සමගි ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ඉකුත් ද‌ා බරපතළ වැඩ සහිතව සිව් වසරක සිර දඬුවම් හිමි විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එලෙස සිරදඬුවමක් හිමි වූයේ නම් ඔහුට මන්ත්‍රීධුරය අහිමි වෙයි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති ගෙන හැර පාමින් නීතිඥයෝ විවිධ තර්ක විතර්ක මතු කරති. ඇතැම් නීති විශාරදයන් සඳහන් කරන්නේ සිර දඬුවමකට ලක්වූ රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධුරය අහිමිවන්නේ මාස හයකට පසුව බවය. තවත් පිරිසකගේ තර්කය වී ඇත්තේ සිර දඬුවම නියම වූ ද‌ා පටන් මන්ත්‍රී අසුන දැරීමට ඔහු නුසුදුස්සෙක් වන බවය.

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඇ) වගන්තියට අනුව ඡන්දද‌ායකයකු වීමට ඇති නුසුදුසුකම් සඳහන් කර තිබෙනවා. කිසියම් පුද්ගලයකු වසර දෙකකට වැඩි දඬුවම් ලැබිය යුතු වරදකට වරදකරුවකු වී මාස 6 කට වැඩි කාලයක් බන්ධනාගාරගතව එම දඬුවම විඳිමින් සිටියේ නම් ඔහුට ඡන්ද අයිතිය අහිමි වෙනවා. දඬුවම අවසන් වූ දිනයේ සිට තවත් වසර 7ක කාලයක් යන තුරුත් ඔහුට ඡන්ද අයිතිය අහිමි වෙනවා. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට තිබෙන නුසුදුසුකම් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. වසර හතකට පෙර කාලයක දී ඉහත සඳහන් දඬුවම් සම්පූර්ණයෙන් විඳ ඇත්නම් එම පුද්ගලයාට පාර්ලිමේන්තු ධුරය අහිමි වෙනවා. ඒ අනුව එවැනි පුද්ගලයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරා ගැනීමට, පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය පාවිච්චි කිරීමට හෝ නුසුදුස්සෙක් වන්නේය. යනුවෙන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.’ යැයි නීති විශාරදයෝ කරුණු පැහැදිලි කරති.

 රන්ජන් රාමනායකට සිර දඬුවම් නියම වූයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවටය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථමයෙන්ම එවැනි වරදකට වරදකරු වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සෝමවීර චන්ද්‍රසිරිය. එකල පැය 8 ක වැඩ මුරයක් ඉල්ලා කොළඹ දී කම්කරුවෝ පෙළපාළි ගියහ. විරෝධතාකරුවන් පොලිසිය සමඟ ගැටීම නිසා පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් කන්දසාමි නැමති ලිපිකරුවෙක් මිය ගියේය. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ නඩු තීන්දුව නිදහස පත්‍රය විවේචනය කර තිබුණේය. සෝමවීර චන්ද්‍රසිරිගේ කතුවැකිය මගින් අධිකරණයට අපහාසයක් සිදු වූ බව තීන්දු කෙරිණ. ඔහුට සති 6 ක සිරදඬුවමක් අත් විය. අධිකරණයට අපහාස කිරීමේ වරදට හිරේ ගිය මුල්ම දේශපාලනඥයා ඔහුය. එස්.බී. දිසානායක ද අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූයේය. ඔහු ද බන්ධනාගාරගත වූයේය.

නීති විශාරදයන් පෙන්වා දෙන ආකාරයට රන්ජන් රාමනායකට දේශපාලන අයිතිවාසිකම් ලබාගැනීම සඳහා වසර 11 ක් සිටිය යුතුය. සිර දඬුවමට වසර 4 ක් සහ ඉන් නිදහස්ව තවත් වසර 7 ක් ලෙස එම වසර 11 ගෙවීමට රන්ජන් රාමනායකට සිදුවනු ඇතැයි ද එතෙක් ඔහුට දේශපාලන අයිතිවාසිකම් නොලැබෙන බව ද නීති විශාරදයෝ පෙන්වා දෙති. සිරදඬුවම් විඳින පුද්ගලයකුට ජනාධිපති සමාව දිය හැකිය. ජනාධිපතිවරයා කොන්දේසි රහිතව සමාව ලබාදුන හොත් සිර දඬුවම් විඳි පුද්ගලයකුට උවද නැවත දේශපාලනය කළ හැකි බව ද නීති විශාරදයෝ ප්‍රකාශ කරති.

මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් ද‌ා මාධ්‍ය ආයතන කීපයක ඉහළ නිලධාරීන් කැඳවා සාකච්ඡා කළේය. නව මැතිවරණ කොමිසම ස්ථාපිත කළ පසුව මාධ්‍යවේදීන් සමඟ පැවැත් වූ පළමු සාකච්ඡාවේදීම පළාත් සභා  සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරිණ.

‘‘පළාත් සභා කියන්නේ මැතිවරණ නීතියේ තියෙන දෙයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව පළාත් සභා තියෙනවා. ආණ්ඩුකාරවරුන් යටතේ ඒවා ක්‍රියාත්මක වෙනවා. මෙතැන නැත්තේ මහජන නියෝජිතයන් පමණයි. ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ සඳහා පවතින නීති ගැටලු විසඳ‌ා ගතහොත් තමන් පළාත් සභා තියන්න සූද‌ානම්’ යැයි මැතිවරණ කොමිසමේ සභාපති  නීතිඥ නිමල් පුංචිහේවා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පැවසුවේය.

පාර්ලිමේන්තුවට ද කොරෝනා බිය ඇතුළු වී තිබුණේ ගිය සතියේය. වාසුදේව නානායක්කාර, රාවුෆ් හකීම් සහ දයාසිරි ජයසේකර කොරෝනා ආසාදිතයන් බවට ඉකුත් ද‌ා තහවුරු වූයේය. මීට අමතරව තවත් අමාත්‍යාංශ කීපයක කාර්ය මණ්ඩලවල සාමාජිකයන් පිරිසකට ද කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට ආරංචි පැතිර ගියේය. අමාත්‍යාංශ ලේකම්වරයෙක් ඒ අතර වෙයි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලය ද තාවකාලිකව වසා තිබේ. මේ අතර කතානායක, මහලේකම් සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ඉකුත් ද‌ා පී.සී.ආර්. පරීක්ෂණවලට භාජන කරනු ලැබූහ.

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ සතියක් හැර සතියක් වශයෙනි. ඒ අනුව ලබන අඟහරුවාද‌ා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නියමිතව තිබේ. ඊට පෙර පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ඉකුත් බද‌ාද‌ා පැවැත්වීමට නියමිතව තිබුණේය. ඒ පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳව තීන්දුවක් ගැනීමටය. එහෙත් පක්ෂ නායක රැස්වීම පැවැත් වූයේ නැත. එම රැස්වීම ලබන සඳුද‌ා දිනයට කල් දැමීමට කතානායකවරයා තීන්දු කළේය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ කලින් සැලසුම් කළ පරිදි ලබන අඟහරුවාද‌ා ඉතා කෙටි වේලාවකට පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙනු ඇති බවය. ඉන්පසුව පාර්ලිමේන්තු රැස්වීම කල් දැමීමට පියවර ගනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

 ජනාධිපතිවරයා කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉකුත් ද‌ා හරීන් ප්‍රනාන්දු ඇතුළු සමගි ජනබලවේගය පක්ෂයේ නායකයෝ විවේචන එල්ල කරන්නට පටන් ගෙන සිටිති. හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිස ඉකුත් බද‌ාද‌ා කොළඹ දී විරෝධතා වැඩසටහනක් ද පවත්වා භාෂණයේ නිදහස ඉල්ලා සිටියේය. එම පක්ෂය සැලසුම්කර ඇත්තේ භාෂණයේ නිදහස ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කිරීම සඳහා තවත් විරෝධතා වැඩසටහන් කීපයක් ඉදිරියේ දී පැවැත්වීමටය. ජනාධිපතිවරයා සිය කතාවෙන් තමාට තර්ජනයක් සිදුකර ඇතැයි පවසමින් හරීන් ප්‍රනාන්දු ඉකුත්ද‌ා පොලිස්පතිවරයාට ද ලිපියක් ලියා තිබිණ.

 වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ලබා දෙන බවට චෝදනා කරමින් වරාය වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් දිගින් දිගටම විරෝධතාවල නිරත වෙමින් සිටිති. එම වෘත්තීය සමිති නියෝජිතයන් ඉකුත් බද‌ාද‌ා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ද පැවැත් වූයේය. වරාය වෘත්තිය සමිති සඳහන් කරනුයේ නැගෙනහිර පර්යන්තය වෙනත් රටකට විකිණීමට හෝ බදු දීමට හෝ ඉඩ නොතබන බවය. දේශපාලන විචාරකයන් සඳහන් කළේ නැගෙනහිර පර්යන්තය මේ වන විට දේශපාලන අර්බුදයක් දක්වා දුරදිග යාමේ ලකුණු පහළ වී තිබෙන බවය.

රිෂාඩ් බදියුදීන් ඉකුත්ද‌ා ප්‍රකාශ කර තිබුණේ ඉරාන රජයෙන් ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබා දීමටත් බොරතෙල් ආනයනය කිරීමටත් තමාගේ උපරිම සහාය එකල රාජපක්ෂ ආණ්ඩුවට ලබාදුන් බවය. 2007 වසරේදී ඉරානයට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරාන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ අතර එහිදී ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් හිමි වූ බව ද රිෂාඩ් බදියුදීන් කීවේය. එහෙත් ඔහුගේ කතාවට සමාජයේ ඇතැම් පිරිසකගෙන් විරෝධයක් එල්ල වෙමින් තිබේ. විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලාවල රිෂාඩ් බදියුදීන්ට විවේචන එල්ලවන්නට පටන් ගෙන තිබේ. ‘එකල ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේ එම්.එම්. සුහයිර්, ඔහු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉරාන සංචාරය සංවිධානය කළා. සියලු කටයුතු කළේ ශ්‍රී ලංකා තානාපතිවරයායි. ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඉරාන සංචාරයට රිෂාඩ් සහභාගි වූයේ නැහැ. ඒ ගමනට ගියේ ෆවුසි ඇමැතිවරයා.’ ආදී වශයෙන් සමාජ ජාලා මාධ්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කතාව විවේචනය කරන්නට පටන්ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායකයා සිරිකොත පක්ෂ මූලස්ථානයට ඉකුත් බදාදා පැමිණියේ කලින් තීරණය කරගත් පරිදි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වීමටය. ඔහු කාර්යාලයට යද්දී මුණගැසුණු පක්ෂ ජ්‍යෙෂ්ඨයකු වන ජෝන් අමරතුංගව ද කැටුව සිය කාර්යාලයට ගියේ තනතුරු සම්බන්ධයෙන් කතා කිරීමටය. පක්ෂ ඇබෑර්තු පිරවීම සම්බන්ධයෙන් කතාබහ කරමින් සිටියදී එම ස්ථානයට රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග හා ලක්ෂ්මන් විජේමාන්න යන අය පැමිණියහ.

ඔවුනට අසුන් පෙන්වූ නායකයා රවී කරුණානායකගෙන් විමසා සිටියේ පක්ෂ උපනායක තනතුරේ දිගටම කටයුතු කරනවා නේද යනුවෙනි.

“මම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්” මට උපනායක ධුරය අවශ්‍ය නෑ. මට වැඩක් කරන්න පක්ෂ මහලේකම්ධුරය දෙන්න.”‍ රවි නායකයාගෙන් ඉල්ලා සිටියේය.

“මේ වෙලාවේ පක්ෂ මහලේකම් ධුරය ඔබට දීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. ගමේ කෙනකුට පක්ෂ මහලේකම් ධුරය දිය යුතුයි කියා ඉල්ලීමක් තියෙනවා. එම නිසා දැනට ඔබ උපනායක ධුරයේ ඉන්න. අපි හැමෝගෙම අරමුණ අපේ ජනාධිපති කෙනෙක් පත්කර ගැනීම නිසා ඉන් පස්සේ අපි තනතුරු ගැන කතා කරමු.”‍ නායකයා කියද්දි ජෝන් අමරතුංග ද එය අනුමත කළේය.

එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ රවි “මහලේකම් කම දෙන්නේ නැත්නම් මට මෙතන ඉඳලා වැඩක් නෑ. මම එළියට ගිහින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා මට වුණ අසාධාරණය කියනවා. මෙහෙම පක්ෂයට ඉදිරියට යන්න පුළුවන් ද?”‍ කියා උස් හඬින් කියමින් නායකයාගේ කාමරයෙන් වේගයෙන් පිටව ගියේය.

