දැන් ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනය සම්මත කර ගත් පසුව මෙරට පාර්ලිමේන්තුවට සිදුවිය හැකි අලකලංචිය ද රටටත් රටවැසියාටත් බරපතළ විය හැකිය.

අවුරුදු 100කට පමණ පසුව අද ලංකාවේ විසිවැනි සංශෝධනයෙන් කරන්නට යෝජනා කරන්නේ ද 1930 ගණන්වල ජර්මනියේ පාර්ලිමේන්තුව අකර්මන්‍ය කළ ආකාර වෙනස්කම් ටිකකි. ලංකාවේ ජනාධිපතිවරයාට නීති සෑදීමේ බලය ලබාදෙන යෝජනා 20හි අඩංගුය. ජනමත විචාරණයක් මගින් හදිසි පනත් සම්මත කිරීමේ අයිතිය, පාර්ලිමේන්තු සභාවේ සාමාජිකයන් ඉවත් කිරීම හා පත් කිරීමේ බලය, පාර්ලිමේන්තුව පත්වී වසරක් ගෙවී ගිය විට ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමේ බලය ආදී පාර්ලිමේන්තුව අඩපණ කරන බලතල ජනපති සතුය.

20ට ජනවරමක් ලැබුණාද?
ලංකාවේ ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය එපා කියා 20 ගෙන ඒමට ජනතාවගෙන් අතිබහුතරය බලය ලබා දී ඇති බව සෞභාග්‍ය ආණ්ඩුව කියයි. ඇතැමුන් කියන්නේ යහපාලන ආණ්ඩුවේ දුර්වල ක්‍රියාකාරකම් හේතුවෙන් ඉච්ඡාභංගත්වයට පත්වූ ජනතාව ජනාධිපතිවරයාද සෞභාග්‍ය ආණ්ඩුව පිහිටුවීමට ඉතසිතින් කටයුතු කළ බවය. එය සැබෑවකි. එහෙත් ප්‍රශ්නය වන්නේ එකී ජනතාව 20හි සඳහන් ආකාරයට, රටේ නීතියට ඉහළින් සිටින රජකු ව්‍යවස්ථානුකූලවම තනන්නට අවසර දුන්නාද යන්නය.

පසුගිය ජනාධිපතිවරණයේදී ‌සහ මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනය ලෙස භාවිත කෙරුණු “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ නව ව්‍යවස්ථාවක් ගෙන එන බව පමණි. ඒ සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන බවද සඳහන්ය. විසිවැනි සංශෝධනයක් ගැන ඉඟියක් හෝ නැත. මැතිවරණ වේදිකාවේදී, තමන්ද අත ඔසවා සම්මත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන බව ප්‍රකාශ කළ ද යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධනයක කුමක් අඩංගු වන්නේද යන්න කීවේ නැති තරම්ය. උදාහරණයක් ලෙස, රාජ්‍ය සමාගම් විගණකාධිපතිගේ විගණනයෙන් ඉවත් කරන බව කීවාද? ඇමති මණ්ඩලයට පනවා ඇති සීමාව ඉවත් කොට කැමති තරම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට බලය ලබා ගන්නා බව කීවාද? ජනාධිපතිවරයා ව්‍යවස්ථාව රැකීමට බැඳී සිටීය යන වගන්තිය ඉවත් කරන බව කීවාද? නැත. ඒසේ කීවා නම්, ජනතාව එය අනුමත කරනු ඇත්ද? නැත. නව ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ජනතාව අනුමත කොට තිබේ යැයි තර්ක කළ හැකිය. එහෙත්, යෝජිත සංශෝධනවලට ජනතා වරමක් ඇතැයි තර්ක කළ නොහැකිය. සැබැවින්ම, මේ සිදුවන්නේ ජනතාව විශ්වාසයෙන් ලබා දුන් ජනවරමක් විකෘති ලෙස අර්ථ ගැන්වීමේ තැතකි.


