දේශපාලන අර්බුදය, විධායක ජනාධිපති ධුරය, 19 වැනි සංශෝධනය, මහමැතිවරණය, ඒකාබද්ධ විපක්ෂයේ උපායමාර්ග, පාර්ලිමේන්තුවේ පිරිහීම, ගෝඨාභය රාජපක්ෂ හා ජාතික ආරක්ෂාව ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතායි. ඒ මහතාගේ දේශපාලන ජීවිතයට 60 වසරක් පිරීම මෙම මස 10 වැනිදාට යෙදී ඇත. ඒ නිමිත්තෙන් එදින පස්වරු 4.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවයක්ද පැවැත්වේ. 

ප්‍රශ්නය- - පෙර නොවූ විරූ අර්බුදකාරී පරිසරයක් රටේ නිර්මාණය වී තිබෙනවා. මේ තත්ත්වයට මූලික හේතුව හැටියට කොමියුනිස්ට් පක්ෂය දකින්නේ මොකද්ද? 

පිළිතුර - - ආර්ථික, සමාජ, දේශපාලන, සංස්කෘතික, පාර්ලිමේන්තු, කැබිනට්, රාජ්‍ය නායක, ණය ආදී ආකාරයට මේ රටේ දැන් අර්බුද ජාලයක් ඇති වී තිබෙනවා. මේ සියල්ල හටගන්නේ උල්පත් තුනකින්. පළමුවැන්න අපේ පුංචි ආර්ථිකයට නිරන්තරයෙන් බලපාන ගෝලීය වර්ධන ප්‍රවණතායි. ඒවා අපේ පාලනයෙන් බාහිරයි. දෙවැන්න 1978 සිට ක්‍රියාත්මක බලාපොරොත්තු සුන් කළ අපේ නව ලිබරල්වාදී ආර්ථික උපායමාර්ගයයි. තෙවැන්න 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 

ප්‍රශ්නය- - විධායක ජනාධිපති ධුරය බලවත් කිරීම ඊට විසඳුමක් හැටියට යෝජනා වෙමින් තිබෙනවා. සැබැවින්ම එය විසඳුමක් ද? 

පිළිතුර- - මේ ව්‍යවස්ථාවත් දැන් අවුරුදු හතලිහක් තිස්සේ 19 වැනි වතාවක් සංශෝධනය වී තිබෙනවා. මේ තරම් සංශෝධනය කළ ව්‍යවස්ථාවක් ලෝකෙ කොහේවත් නෑ. අර්බුදවලින් මිදෙන්න දිගින් දිගට කළ සංශෝධන නිසා අද ආණ්ඩුවකට ක්‍රියාත්මක වෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා. විධායක ජනාධිපති ධුරය පිහිටුවීමේ සිටම අප එයට එරෙහි වූ පක්ෂයක්. අපි එදත් අදත් හෙටත් එම ස්ථාවරයේ වෙනසක් නෑ.

ප්‍රශ්නය- - 19 වැනි සංශෝධනය ආපසු හැරවීමේ යෝජනාව ගැන ඔබ හිතන්නේ මොකද්ද? 

පිළිතුර- - විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා 2015 මැතිවරණ කැම්පේන් එකේදි කිව්වාට ඒක ලිඛිතව දීපු තැනක් කොහේවත් නෑ. අපිත් ඕවා බැලුවේ නෑ. දැන් තමයි හෙළිදරව් වෙන්නේ. බලයට ඇවිත් අලුත් ආණ්ඩුව තීරණ දෙකක් ගත්තා. දින 100 ක් ඇතුලත 19 ත් ඉන්පසුව 20ත් ගේන්න. 19 ගෙනැල්ලා ජනාධිපතිගෙ බලතල අඩු කළත් පරමාධිපත්‍යට බලපාන සමහර දේවල් තුනෙන් දෙකේ ඡන්දෙනුත් ජනමත විචාරණයකිනුත් සම්මත කරගත යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා. මේක තමයි හිරවුණු තැන. දැන් විධායක ජනාධිපති ක්‍රමයකුත් නෑ. පාර්ලිමේන්තු ක්‍රමයකුත් නෑ. මේක හිරවීමක්. උද්ගත වූ තත්ත්වයෙන් ගැලවෙන්න පටු දේශපාලන අරමුණු නිසා සමහරු ආපහු විධායක ජනාධිපති ක්‍රමයට යන්න ඕනෑ යැයි කියනවා. 

ප්‍රශ්නය- - කෙලින්ම කිව්වොත් කොමියුනිස්ට් පක්ෂ තීන්දුව ගැන? 

