භාවිතය පරෙස්සමෙන්

 

‘දුම්රිය’ සහ ‘දුරකතනය’ යන වචන දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් නැත. දුරකතනය අද අතක් පයක් හෝ ජිවිතයක් නැති කිරීමට ආ මිනීමරුවකු වී හමාරය. එහෙත් යකඩ යකා ඊට වගකිව යුතු ද? 


ශ්‍රී ලංකා දුම්රිය ආරක්ෂක අධිකාරිය සපයන වාර්තාවන්ට අනුව මෙම වසරේ ගතවූ මාස දෙකක කාල සීමාව තුළ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් 67 දෙනෙකු මියගොස් ඇත. මේ අතුරින් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ ජංගම දුරකථන භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කරද්දීය. 


ජංගම දුරකතනය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවීමත් ඉයර්ෆෝන් කනේ ගසාගෙන යෑමත් අනුව රේල් පාරේ ගමන් කිරීමේදී අවධානය මඟහැරී යාමත් මේ අනතුරු බහුලව වීමට ප්‍රධාන ​ෙහ්තුව වී ඇති බව පෙනේ. 


 ජීවිතයේ වටිනාකම නොතකා ජංගම දුරකතනයට ඇබ්බැහි වීමට තරම් සංකීර්ණ සමාජ වටපිටාවක් බිහි වීමට හේතුව කුමක්ද? බාඳුරා මලට හසුවූ බඹරෙකුට අත්වන ඉරණම මිනිස් ජීවිතවලට අත්වීම අතිශය ඛේදජනක ද? 


සීමාව නොදැන ජංගම දුරකතන භාවිතයෙන් යකඩ යකාට බිලිවූ මිනිස් ජීවිත පිළිබඳ සිදුවීම් ගණනාවක් ඉකුත් සමයේ අපට දැකගත හැකි විය. 
මීට දින කිහිපයකට පෙර නොසැලකිලිමත් ලෙස දුම්රිය මාර්ගයේ ගමන් කළ පාසල් සිසුවෙකු හා සිසුවියක දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුවතක් නාවලපිටියෙන් අසන්නට ලැබිණ. 


නාවලපිටිය දෙකින්ද ප්‍රදේශයේ විසූ ද‌ාසය හැවිරිදි ලලංග හර්ෂ කුමාර සිසුවා සහ නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ විසූ ද‌ාහතර හැවිරිදි පියුමි භාග්‍යා සිසුවිය මෙම බිහිසුණු ඉරණමට ගොදුරු වූහ. 


මෙම දෙදෙනා සහ සිසුවාගේ පෙම්වතිය දුම්රිය මාර්ගයේ ඉඟුරුඔය දෙසට ගමන් කරමින් සිටිය දී හදිසියේ පසුපසින් පැමිණෙන දුම්රිය දුටු මියගිය පාසල් සිසුවා පෙම්වතිය දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කළේය. ඔවුන්ට ඉදිරියෙන් ජංගම දුරකකතනයට සවන් දෙමින් ඇවිද ගිය මිතුරු සිසුවිය බේරා ගැනීම සඳහා දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කිරීමට පාසල් සිසුවා උත්සාහ දැරීය. එහෙත් දෙදෙනාම දුම්රියේ ගැටී එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වූහ. 


මෙම තිදෙනාම බාහිර පන්තියකට සහභාගි වන බව නිවසට පවසා නිවසෙන් පැමිණ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක් වී ඇත. 
 මියගිය සිසුවිය මුහුණු පොතේ දසුන් බලමින් දුම්රිය ම​ෙග් ඉදිරියට ගිය බවත් ඇය ජංගම දුරකතනයට අවධානය යොමු කළ නිසා මෙම අනතුර සිදුවූ බවත් සිදුවීම සියැසින් දුටු දුම්රිය නියාමකවරයා පවසා ඇත. 


එමෙන්ම ධාවනය වන දුම්රියක පාපුවරුවේ සිට (සෙල්ෆි) ස්වයං ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කළ තරුණයකු පාපුවරුවෙන් ඇද වැටී සෙල්ෆියක් වෙනුවෙන් පාදයක් අහිමි වූවේ ද පසුගිය දිනකදීය. 