ව්‍යවස්ථාවෙන් රජුන් තැනීම
නූතන ලෝකය තුළ ව්‍යවස්ථාදායක රජුන් ගොඩනැගූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බහුල නොවෙතත් ප්‍රචලිත ව්‍යවස්ථා කීපයකි. එකක් වන්නේ මේ තාක් වැඩිම කාලයක් බලය රඳවා ගන්නට සමත් වූ උතුරු කොරියානු ව්‍යවස්ථාවයි. දෙවැන්න ඊජිප්තු ව්‍යවස්ථාවයි. තුන්වන තැනට දමන්නට වන්නේ චීන ව්‍යවස්ථාවයි. එලෙස සංකේන්ද්‍රණය වූ විධායක බලය හේතුවෙන් රටේ සංවර්ධනයට ඇති වූ දායකත්වය සලකා බැලූ කල චීනය ඉදිරියෙන් සිටිය ද අදටත් උතුරු කොරියාව දුප්පත්කමේ අගාධයේ සිටින රටකි. ඊජිප්තුව ගතහොත් එහි ඇත්තේ අමුතුම පාලනයකි. ඉන්නේ අධිබලැති ජනාධිපතිවරයෙකි. පාර්ලිමේන්තුව කියා දෙයක් තිබුණ ද එය නීති හදන්නේ එරට ජනපතිට අවැසි ලෙසටය.


ජේ.ආර්. ගෙනා අධි බල ජනාධිපති මොඩලය
රටක සංවර්ධනය සහ ආරක්ෂාව  සඳහා අධිබලැති විධායකයක් අවශ්‍යවන්නේ යයි සිතන්නේ සහ තර්ක කරන්නේ ලෝකය පිළිබඳ තතු නොදන්නෝම වන්නෝය. ලෝකයේ දැනට පවතින කාර්යක්ෂම ආරක්ෂාව පවතින ජාතික රාජ්‍යය වන්නේ ඊශ්‍රායලයයි. එම රට පාලනය කරන්නේ අගමැතිවරයකු ප්‍රධාන කැබිනට් මණ්ඩලයක් මගිනි. ඊශ්‍රායලය ආරක්ෂාවෙන් මෙන්ම සංවර්ධනයෙන්ද අගතැන්පත් රටකි.

අගමැති ක්‍රමයක් සහිතව ලෝකය තුළ සංවර්ධනය අතින්ද ආරක්ෂාව අතින්ද බැබලෙන තවත් රටක් වන්නේ ජපානයයි. ජපානයට අඩුම තරමින් ආරක්ෂක හමුදාවක් පවත්වාගෙන යාමට පවා එරට ව්‍යවස්ථාවෙන්ම තහංචි පනවා තිබේ. ඉන්දියාව දැවැන්ත රටකි. එය දුවවන්නේ ද අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් මගිනි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පවතින ලොව විශාලතම රට එයයි.

රටක් සංවර්ධනය කිරීම සඳහා අධිබලැති විධායක බලයක් අවශ්‍යවන්නේ යයි කියන තර්කය අප උකහා ගෙන තිබෙන්නේ නැගෙනහිර ආසියානු රටවල සිදු වූ සංවර්ධනය දෙස බලමිනි. අද වන විට එය අවුරුදු පනහක් පැරැණි තර්කයක් බව කිව යුතුව තිබේ. මෙම තර්කය ලංකාවට පළමුව ආනයනය කරන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන විසිනි. ඒ සඳහා ඔහු 78 ව්‍යවස්ථාව හඳුන්වා දුන්නේය. එය ප්‍රංශ අමරිකානු හා බ්‍රිතාන්‍ය ව්‍යවස්ථා ආකෘතිවල සංකලනයකිනි. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය  තුළ පිළිගත් බල විභේදනය කිරීමේ නියාමය නග්න ලෙස කඩ කර තිබුණි.

ප්‍රංශ දාර්ශනිකයකු වූ මොන්ටෙස්ක්‍යු පවසා තිබුණේ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනැගීමට නම් රාජ්‍යයේ ප්‍රධාන අවයව තුන වන ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය එකිනෙකට ස්වාධීනව පැවතිය යුතු බවත් එක් අවයවයක් අනෙක් අවයවය මත සම්බන්ධීකරණ හා අධීක්ෂණ කාර්යක් සිදු කළ යුතු බවත්ය. ආණ්ඩුක්‍රම නීතියේ සහ දේශපාලන විද්‍යාවේ එන තුලනය හා සංවරණය ඉදිරියට එන්නේ මෙම සංකල්පය මත පිහිටාය. ඕනෑම රටක මෙම සමතුලිතතාව බිඳවැටුණු විට සමාජය අස්ථාවර වන්නේය. මේ සඳහා වන කදිම න්‍යායික තර්කනය ගොඩනඟා තිබෙනුයේ 1947 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය මගිනි. එමගින් කියැවෙනුයේ රටක නීතිය මගින් මානව හිමිකම් සුරැකීමට අපොහොසත් වේ නම් මිනිසුන් එම නීතිය හෝ ක්‍රමයට එරෙහිව කැරැලි ගැසීමට පෙළඹෙන බවය.