පිළිතුර- - විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර යළි පාර්ලිමේන්තු ක්‍රමයකට යා යුතුයි. කරන්න තියෙන්නේ මහමැතිවරණයක් පවත්වලා ජනමත විචාරණයකට යෑමයි. ඒක නොකළොත් මහමැතිවරණයෙන් පස්සෙත් අර්බුදය දිගට යනවා. 

ප්‍රශ්නය- - තිස්ස, ඩිව්, වාසු යන තුන් කට්ටුවෙන් ඩිව් ගුණසේකර කියන චරිතය දේශපාලන වේදිකාවල පහුගිය කාලේ වැඩිපුර දකින්න ලැබුණේ නෑ. ඒ ඇයි? 

පිළිතුර- - පක්ෂෙ හැමදේටම මම ගියා. අනෙක මේ ප්‍රශ්නෙදි අපි කාගෙත් ස්ථාවරය එකයි. 

ප්‍රශ්නය- - ඒකාබද්ධ විපක්ෂය වැඩකරන්නේ මනෝමූල කාරණා මත බවට ඔබ මීට පෙර චෝදනා කළා. එය අදටත් වලංගු ද? 

පිළිතුර- - අදත් කියන්න තිබෙන්නේ ඒ අයට වැඩපිළිවෙලක් නෑ. මැතිවරණයකට තව දවස් අනූ ගානයි තියෙන්නේ. බැසිල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවක පහුගිය දවසක මම කිව්වා. බණ්ඩාරනායක මහත්මිය 70 දි ආණ්ඩුව පිහිටුවද්දි වැඩපිළිවෙල හැදුවේ අවුරුදු දෙකකට කලින්. අද ඊටත් වඩා දුෂ්කරයි. විද්‍යාත්මකව ප්‍රායෝගිකව මේ තත්ත්වය තේරුම් ගත යුතුයි. ලෝකය වේගයෙන් වෙනස් වෙමින් තිබෙනවා. යුරෝ ඒෂියා කියලා අලුත් මහාද්වීපයක් නිර්මාණය වෙමින් තිබෙනවා. මේ වෙනස්කම් ගැන කිසි තැකීමක් නැතිව ආර්ථිකය අයාලේ යනවා. ඊට ද ආළව ප්‍රතිපත්ති සැලසුම් කරන්න ඕනෑ. මේ අවුරුදු හතලිහේම එහෙම එකක් නෑ. ප්‍රාග්ධනයට නිදහසේ හැසිරෙන්න අවශ්‍යයයි. පහුගිය කාලේ කළේ ඒකයි. හැබැයි දැන් රාජ්‍ය ආදායම 100%න් අඩුවෙලා. බණ්ඩාරනායක මහත්මිය ආණ්ඩුව බාරදෙද්දි අපේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 24% ක්.  දැන් 10-12% අතරේ. ඒ ගැන කිසි කතාබහක් නෑ. හරි නම් එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ආර්ථික දර්ශනය ගැන ස්වයං විවේචනාත්මකව කතා කළ යුතුයි. මේක බරපතළ අර්බුදයක්. බුද්ධිමතුන් නිහඬව ඉන්නවා. දේශපාලකයන්ට තේරෙන්නේ නෑ. අයවැයට රටේ ආර්ථිකය ගැන අර්බුදයක්.  

ප්‍රශ්නය- - ඒකාබද්ධ විපක්ෂය වරාය, ජැටිය ආදියේ සිට ගිවිසුම් අත්සන් කර රටේ ස්වෛරීභාවය ඇමෙරිකාවට පවරා දෙන බවට එජාපයට චෝදනා කරනවා. ඔවුන්ට මේ ගැන වැඩපිළිවෙලක් තිබෙනවාද ?