විදේශික ජාතිකයන් ද දුම්රිය පාපුවරුවේ සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් මියගිය සිදුවීම් කිහිපයක් ද මෑතක දී වාර්තා විය. තව ද පසුගිය දිනක කොළඹ ප්‍රධාන පෙළේ පාසල් සිසුවකු දුම්රිය පාපුවරුවේ එල්ලී ගමන් කිරීමේ දී කැලණි පාලමෙන් ඇද වැටී අවාසනාවන්ත ලෙස සිය ජීවිතය අහිමි කර ගත්තේය. 


 එමෙන්ම ශ්‍රවණාබාද වයස්ගත පිරිස් ද දුම්රියේ නළා හඬ නොඇසීම හේතුවෙන් අකාලයේ දුම්රියට බිලි වූ පුවත් ගත වූ මාස දෙක තුළ වාර්තා වී ඇත. 
මෙරට තුළ සිදුවන දුම්රිය අනතුරු අතර ප්‍රධාන තැනක් ගන්නේ ජංගම දුරකතන භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම ඇතුළු වැරදි බව දුම්රිය ආරක්ෂක හමුද‌ාවේ අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා අප සමග පැවසීය. 


 ‘දුම්රිය මාර්ගයක් කියන්​ෙන් අවද‌ානම් ප්‍රදේශයක්. පසුගිය මාස දෙකට වෙරළාසන්න දුම්රිය මාර්ග (Marine Drive) ප්‍රදේශ සහ මීදුම අධික ප්‍රදේශ තුළ ජීවිත අවද‌ානම් තත්ත්වය වැඩි වී තිබෙනවා. 


 සති අන්තයේ මුහුදේ නාන්න එන පිරිස වැඩියි. ඒ වගේම ගොඩක් තරුණ පිරිස ප්‍රේම කරන්න, නිදහසේ කතා කරන්න තෝරාගන්නේ දුම්රිය පාර මැද. මත්පැන් බොමින් විනෝද වන තරුණ පිරිස් ඉන්නවා. රේල් පාරේ දුම්රිය පාපුවරුවේ සෙල්ෆි ඡායාරූප ගන්නවා. ​බොහෝ තරුණ පිරිස් දුම්රියට මීටර් 100 ක් - 200 ක් පමණ ඈත තිබියදී දුම්රිය පැමිණීමට තවත් විනාඩියක් පමණ ගතවනු ඇතැයි සිතා සෙල්ෆි ගැනීමට සූද‌ානම් වෙනවා. එහෙත් ෆෝන් එක අතට ගන්නටත් පෙර දුම්රිය ඉදිරියට ඇදෙන්නේ සෙල්ෆියත්, දිවියත් දෙකම අවසන් කරගෙන. 


 වැඩිපුරම දුම්රිය ගැටීමෙන් මරණයට පත්වෙන්නේ සෙල්ෆි ගැසීමට යෑමෙන් සහ ජංගම දුරකථන කනේ තබාගෙන යාමෙන්ය. 


රේල් පීලි සහ පාර අතර තිබෙන්නේ පටු තීරයක්. විනෝද වීමට එතරම් ප්‍රමාණයක ඉඩක් නැහැ. විශේෂයෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය සිට වැල්ලවත්ත, ගල්කිස්ස දක්වා සීමාවේ ද්විත්ව දුම්රිය මාර්ගයක් පිහිටීම නිසා එක් දුම්රියකින් බේරෙන්න අනිත් පැත්තට පැන්නොත් ඒ මාර්ගයෙන් එන දුම්රියට ගැටෙන්න පුළුවන්. 
අවදානම් සහිත ප්‍රදේශවල අනතුරු වැළැක්වීම සම්බන්ධයෙන් අප මේ වන විටත් විවිධ වැඩපිළිවෙලක් යොද‌ා තිබෙනවා. එම ප්‍රදේශ ආශ්‍රිතව පුවරු ප්‍රදර්ශනය කිරීම මගින් උපදෙස් ලබා දීම ඇතුළු විවිධ ආකාරයේ දැනුවම්වත් කිරීම් සිදුවෙනවා. 


මුහුදු බඩ ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ සංසරණවීම වෙනස්. ඇතැම් අවස්ථාවල කෝච්චියේ හඬ නොඇසීමට අධික සුළඟත් හේතු වෙනවා. ඒ වගේම අපේ දුම්රියවලට අලුතින් එක්කළ ඇතැම් බලවේග කට්ටල හරහා එන්ජිම තුළින් වැඩි හඬක් නිකුත් නොවන නිසා දුම්රිය සමීපයටම පැමිණෙන තෙක් හඬක් ඇසෙන්නේ නැහැ. ඒ වගේම වේගය වැඩියි. විශේෂයෙන් මුහුදු බඩ මාර්ගවල වෙරළේ විනෝද වෙන පිරිස් දුම්රිය මාර්ග අනතුරු පිළිබඳ සිහි තබාගෙන විනෝද වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. 


