අපේ රටේ රාජ්‍යයේ ස්වභාවය කුමක් විය යුතුද යන ගැටලුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වූ කාලයේ සිටම සාකච්ජා කෙරුණු ප්‍රශ්නයකි. ඒ සම්බන්ධයෙන් මතුවූ එක් තර්කයක් වූයේ 78 ව්‍යවස්ථාවෙන් ජනාධිපති ධුරයට ලබාදී ඇති බලය ඉතාමත් විශාල බවයි. ඒ බරපතළ බලය හේතුවෙන් අපේ ආණ්ඩුක්‍රමය එතෙක් තිබූ තත්ත්වයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දිසාවකට ගමන් කළ බව සමහරුන්ගේ මතයයි. තවත් සමහරුන්  කියන්නේ මේ ගැටලුව බරපතළ ආකාරයෙන් ආරම්භ වූයේ 1990 දශකයේ ප්‍රේමදාස මහතා ජනාධිපති තනතුරට පත්වීමත් සමග බවයි.  ලලිත්, ගාමිණී  එජාපයෙන් ඉවත්වීමත් සමඟ ආරම්භවූ විධායක ක්‍රමයට විරුද්ධවීමේ දේශපාලනයට පදනම වැටුණේ 89 සිට ප්‍රේමදාස මහතාගේ පාලනය පැමිණීමත් සමඟ බව ඉතාමත් පැහැදිලි කාරණයක්ය. ඒ කාරණය එසේ වූවාට 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වභාවය පිළිබඳව ගැටලුව ආරම්භ වන්නේ ප්‍රේමදාස මහතා ජනාධිපති වෙන්නටත් කලියෙන් ව්‍යවස්ථාව සම්මතවූ දවස්වල සිටන්ම යැයි පැවසීමේ වැරැද්දක් නැත.

ඇන්.ඇම්. පෙරේරා විසින් තමන් ලෙඩ ඇඳේ සිටිද්දී සම්පාදනය කරන ලද ලිපිපෙළක් මගින්  78 ආණ්ඩුක්‍රමයේ අර්බුදය පිළිබද සාකච්ජාවක් සිදුකළේ ඒ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ දවස්වලමය. පසුව පොතක් ලෙසින් පළකර ඇත්තේ ඇන්.ඇම්. මුලින් පුවත්පතකට කොටස් වශයෙන් ලියූ ඒ ලිපි පෙළයි. ඇන්.ඇම්. ගේ තර්කය වන්නේ එතෙක් පැවැති කැබිනට් ආණ්ඩු ක්‍රමයෙන් ඉවත් වී 1978 යෝජනා කරන ආණ්ඩුක්‍රමය ඍජු ජනාධිපති ක්‍රමයක් හෝ පාර්ලිමේන්තු කේන්ද්‍රීය ක්‍රමයක් නොවන මැද තැනකට වැටෙන බවයි. ඇමරිකානු ආණ්ඩුක්‍රමයේත් ප්‍රංශ ආණ්ඩු ක්‍රමයේත් මිශ්‍රණයක් ලෙසින් පෙන්නුම් කරන අපේ ව්‍යවස්ථාව මගින් එකිනෙකට නොගැළපෙන ගැටලු රාශියක් ඇතිකළ හැකි බවට ඇන්.ඇම්. සැක පහළ කළේය.  ඒ නොගැළපෙන තත්ත්වය සමහන් කරන්නට පසුගිය වසර 40 පමණ කාලය තුළ රටේ පැවැති විවිධ ආණ්ඩු විවිධ ආකාරයේ ක්‍රමවේද රාශියක් ගත් බව ප්‍රත්‍යක්ෂය. එහෙත් ඒ බොහෝ ප්‍රයත්න මගින් සිදුවී තිබෙන්නේ ගැටලුව තවත් වර්ධනයවීමක් මිස විසඳීමක් නොවන බවත් ඉතාමත් පැහැදිලි සත්‍යයක්ය. 19 වන ව්‍යවස්ථා  සංශෝධනය කියන්නේ මේ ආකාරයේ ව්‍යවස්ථා ගැටලු වැඩි කළ තවත් එක් ව්‍යවස්ථා සංශෝධනයක් බව කිව යුතුය.