පිළිතුර- - ආසියාව අද ලෝක ආර්ථිකයේ පෙරගමන්කරුයි. ඇමෙරිකාවට ඒක ප්‍රශ්නයක්. ලෝකයෙන්ම වැඩිම ආනයනයකරු හා අපනයනකරු ද චීනයයි. ඩොලර් ටි්‍රලියන 4ක විදේශ විනිමය සංචිතයක් ඔවුන්ට තිබෙනවා. චීනය නැතිව බැරි තත්ත්වයට මුළු ලෝකයම පත්ව තිබෙනවා. ඇමෙරිකාව ඊට ප්‍රතිචාර දක්වන්නේ දේශපාලන ක්‍ෂේත්‍රයයි. මේක තවම ඒකාබද්ධ විපක්ෂය තේරුම් අරන් නෑ. ආර්ථික විද්‍යාඥයෙක් දෙන්නෙක් හැරුණාම මේවා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. අද ප්‍රධානම ප්‍රශ්නය ගෝලීය උෂ්ණත්වයයි. ප්‍රංශය සෙල්සියස් අංශක 45 ට ගියා. මේකත් අපේ ආර්ථිකයට බලපානවා. දෙවැන්න ගෝලීය ත්‍රස්තවාදයයි. අප්‍රේල් 21 වැනිදා ඒකත් අපට දැනුණා. තුන්වැන්න සංක්‍රමණ හා සරණාගතයන්. එක්සත් ජාතින්ගේ වාර්තාවලට අනුව මිලියන 71 ක ජනතාවක් ඉන්න තැනත් නැතිව ලොව පුරා ඇවිදිනවා. ඉන්පසුව දරිද්‍රතාව, ආදායම් පරතරය හා මූල්‍ය අර්බුදයයි. මේ දේවල් දන්නේ නැතිව අපේ ආර්ථිකය ගැන කතාකරන්න බෑ. මීට අමතරව කවුරුවත් කතා නොකරන ප්‍රශ්නයක් තියෙනවා. 

ප්‍රශ්නය- -ඒ ප්‍රශ්නය මොකද්ද?

පිළිතුර- -පුද්ගලයන් වශයෙන් ගත්තාම අපේ රටේ විශාල නායකත්ව අර්බුදයක් තිබෙනවා. කළු ජූලියත්, වසර විසි හයක යුද්ධයත්, ජවිපෙ භීෂණයත් නිසා මැද පෙළේ නායකයන් විශාල සංඛ්‍යාවක් අපට නැතිවුණා. ගාමිණී දිසානායක, ගාමිණී අතුකෝරාල, ලලිත් ඇතුලත්මුදලි, විජය කුමාරණතුංග, සරත් මුත්තෙට්ටුවේගමලා කවුරුවත් නෑනෙ. දේශපාලන සමාජයේ අද ලොකු හිස් තැනක් තිබෙන්නේ. මේක මහා භයානක තත්ත්වයක්. රංජන් විජේරත්න වගේ මිනිහෙක් අද හිටියා නම්. යූ.එන්.පී තමයි. දේශපාලන වශයෙන් අපි මතවාදිව වෙනස්. ඒත් ඒ හොඳ නායකයෝ. විජයලා කියන්නෙ වමේ නායකයෝ. උදාහරණයකට අපේ පක්ෂයේ විතරක් තරුණ නායකයන් පනහක් නැති වුණා. අපි වගේ පුංචි පක්ෂයක් ඒක දරාගත්තත් පාලන බලයේ ඉන්න පක්ෂවලට ඒක දරුණු ලෙස බලපානවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයේ එක් හේතුවක් එයයි. රටක් පාලනය කරන්න නායකයෙක් නෑ. දෙසීය විසිපහ එලවන්න ඕන කියලා ජනතාව කියනවා. ඒත් කවුද ගේන්නේ ඊටපස්සේ? 

ප්‍රශ්නය- - දේශපාලන පක්ෂයක් කියන්නේ පුහුණු පාසලක්නෙ. එතකොට ශ්‍රීලනිප එජාප පක්ෂ දෙකෙන් මුකුත්ම වෙලා නැද්ද? 

පිළිතුර- - ඒකට හේතුව මේ පක්ෂ දෙකේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. වම දකුණ මොන පක්ෂයක් වුණත් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණොත් පමණයි දක්ෂ තරුණ නායකයන් බිහිවන්නේ. ඇත්තවශයෙන්ම ආසන ක්‍රමය තිබුණා නම් මිනිස්සු මතුවෙනවා. 1931 සිට 1978 දක්වාම එය සිදුවුණා. තේමිස් වැනි තැපැල් පියන් කෙනෙක් මැද කොළඹ දිනුවේ ඒ නිසයි. ටී.බී තෙන්නකෝන් වැනි කවි කොළකාරයෙකුට අද නුවරින් දිනන්න පුළුවන් ද? අද දේශපාලනය කරන්න එන්නේම හොරකම් කරන්නයි. 

ප්‍රශ්නය - එතකොට පාර්ලිමේන්තුවේ දෙසීය විසි පහටම ජනතාව බැන වදින තත්ත්වය තාර්කිකයි කියලද ඔබ කියන්නේ? 