 ඒ වගේම දුම්රියට යට වී මරණයට පත්වෙන අය සියදිවි නසා ගැනීමට එන පිරිස් අපට තවත් ගැටලුවක්. ජීවිත නැති කරගැනීමට රේල් පාර තෝරගන්න එපා. අනිත් කාරණය ප්‍රේමකරන්න, විනෝද වෙන්න, රේල් පාර සුදුසු තැනක් නෙවෙයි. ඒ නිසා මම විශේෂයෙන් තරුණ ජීවිතවලට කියන්නේ මනසින් වැඩ කරන්න. අවබෝධයෙන් ජීවත් වෙන්න. විනෝදය, ආදරය, වෛරය පිරිමහන්න දුම්රිය මාර්ගය භාවිත කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා. 


 2017 වසරේ සිදුවූ දුම්රිය අනතුරුවලින් මියගිය බවට වාර්තා වූ පුද්ගලයන් ගණන 517 ක්. පසුගිය වසරේ දුම්රිය අනතුරුවලින් පුද්ගලයින් 550 ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පහුගිය වසරවල්වලට වඩා 2018 දුම්රිය අනතුරු නිසා සිදුවූ මරණ ශීඝ්‍රයෙන් වර්ධනයක් වෙලා තිබෙනවා. මේක ඉතාම ඛේදනීය තත්ත්වයක්. පසුගිය මාස දෙකට මරණ 67 ක් වාර්තා වුණා. 


උපකාරක පන්ති බොහෝමයක් පිහිටා තිබෙන්නේ දුම්රිය මාර්ගයන් අසල. පන්තිය අවසන් වුණාම එකපාරටම ඒ දරුවෝ පාරට පනිනවා. ඒ වගේ අවස්ථාවල දී දුම්රිය අනතුරු වීමේ ප්‍රවණතාව වැඩියි. ඒ වගේම දුම්රියට යටවෙලා මැරෙන බොහෝ පිරිස අතර ශ්‍රවණාබාධිත පිරිස් වැඩියි. 


 රේල් පාරට පැමිණීමට නොහැකි වන සේ වැටක් ඉදිකිරීමට යෝජනා කළත් අනවසර ඉදිකිරීම් නිසා ඒ යෝජනා අසාර්ථක වෙලා තියෙනවා. රේල් පාරවල් අසල තිබෙන බොහෝ නිවෙස්වලට යන මාර්ගය වෙලා තිබෙන්නේ රේල් පාර. ඉදිරියේදී රේල් පාරේ ගමන් කරලා අහුවුණොත් නීතිමය දඬුවම් ලබාදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා යැයි අනුර ප්‍රේමරත්න මහතා අප සමඟ සඳහන් කළේය. 


ජංගම දුරකතනවලට ඇබ්බැහි වීමට තරම් සංකීරණ සමාජ වටපිටාවක් බිහිවීමට හේතුව, අවධානයක් නොමැතිකමෙන් සිදුවන දුම්රිය අනතුරු, සියදිවි නසාගැනීම්, ඉහළ යන ගැටලුවලට මුහුණ දීමට තරම් හැකියාවක් තරුණ ජීවිතවලට නොමැති නිසාද යන්න ගැන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය නෙරංජි විජේවර්ධන මහත්මිය අප සමග මෙසේ අදහස් දැක්වූවාය. 


 ලංකා ඉතිහාසයේ මෑත කාලයේ දුම්රිය අනතුරු ගත්තම එක සිදුවීමක් කන වැකිලා ඒ මතකය අමතක වන්නටත් කලින් දුම්රිය අනතුරු පිළිබඳ වාර්තා වීම සුලබ සිදුවීමක්. 
මෙම අනතුරුවලට මූලික හේතුවක් තමයි දුම්රිය පද්ධතින්වල විදුලි සංඥා‌ පුවරු අක්‍රියවීම, දුම්රිය හරස් මාර්ග අනාරක්ෂිත වීම. අනවසර පදිංචිකරුවන් විශාල පිරිසක් අවට ජීවත් වීම. 