“ජාතික සංවිධායක ධුරය ගැන ඔබට ප්‍රශ්නයක් නැහැනේ.”‍ රනිල් ඉන් අනතුරුව විමසුවේ නවීන් දිසානායකගෙනි.

“මට දැන් ඒ ගැන යමක් කියන්න බෑ. මට සතියක කාලයක් දෙන්න.”‍ කියා නවීන් කියද්දි නායකයා හැරුණේ අර්ජුන දෙසටය.
“ඔබට උපසභාපතිකමක් දෙන්න යෝජනාවක් තියෙනවා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ නේද?”‍ නායකයා කළ විමසීමට අර්ජුනගේ පිළිතුර වූවේද තමන්ට ද කාලයක් අවශ්‍ය බවය. නවීන් හා අර්ජුන ද එසේ කියා පිටව යද්දී ලක්ෂ්මන් විජේමාන්න ද තමාට ද එහි සිටීමේ ප්‍රයෝජනයක් නැතැයි කියමින් පිටව ගියේය.

“අපිට තිබෙන්නේ ඡන්ද ලක්ෂ දෙකහමාරයි. එය වැඩි කරන්න කිසිවෙක් කතා කරන්නේ නෑ. ඔක්කොමලාටම නායක පිස්සුව ගහලා”‍ යැයි ජෝන් අමරතුංග කියද්දී නායකයා කළේ සිනාසීම පමණකි.

පසුව එතැනට පැමිණි වැඩබලන මහලේකම් ශමල් සෙනරත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට කාලය පැමිණ ඇති බව මතක් කිරීම හේතුවෙන් ජෝන්ව ද කැඳවා ගත් නායකයා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන කාමරයට ගියේය.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව නායකධුරය හැරුණු කොට සෙසු සියලු තනතුරු දෙසැම්බර් 31 දායින් අවසන් වේ. දෙසැම්බර් 31 දාට පෙර තනතුරු පත්කර ගැනීමට අපහසුවක් ඇතිනම් මාර්තු 31 දක්වා කල් ගැනීමට ද ව්‍යවස්ථාවෙන් බලය ලබාදී තිබේ. මෙවර එලෙස කාලය දීර්ඝ කර නොගත් නායකයා කියා තිබුණේ ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තනතුරු පත්කර ගන්නවා යනුවෙනි.
 
නායකයා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ගියේ ඇබෑර්තු පිරවීම අරමුණු කර ගිනිමිනි. ඉන්පසු සභාව ඇමතූ රනිල් පක්ෂ ව්‍යවස්ථාවෙන් තමන්ට ලැබී තිබෙන බලය ප්‍රකාරව පක්ෂ සභාපති ධුරයට වජිර අබේවර්ධනත්, මහ ලේකම්ධුරයට පාලිත රංගේ බණ්ඩාරත්, භාණ්ඩාගාරික ධුරයට මිස්බා සතාර් රුත් පත්කරන බව කියා සිටියේය. ඊට කිසිදු විරෝධයක් එල්ල නොවීම හේතුවෙන් ඔවුන්ගේ පත්වීම් ඒකමතිව අනුමත විය.

පක්ෂ නියෝජ්‍ය නායක ධුරයට යළි රුවන් විජයවර්ධන පත්කරන බවත්, උපනායක ධුරයට අකිල විරාජ් කාරියවසම් පත්කරන බවත් කී නායකයා අනතුරුව පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස ඩී.එම්. ස්වාමිනාදන්, දයා ගමගේ, සාගල රත්නායක හා සුනේත්‍රා රණසිංහ යන අය පත් කළහ. පක්ෂයේ පරිපාලන ලේකම් ලෙස අනෝමා ගමගේ ද, නියෝජ්‍ය මහලේකම් ලෙස නාලක කොලොන්නේද පත් කෙරිණි. පර්යේෂණ හා ප්‍රතිපත්ති සංවර්ධන අංශයක් පිහිටුවිය යුතු බවට නායකයා යෝජනා කළ අතර එහි ලේකම්ධුරයට ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු පත්කිරීමට තීරණය කෙරිණි.

(*** රංජන්)