පිළිතුර- - පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාව මොකද්ද? එයාලට වැටුපක් විශ්‍රාම වැටුපක් දෙන්නේ කුමක් සඳහා ද? එයාට භූමිකා හතරක් තියෙනවා. පළමුවැන්න නීති සම්පාදනයයි. කී දෙනෙක් නීති සම්පාදනය කරනවද? කිසි කෙනෙක් පොතක් කියවන්නේ නෑ. දෙවැන්න ප්‍රතිපත්ති සම්පාදනයයි. ලෝකෙ වෙන්නෙ මොකද කියලා දන්නැතිව ප්‍රතිපත්ති සම්පාදනය කරන්නෙ කොහොමද? තෙවැන්න ජනතා නියෝජනයයි. මන්ත්‍රීවරු අල්ලගෙන තමන්ගෙ ප්‍රශ්න අස්සවන්න ඉස්සර මිනිස්සු හෝ ගාලා එනවා. අද එහෙම නෑ. මූල්‍ය පාලනය හා අධීක්ෂණය ඊළඟ පියවරයි. මූල්‍ය අධීක්ෂණය විධායකයටවත් අධිකරණයටවත් බෑ. මුදල් හා පරිපාලන රෙගුලාසි දන්න බැලන්ස් ෂීට් එක බලන්න පුළුවන් කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද? ගණකාධිකාරින් විගණකාධිපති ගෙන්නලා ප්‍රශ්න කරන්න ඒ අයට පුළුවන් ද? ඉතින් කොහොමද මූල්‍ය අධීක්ෂණය කරන්නේ. දැන් පාර්ලිමේන්තුවේ සැබෑ මන්ත්‍රීවරු නෑ. එන්නේ බිස්නස් කරන්නයි. මේක පක්ෂ නායකයන් හොයන්නෙත් නෑ. මැතිවරණයකට නාමයෝජනා දෙද්දී අහන පළමු ප්‍රශ්නය වෙලා තියෙන්නේ වියදම් කරන්න සල්ලි තියෙනවාද කියන එකයි. සල්ලි තියෙනවා නම් ඔළුවක් නැති එකෙක් වුණත් කමක් නෑ. අපට නම් ප්‍රශ්නයක් නෑ. මොකද තව අවුරුද්දකින් දෙකකින් අපි මැරිලා යාවි. ඊළඟ පරම්පරාවට අපි දායාද කර යන්නේ කුමන රටක් ද? ආගමික නායකයන් වුණත් සැබෑ ප්‍රශ්න මතුකරන්නේ නෑ. මිනිස්සුන්ට මඩ ගහන එක විතරයි වෙන්නේ. 

ප්‍රශ්නය- - ආර්ථික අර්බුදය මූලික යැයි ඔබ කිව්වත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව වැඩි තැනක් ලැබුණේ ජාතික ආරක්ෂාවටයි. නැවතත් ජාතිකවාදී ධාරාව ශක්තිමත් වෙමින් වාර්ගික ආතතිකාරී තත්ත්ව නිර්මාණය වන බවක් පේනවා. මේ ප්‍රවණතා කවර දෙසට ගමන් කරාවිද? 

පිළිතුර- - මේක තමයි භයානක තත්ත්වය. රටේ ආර්ථික සමාජ සංස්කෘතික අර්බුද නිර්මාණය වෙද්දී විවිධ දේශපාලන ප්‍රවණතාවලට කොන්දේසි නියම වෙනවා. අවස්ථාවාදය එයින් එක් ප්‍රවණතාවයක්. ජාතිවාදයත් එහෙමයි. ආගම්වාදය, මූලධර්මවාදයත් එහෙමයි. මේක අපේ රටට විතරක් අනන්‍ය දෙයක් නෙවෙයි. දේශපාලන ප්‍රතිචාර විදියට තමයි මේවා හැදෙන්නේ. සෝවියට් දේශය කඩා වැටුණාට පස්සේ තමයි ත්‍රස්තවාදයක් හටගත්තේ. රැකියා නෑ. කන්න නෑ. කරන්න දෙයක් නෑ. මිනිස්සු ඊළඟට ආයුධ, මත්ද්‍රව්‍ය ගත්තා. 1983 ට කලින් මත්ද්‍රව්‍යක් ගැන ඇහුවද? නෑ. යුද්ධයත් එක්ක මත්ද්‍රව්‍යත් වර්ධනය වුණා. එල්.ටී.ටී.ඊය පවා මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කළා. ලොව පුරා ත්‍රස්තවාදයේ ආදායම් මාර්ගයක් වන්නේ මත්ද්‍රව්‍යයයි. මේ ප්‍රශ්න ඇතිවෙන විෂයමූලික හේතු අපේ හාමුදුරුවරු තේරුම්ගන්නේ නෑ. ඉතින් මනාප වෙනුවෙන් උතුරෙන් සිංහල විරෝධයක් නිර්මාණය කරද්දී දකුණෙන් මුස්ලිම් දෙමළ විරෝධය නිර්මාණය කරනවා. මගේ මතය නම් මෙවැනි ප්‍රවණතාවලට හේතු ජාතික සමගිය හා වමේ සමගිය නැතිවීමයි. 