 මේ ගැන එකිනෙකාට දෙ‌ාස් පැවරීමට වඩා කාර්යක්ෂම සුරක්ෂිත නවීන දුම්රිය සේවාවක් ඇතිකිරීම, ඔස්සේ දුම්රිය අනතුරුවලින් සිදුවන මරණ අවම කළ හැකියි. 
නව යොවුන් විය පහුකරපු අවුරුදු 30 - 35 අඩු තරුණ තරුණියන් පිරිස අතර දුම්රියට පැන සියදිවි නසා ගැනීම අද්‍ ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා. විශේෂයෙන් අද තරුණ දරුවෝ පියවි ලෝකේ නැහැ. මනස දුරකතනයේ ඔබාගෙන තමයි ඇවිදින්නේ. ෆෝන් එක දුවන පැත්තට තමයි මනස දුවන්නේ. ළමයි පාරවල්වල ෆෝන් කනේ ගහගෙන ඇවිදින්නේ උන්මතකයෝ වගේ. මේ අය ජීවිතේ ගැන ආක්‍රමණශීලීව තීරණ ගන්න කණ්ඩායම්. 


 විශේෂයෙන් මේක අද රැල්ලක් වෙලා තියෙනවා. එක් අයෙක් මේ දේ කරොත් අනෙක් කෙනත් ප්‍රශ්න විසඳන්න තියෙන ලේසිම පහසුම ක්‍රමය ලෙස දුම්රියට පැනීම තෝරා ගැනීම අපි දකිනවා. 


 දුම්රිය අනතුරු සියදිවි නසා ගැනීම් වැඩිවෙන්න මෙම අනතුරු මාධ්‍ය තුළින් මහජනයාට වාර්තා කරන ආකාරයත් බලපානවා. විවිධ නාළිකාවල මෙවැනි සිද්ධීන් කුතුහලාත්මකව පෙන්වනවා. කෝච්චියට පැනීමට පෙර සිදුවීම් පසු සිදුවීම් පැනපු විදිහ ඩිජිටල් ඡායාරූපකරණය හරහා චිත්‍රපටි ලෙස පෙන්වීමෙන් වෙන්නේ මැරෙන්න තිබෙන ක්‍රම හඳුන්වා දීමක් සියදිවි නසාගන්න අය, නොසැලකිල්ලෙන් ජීවිත නැති කරගන්න අය සමාජයේ චරිත බවට පත්කරන්න එපා. 


අද තරුණ පිරිස සමාජය එක්ක මුහුණ දෙන ගැටලු සමඟ ඔවුන් ජීවත් වෙන්නේ පීඩනකාරී මානසිකත්වයෙන්. එහෙම පීඩාකාරී මානසිකත්වයක් තියෙන තරුණ තරුණියෝ ඒ පීඩනයෙන් මිදෙන්නේ කොහොමද කියලා උත්තර සොය සොයා ඉන්නකොට අපේ මාධ්‍ය ඒ අයට මැරෙන විකල්ප පුරුදු කරනවා. 


 පහුගිය කාලේ අපි දැක්කා විශ්වවිද්‍යාල උපාධිධාරි සිසුන් හෙට දවස භාරගන්න ඉන්න මේ රටේ දක්ෂ දරුවන් ගණනාවක් තම වටිනා ජීවිත යකඩ යකාගෙන් අවසන් කරගත්තා. මෙන්න මේ මරණ පිළිබඳ සමාජයේ ලොකුවට කතා කරන නිසා තමයි තරුණ ජීවිත ගැටලුවලට උත්තර සොයන්නේ නැතුව මරණය විකල්පයක් විදිහට තෝරාගන්නේ. 
බලන්න නාවලපිටියේ සිදුවුනු දුම්රිය අනතුර. හුදෙකලා වෙච්ච රේල් පාර ප්‍රේමකරන්න යොද‌ා ගන්නේ ඇයි? 


අද තරුණ පිරිස ඉන්නේ විශාල පීඩනයකින්. පනින රිළවුන්ට ඉනිමන් බදින එක නෙමෙයි අපි කරන්න ඕන. තරුණ පිරිසට ඒ පීඩනයෙන් මිදෙන්නට අවස්ථා සලසන එක. ඒ නිසා මෙවැනි සිද්ධීන් වාර්තා කිරීමේදී මැරෙන අය වීරත්වයෙන් ඔසවා තබන්න එපා. 


