේෂ මිලියන ගණනක් වාසය කරන අතර ඉන් බොහොමයක් තවමත් විද්‍යාවෙන් පවා තහවුරු කර නොමැත. ලෝකයෙන් හුදෙකලා වූ ප්‍රාථමික ගෝත්‍රික ජනකොටස්ද තවමත් මෙහි වාසය කරති. ඉන්දියාව මෙන් දෙගුණයක් විශාල ඇමේසන් වැසි වනාන්තරය ලෝකයේ ජෛව විවිධත්වයෙන් සියයට දහයකට නිවහන් වෙන අතර පෘථිවියේ ඔක්සිජන් සැපයුමෙන් සියයට 20ක් පැමිණෙන්නේ එහි සිටය.   


ඇමේසන් වනාන්තරය මුළු පෘථිවියේම උෂ්ණත්වය නියාමනය කිරීමට දායක වේ. මෙම වනාන්තරය සුරැකිව තිබුණි නම්, දේශගුණ විපර්යාසය යම් තරමකින් හෝ අඩු කිරීමට හැකියාව තිබේ.   


දිනෙන් දින ඉහළ නැගෙන බ්‍රසීල ජනගහනය නිසා සතුන් ඇති කිරීමටත්, වගාවන් සඳහාත් වනාන්තරය එළි කිරීම ඇරඹුණේ 20 වැනි සියවසේදීය.   


දකුණු ඇමරිකාවේ ඇමේසන් වනය ගිනි ගෙන දැවී යයි. ගිනිකොනදිග ආසියාවේ හා ආසියාවේ අනෙකුත් රටවල මහා පරිමාණ කැලෑ එළිකිරීමෙන් හා ගස් කැපීම නිසා තවදුරටත් ඉතිරිව තිබෙන වනාන්තරද ලෝකයට අහිමි වෙමින් පවතී. මෙසේ අභියෝගයට ලක් වෙන්නේ අනාගත මිිනිසුන්ගේ පමණක් නොව, ශාක සත්ත්ව ප්‍රජාවේද ජීවත් වීමේ හා පැවැත්මේ අයිතියයි.   

 

 

අන්තර්ජාලය ඇසුරිනි.   
නිසංසලා දිසානායක