ප්‍රශ්නය- - නිශ්චිතව ජනාධිපතිවරණයක් එන්න නියමිතයි. කොමියුනිස්ට් පක්ෂය ගන්න දේශපාලන තීන්දුව මොකද්ද? 

පිළිතුර- - දේශපාලන තීන්දු ගන්න අපි තරග කරන්නේ නෑ. අපි කවුරුවත් දාන්නේ නෑ කියලා මට කියන්න පුළුවන්. වැඩපිළිවෙල බලලා සාපේක්ෂව හොඳ කෙනාට අපි ඡන්දය දෙනවා. එච්චරයි කරන්නේ. 

ප්‍රශ්නය- -ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛව ඉදිරිපත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂගෙ නමනේ? 

පිළිතුර- - ඕක ගැන අහන්න ඕන මහින්ද රාජපක්ෂගෙන්. වෙන කෙනෙක් නැත්නම් ගෝඨාභය විතර නම් අපි එයාගෙ වැඩපිළිවෙල බලලා තීන්දුවක් ගන්න ඕනෑ. පුද්ගලයා නෙවෙයි. වැඩපිළිවෙලයි වැදගත්. මොකා බලයට ආවත් වැඩපිළිවෙල එයා ලව්වා කරවාගන්න අපේ පක්ෂවලට සන්ධානවලට හයියක් තියෙන්නේ ඕනෑ. 2015 දි මෛත්‍රිපාල දාලා මොකද්ද කළේ? වැඩපිළිවෙලක් නෑනෙ. එකම වැඩපිළිවෙල යහපාලනය. දැන් ඒක කවුරුත් කතා කරන්නෙත් නෑ. 1978 න් පස්සේ පළමු වතාවට පක්ෂයක් නැති කෙනෙක් බලයට පත්වුණා. ඒ පුද්ගලයාට වැඩ කරන්න බෑ. ජේ.ආර් ජයවර්ධන ඕක කිව්වා. ඒ නිසානෙ රාජ්‍ය නායකයා වන තැනැත්තා පක්ෂ නායකයා විය යුතුය කියලා යූ.එන්.පී පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කළේ. මහින්ද රාජපක්ෂත් පස්සේ ඒකම කළා. එතකොට සියලු බලතල එනවා. ඒක රනිල් දැනගත්තා. අර්බුදයේ මුල ඒකයි. අන්තිමේදි මුකුත්ම නොවෙච්ච අවුරුදු පහක් ගෙවිලා ගියා. මේ අතර කාලයේ යම් දේශපාලන උපක්‍රම මහින්ද රාජපක්ෂ අත්හදා බැලුවත් ඒ සමහර දේවලුත් අසාර්ථකයි. 

ප්‍රශ්නය- - 2014 දිත් ජනාධිපතිවරණයට යන්න එපා කියලා ඔබ කිව්වා. රාජපක්ෂ කඳවුර සමඟ දේශපාලනය ගැන මොකද හිතන්නේ? 

පිළිතුර- - 2014 ජූලි 1 වැනිදා සියලු පක්ෂ නායකයන් ඉන්න තැන මම විතරයි කිව්වේ ජනාධිපතිවරණයකට යන්න එපා කියලා. මෛත්‍රීපාල සිරිසේනත් එතැන හිටියා. ජනාධිපතිවරණයකට ගියොත් පරදිනවා කියලා මම කිව්වේ මිථ්‍යාව උඩ නෙවෙයි. විද්‍යාව උඩයි. පැරදුණාට පස්සේ එතුමා මගේ කතාව පිළිගත්තා. තව ටිකක් වැඩ කරමු. සුළු ජනතාව දිනාගනිමු කියලා මම කිව්වා. ජාතිවාදීන් තමයි ලණු දුන්නේ. එතුමා ලණු කෑවා. මහමැතිවරණය වෙලාවෙ මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් කුරුණෑගල ෆයිට් කළේ මමයි. නැත්නම් පක්ෂය කැඩෙන්න තිබුණේ එදයි. එහෙනම් යූ.එන්.පී එකට තුනෙන් දෙකක් එනවා. ඒක වැලැක්වුවේ මමයි. එදා ඒක වුණා නම් අද රනිල් වික්‍රමසිංහ සම්පූර්ණයෙන්ම රට ඇමෙරිකාවට පාවා දීලා ඉවරයි.

සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