පාසල් වියේ ඇතැම් දරුවන් තමන්ගේ හිතුමනාපෙට වැඩ කරන්නේ බය සැක කියන දේ නැතිවෙලා තියෙන්නේ. හේතුව අද මාපියන්ට ඔවුන් ගැන වෙන් කරන්න කාලයක් නැතිකම. දරුවෝ මාපියන්ටවත් මාපියෝ දරුවන්ටවත් ඇහුම්කන් දෙන්න අද සූද‌ානම් නැහැ. අධික වෙහෙසකර ජීවන ගමනත් එක්ක මව්පියන්ට දරුවන් මග ඇරිලා. කොච්චර මුදල් දුන්නත් දරුවන්ට වැඩක් නැහැ. එයාලා වෙනුවෙන් වෙන් කරන්න ඕන මාපියන්​ෙග් කාලය. දරුවන් ජංගම දුරකතනවලට ඇබ්බැහි වීම වර්ධනය වෙලා තියෙන්නේ මාපියන්ගේ ඈත් වීමත් එක්ක ඇතිවන තනිකම නිසා. 


තවත් කාරණයක් තමයි විශේෂයෙන් තරුණ දරුවෝ ප්‍රේමය සහ අනෙකුත් සමාජ සම්බන්ධතා කළමනාකරණය කර ගත යුත්තේ කෙසේ ද කියලා නොදන්නා කාරණය. 
ප්‍රේමයත් අද වාණිජකරණය වෙලා. යොවුන් ආදරේ අද පටන් ගන්නේම හෝටල් කාමරේකින්. අද හැමදේටම මිලක් නියම වෙලා තියෙනවා. එද‌‌ා ප්‍රේමයට මුසුවුණු රසාස්වාදය නෙමෙයි අද එළියට එන්නේ රාගය මිශ්‍ර වෙච්ච දේවල්. දරුවෝ උන්මන්තකයෝ වගේ ප්‍රේමය සොයාගෙන යන්නේ ඒකයි. 


අනෙක් කාරණය තමයි ජංගම දුරකථනය නිසා 2017, 2018 වසර දෙකේදීම තරුණ ජීවිත ගණනාවක් බිලිගෙන තිබෙනවා. ප්‍රධාන හේතුව තමයි ජංගම දුරකතනයේ හෑන්ඩ් ෆ්‍රී කනේ රඳවාගෙන නොසැලකිල්ලෙන් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම. ජංගම දුරකතනය අද වන විට අත්‍යවශය මෙවලමක් බවට පත්ව තිබෙනවා. එකී අවශ්‍යතාව අපට වඩාත් ගැළපෙන ලෙසට සකසා ගත යුත්තේ කේසේ ද? මිනිසකු නිතරම තෘප්තිය සඳහා භෞතික අවශ්‍යතා, ආත්ම පරිපූරක අවශ්‍යතා, ආරක්ෂක අවශ්‍යතා, සමාජීය අවශ්‍යතා යන අංශ පහ කෙරෙහි සෘජු අවධානයක් යොමුකරන බව ග්‍රීක ද‌ාර්ශනිකයකු වූ ‘වැස්ලෝ’ අවධාරණය කර තිබෙනවා. 


 ආදරය මිත්‍රත්වය බැදීම් ආදිය සොයා යන්නෙත් සමාජ ජාල මාධ්‍ය භාවිත කරමින් ඡායාරූප සමාජ ජාලවලට යොද‌ා ඒ ඔස්සේ ආකර්ෂණය ලබා ගැනීම ඒ අතර ප්‍රධාන වී තිබෙනවා. තරුණ සමයේ ඇතිවන කායික මානසික ශක්තිය බුද්ධිමත්ව ප්‍රයෝජනයට ගත යුතුයි. 


 විශේෂයෙන් ජීවිතේ පිළිබඳ මනා සැකලිමත්ව කටයුතු කිරීමට තරුණ පිරිස සතු යුතුකමක්. සැලකිල්ලෙන් කටයුතු කිරීම කෙනෙකුට කියලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන් යන ගමන ගැන හරි අවබෝධයෙන් යන්න. තමන් තුළින්ම තමන්ගේ ජීවිතයට වටිනාකමක් ලබාදෙන්න. විය යුත්තේ එයයි. ඇය තවදුරටත් පැවසුවාය.

 

 

 

 නදීශා අතුකෝරළ