ඒ පිළිබඳව කදිම උදාහරණය සපයන්නේ ද ජේ.ආර්. යුගයයි. ඔහු ‘ගැහැනියක පිරිමියකු කිරීමට පමණක් නොහැකි තරම්’ බලය සියතට ගත්තද බලාපොරොත්තු වූ වේගවත් සංවර්ධනය ලබා ගැනීමට හැකි නොවුණේය. ඒ වෙනුවට, උතුරේ ද දකුණේ ද කැරැලි දෙකක් හට ගත්තේය. වෘත්තීය සමිති අරගල ඇති වී කාර්මික සාමය අඩපණ වූයේය. දීර්ඝ කාලයක් සමාජය තුළ කතා බහට ලක්ව තිබූ අධි බලැති විධායකයක් රටට හිතකර නොවන්නේය යන තර්කය දේශපාලන සටන් පාඨයක් වූයේ 1994 සිට ඉතිහාසයෙන් ලැබූ පාඩම්වලිනි. මෙරටට නැගෙනහිර ආසියාවේ අත්කරගත් සංවර්ධනය එනම් ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් මරා ලබා ගන්නා සංවර්ධනය පිළිබඳ මොඩලය නොසරිලන බව විනාශ වූ අතිමහත් භෞතික හා මානව සම්පත් හමුවේ ඒත්තු ගැනීම නිසාය. ආණ්ඩුක්‍රමයට 17 වැනි  සහ 19වැනි සංශෝධන ගෙන ඒම පසුපස තිබුණු චින්තනය නම්, එකී අධිබල මොඩලය මෙරටට විනාශය මිස සුගතිය නොගෙන එන බව පිළිබඳව තිබූ අවබෝධයයි.


අවනීතියට පාර කැපීමක්
සම්මත කෙරුණු 19 සංශෝධනය තුළ පැවති මෙම තුලනාත්මක ගුණය, 20 වැනි සංශෝධනයෙන් පරාජය කරන්නට උත්සාහ දරන්නේ කාර්යක්ෂම හා ශක්තිමත් විධායක ජනාධිපතිවරයකු ගොඩනඟන්නට නම්, මේ පරස්පර විසඳා ගත යුතුය. පළමු පරස්පරය නම් ව්‍යවස්ථාවේ 33(1) වගන්තිය ඉවත් කිරීමයි. ඉන් කියවෙන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රමය රකින්නට, සමාජ ඒකාග්‍රතාවය රකින්නට, ව්‍යවස්ථාවේ සඳහන් තුලන හා සංවරණ ක්‍රම රකින්නට හා නිදහස් හා සාධාරණ මැතිවරණ පවත්වන්නට වගකීම දරන බවයි. මේ වගකීම්වලින් ජනාධිපතිවරයා නිදහස් කර තිබෙන්නේ කුමක් සඳහා ද? ඒ බලතල හා වගකීම් අතහැර සුපිරි සංවර්ධනය ලබා ගත හැකිද?  දෙවැනි පරස්පරය නම්, ඉහළ අධිකරණවල විනිසුරුවරුන් සහ විගණකාධිපතිවරයා පත්කිරීම හා ඉවත් කිරීම ජනාධිපතිවරයා අතට පත් කරන්නේ ඇයිද යන්නයි. අධිබල සංවර්ධනයට මේ නීතිය සහ විගණනය තමා යටතට ගැනීම අවශ්‍ය ද?

යෝජිත 20 වැනි සංශෝධනය හරහා දැවැන්තම ප්‍රහාරය එල්ලවීමට ඉඩ තිබෙන්නේ රාජ්‍ය පොදු මුල්‍ය පරිපාලන පිළිවෙතටය. එය අගමැතිවරයාගේ බලතල අඩුවීමට හෝ ජනාධිපතිට එරෙහිව මානව හිමිකම් නඩුවක් පැවරීමට ඇති අයිතිය නැතිවීමට වඩා රටට හා සමාජයට ප්‍රබලව දැනෙනු ඇත.