මගේ මේ ලිපියේ අරමුණ 19 වන සංශෝධනයේ තිබෙන දේශපාලන ගැටලුකාරිත්වය පිළිබඳව යළිත් වටයකින් සාකච්ජා කිරීම නොවේ. මගේ උත්සාහය වන්නේ 19 වන සංශෝධනයේ අර්බුදය සහ ඒ ප්‍රශ්නය විසඳීම සඳහා වත්මන් ආණ්ඩුව විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉරිපත් කරමින් මතුකරන තර්කය වෙනත් කෝණයකින් සාකච්ජා කරන්නටය. මා මිත්‍ර ධම්ම දිසානායක විසින් මේ දවස්වල මතුකරමින් තිබෙන රාජාණ්ඩුවාදය සහ ජනරජවාදය පිළිබද මාතෘකාවට ද මේ සාකච්ජාව අදාළ ය.

මූලික වශයෙන් මා යෝජනා කරන්නේ අපේ රටේ ව්‍යවස්ථා සංශෝධනයන් පිළිබඳ සාකච්ජාව අපි හුදු අගින් අල්ලාගෙන කථා කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි. අපි බලාපොරොත්තු වන රාජ්‍යය කුමක්ද යන කාරණය අමතක කරමින් ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ  කථා කිරීම  සමහර වෙලාවට ගොඩනගන්නේ කිසිදු ආකාරයක ප්‍රතිඵලයක් නැති සංවාද බව මගේ නිරීක්ෂණයයි. අපි බලාපොරොත්තු වෙන රාජ්‍ය ලෙසින් මා මෙහි කියන්නේ අපේ සිතේ තිබෙන රාජ්‍යය නොව 1978 ව්‍යවස්ථාව තුළ සිටින විටක අපට ලබා ගත හැකි රාජ්‍යය කුමක්ද යන කාරණයයි.

1978 ව්‍යවස්ථාවේ මූලික අරමුණ වන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් බව ඉතාමත් පැහැදිලි කාරණයක්ය. මා එසේ කියන්නේ ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට ලබා දී  තිබෙන බලතල දෙස බැලීමෙන් පමණක් නොවේ. 78  ව්‍යවස්ථාවේ ඍජුවම පෙන්නුම් කරන්නේ රටේ ස්වාධිපත්‍ය හිමි ජනතාව ස්වකීය පාලන බලය (විධායක බලය) එක පැත්තකින් ඍජුවම තමන් තෝරන ජනාධිපතිවරයෙක් වෙතට ලබාදෙන අතර පාලනය සඳහා ප්‍රතිපත්ති සහ නීති නිර්මාණය කිරීමේ බලය (ව්‍යවස්ථාදායකත්ව බලය) ඍජුවම පාර්ලිමේන්තුව වෙත ලබාදෙන බවයි. මේ තත්ත්වය තුළ ව්‍යවස්ථාවේ අනෙකුත් වගන්ති බොහෝ විට අනුගමනය කරන්නේ ස්වාධිපත්‍ය හිමි ජනතාවගේ ඡන්ද බලයේ මේ ක්‍රියාකාරිත්වයන් දෙක (ජනාධිපති ධුරයට එක ඡන්දයක් සහ පාර්ලිමේන්තුවට එක ඡන්දයක් ලෙසින්) වන අතර එයින් පාලන බලය හෙවත් විධායක බලය යන්න ඉතාමත් වැදගත් සංකල්පයක් බව පිළිගැනීම අත්‍යවශ්‍යය. 78 ව්‍යවස්ථාවට අනුව රටේ පාලන බලය ක්‍රියාත්මක කිරීම සඳහා  ජනාධිපතිවරයා විසින්  අගමැතිවරයකු සහිත කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කරනු ලබන අතර තමන් විසින් (ජනාධිපතිවරයා විසින්) පත්කරනු ලබන ඇමතිවරයකු සහ  ස්ථිර ලේකම්වරයකු ඒ සෑම අමාත්‍යංශයකටම සිටිය යුතු බව ව්‍යවස්ථාවෙන් නිශ්චය කරනු ලැබ ඇත. මෙහිදි අවධානයට ගත යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ එසේ පත් කරනු ලබන ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විය යුතු බව ව්‍යවස්ථාවෙන්ම නියම වන නමුත් ඇමැති මණ්ඩලය යනු විධායක බලයේ දිගුවක් මිස ව්‍යවස්ථායක බලයේ දිගුවක් නොවන බවය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන එක් මූලධාර්මික ගැටලුවක් වන්නේ මේ පදනම නොසලකා හැර තිබීම යැයි කීමේ වැරැද්දක් නැත.