ගාණක් මිම්මක් නැති රටක්
ගඟේ මුහුදේ දැම්මත් ගාණක් මිම්මක් තියෙන්න ඕනෑ යැයි කතාවක් තිබේ. 20 වැනි සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය හොඳින් කියවන්නකුට විගණකාධිපතිවරයා ද ඔහුගේ විගණක සේවය ද ස්වාධීන මුල්‍ය පාලනයකට අවැසි අනෙක් උපාංග ද බිඳ දමා රාජ්‍ය විගණනය දේශපාලනඥයන්ගේ බලයට නතු කිරීමට කටයුතු යොදා ඇති බව හොඳින් පැහැදිලි වන්නේය. එහි පළමු පියවර වී ඇත්තේ 20 වැනි සංශෝධනයෙන් විගණකාධිපති ජනාධිපතිගේ අනුකම්පාව යටතේ සේවය කරන රාජ්‍ය නිලධාරියකු බවට පත් කිරීමය. යෝජිත 20 වැනි සංශෝධනයේ ඇති 6, 31, 32 සිට 39, 40, 54 සහ 55 යෝජනාවලින් ඒ බව මැනවින් පැහැදිලි වෙයි.

ඒවායින්, 6 වැනි යෝජනාව කියන්නේ එතෙක් ස්වාධීන තනතුරක්ව තිබූ විගණකාධිපතිවරයා ජනාධිපතිගේ අනුකම්පාව හා අභිමතය මත පත් කිරීම හා ඉවත් කිරීම සිදුකරන බවය. එසේම එම තනතුරට පුද්ගලයකු පත් කිරීමේදී ඔහු හෝ ඇයගේ පරිචය සුදුසුකම් අනවශ්‍ය බව 31 වැනි යෝජනාවේ හරයයි.

විසිවැනි සංශෝධනයේ 40 යෝජනාව මගින් කියන්නේ විගණකාධිපතිගේ විගණන වපසරිය අඩුකරන බවය. එනම් ජනපති කාර්යාලය ද අගමැති කාර්යාලය ද රාජ්‍ය සමාගම්ද රාජ්‍ය විගණනයෙන් ඉවත් කරන බවය. යෝජනා 54 හා 55 කියන්නේ ජාතික ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරන බවය.

මේ යෝජනා සමස්තය මගින් කියැවෙන්නේ ව්‍යවස්ථාවේ XVII පරිච්ඡේදයේ දැනට පාර්ලිමේන්තුව සතුව ඇතැයි පිළිගෙන ඇති ශ්‍රී ලංකා ජනරජයේ මුල්‍ය ස්වාධිපත්‍යය (fiscal sovereignty) පාර්ලිමේන්තුවෙන් ගලවා, ජනාධිපති යටතට ගන්නට බව මනාව පැහැදිලි වන්නේය.

ප්‍රසම්පාදන කොමිසමක් නැති කලට නිසි පටිපාටි අනුගමනය නොකරන ටෙන්ඩර් දෙනවාද නැද්ද මින් පසුව තීරණය කරනු ඇත්තේ දේශපාලකයාය. නිසි ක්‍රමවේද අනුගමනය කරන රාජ්‍ය ආයතන නොවේ. එම තීන්දු රට ඉතා වේගයෙන් සංවර්ධනය කිරීමට ඉවහල් වන තීන්දු ද නැද්ද යන්න පිළිබඳ අනාගතය තීරණය කරනු ඇත. කුමන චේතනාවකින් සිදු කළ ද 20 මගින් වංචාවට දූෂණයට සානුබල සපයන පරිසරයක් ඇතිවන බව නම් ලංකාවේ හැටි දන්නා ජනතාවට නොවකිවමනාය.

හයෙන් පහක බලයක් ලැබූ ජේ.ආර්. ආණ්ඩුව වසර දෙකක් තුළ දැඩි ජනතා අප්‍රසාදයට ලක් වූයේ ද මෙවැනිම අධිබල ව්‍යවස්ථා නිර්මාණය සහ තති බල පාලනයක් හේතුවෙන් බව කනගාටුවෙන් වුව ද සිහිපත් කළ යුතු වේ.

දේශපාලන කණ්ණාඩි පළඳින්නේ නැතිව මේ උදා වී ඇති අභියෝගය දෙස බැලීමට අපට හැකි විය යුතුය. මෙම විසිවැනි සංශෝධනය සම්මත වුවහොත් ඇති අවදානම වෙනදා මෙන් නොවේ. 1978 ව්‍යවස්ථාව මෙන් අපට සදාකල් දුක් විඳින්නට වන කරුමය ඇරඹුමකි.

(***)