20 වන සංශෝධනයේ අව්‍යශ්‍යතාව මතුවන එක් ප්‍රධාන කාරණයක්  ලෙසින් මා තේරුම් ගන්නේ ‘ජනාධිපති ආණ්ඩුක්‍රමයක් ඇති රටක පාලන බලය සම්බන්ධව සිදුකර ඇති බරපතළ අවුලක් නිවැරැදි කිරීමේ’ උත්සාහයක් වශයෙනි.

පසුගිය ජනාධිපතිවරණයෙන් ජනතාවගේ එකඟතාව ලැබූ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන මගින් යෝජනා කරන්නේ මේ රටේ ශක්තිමත් රාජ්‍යයක්  සහිත රටක් ගොඩනැගීමේ යෝජනාවලියක් ය. ශක්තිමත් රාජ්‍යයක් යන්න මෙහිදී විශේෂයෙන් තේරුම් ගත යුතු කරුණක් වන්නේ 2015 සිට ක්‍රියාත්මක කළ දේශපාලන හා ආර්ථික වැඩසටහන තුළ උත්සාහගෙන  තිබුණේ රාජ්‍යය යටපත් සහ නිෂ්ක්‍රීය කරමින් නැගී සිටින ගජ මිතුරු වෙළඳ ව්‍යාපෘතියක් ගොඩනැගීමට නිසාය. සමහරුන් මේ ගජමිතුරු ධනවාදය හඳුන්වන්නේ සහචර ධනවාදය වශයෙනි. දැන් සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන තුළින් යෝජනා වෙන රාජ්‍යයේ ස්වභාවය වන්නේ හුදු නිෂ්ක්‍රීය ව්‍යාපෘතියක් හෝ සහචරයන් අතර බෙදී යන ව්‍යාපෘතියක් නොව ශක්තිමත් රාජ්‍යයක් බව තේරුම් ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය.

විශේෂයෙන්ම කොරොනා උවදුරෙන් වඩාත් නිශ්චිතව පෙන්නුම් කරන පරිදි ගෝලීය පද්ධතීන් බොහොමයක් කඩා වැටෙමින් තිබෙන තත්ත්වයක ශක්තිමත් රාජ්‍යයක ඇති වලංගුභාවය ඉතාමත් පහසුවෙන් යුක්ති සහගත කළ හැකි බව බොහෝ අය දන්නා කාරණයකි. සෞභාග්‍යයේ දැක්මේ යෝජනා කරන රාජ්‍යය යනු මේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ  සඳහා සක්‍රීය කාර්යභාරයක් සිදු කරන  රාජ්‍යයක් බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයය.

ඉතාලි ඇමරිකානු විද්වතෙකු වන මරියානා මසුකෙතෝ   (Mariana Mazzucato) විසින් ලියන ලද The Entrepreneurial State හෙවත් ව්‍යවසායකත්ව රාජ්‍යය නමැති කෘතියේ තර්ක කරන ආකාරයට රාජ්‍යයේ කාර්යභාරය හුදු මැදිහත්කරුවාගේ විෂයේ සිට ව්‍යවසායකයාගේ ක්ෂේත්‍රය දක්වා වර්ධනය විය හැකි බවයි. රාජ්‍ය යනු ව්‍යවසායකයෙක්ය යන අදහස මගින් පෙන්නුම් කරන්නේ රාජ්‍යය හුදු නිලධාරිවාදයකින් යුත් ආකෘතියක්ය යන අදහසින් මෑත් වූ නිර්මාණශීලී කාර්යභාරයක් දක්වා එය වර්ධනය කිරීමේ හැකියාවයි.  මෙහිදී මසුකෙතෝ ඉදිරිපත් කරන වැදගත් අදහසක් වන්නේ වර්තමාන තත්ත්වය තුළ රාජ්‍යයට ප්‍රධාන භූමිකා දෙකක් ඇතුළත් බවයි. එයින් එකක් වන්නේ වෙළඳපොළ ක්‍රමය තුළ රෙගුලාසි හදන්නා ලෙසින් පමණක් නොව  මුල්‍යය හසුරුවන්නා ලෙසින් වෙළඳපොළේ කඩාවැටීම් කළමනාකරන්නාගේ කාර්යයට මැදිහත්විය යුතු බවයි. පෞද්ගලික අංශයේ සහ සමාජමය අංශයේ ප්‍රතිලාභ පිළිබඳව මේ හරහා බරපතළ වගකීමක් රාජ්‍යයට හිමිවෙන බව ඇයගේ තර්කයයි. හුදු රජය පැත්තකට වී බලාසිටීමේ ප්‍රතිපත්තියෙන් මිදී පෞද්ගලික ව්‍යවසායකයන්ගේ සහ සමාජ ප්‍රතිලාභයන්ගේ වගකියන්නා ලෙසින් රාජ්‍යයට ඇති වපසරිය මේ අදහසින් ජනිත වන විශේෂ අර්ථයයි. දෙවැනුව රාජ්‍යයට ඇති වගකීම වන්නේ වෙළඳපොළේ නව මානයන් නිර්මාණය කිරීම සහ නවෝත්පාදනය මුල් කර ගත් සමස්තමය වූ සිතීමක් (holistic approach for system of innovation) රාජ්‍යය විසින් දැරිය යුතු බවයි.

අපේ රටේ දේශපාලනයේ රාජ්‍යයේ ස්වභාවය සහ ආර්ථිකයේ ස්වභාවය යන ක්ෂේත්‍ර දෙකම ඍජු ලෙසින්ම රටේ ව්‍යවස්ථාව සමග සම්බන්ධ වී ඇති තත්ත්වයක් තුළ ව්‍යවස්ථාමය වෙනස්කම් දෙස අප බැලිය යුත්තේ ඒ කියන පළල් හා පැතිරුණු කල්පනාව සහිතවය. අපි දැනට පවතින රාජ්‍යයේ ස්වභාවය තේරුම් ගන්නේ 1978 ව්‍යවස්ථාවට  අනුව නම් ඒ ව්‍යවස්ථාපිත ආකෘතිය විසින් යෝජනා කරන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් බව මගේ අදහසයි. එසේම රටේ ඉදිරිය පිළිබඳව විධායක බලය ජනතාව විසින් භාරදී ඇති සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන මගින් යෝජනා කරන්නේ ශක්තිමත් රාජ්‍යයක් වන අතර එම රාජ්‍ය යනු හුදු මැදිහත්කරුවාගේ කාර්යයේ සිට ව්‍යවසායකයාගේ කාර්යය දක්වා විසිරුණු පරාසයක් සහිත එකක් බව තේරුම් ගැනීම නිවැරැදි බව මගේ තේරුම් ගැනීමයි. එවැනි ව්‍යවසායකත්ව රාජ්‍යයක් වෙනුවෙන් ඉදිරියට යන දේශපාලන ක්‍රියාමාර්ගයක් වශයෙන් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තේරුම් ගැනීම ඉතාමත් වැදගත් බව මගේ යෝජනාවයි.

(***)
(මහාචාර්ය  - චරිත හේරත්)