(සිතුම් චතුරංග)

ප‍්‍රාග් චෛතිහාසික මානව වර්ගයා ජීවත් වූ බවට උතුරු පළාතෙන් සාක්ෂි සැපයූ මෙරට ජනතාවගේ උරුමයක් ලෙස පැවති මාමඩුව අග්බෝපුර මෙගලිතික හෙවත් සුමේරියන් සොහොන් විවිධ පිරිස් විසින් මේ වනවිට විනාශ කරමින් පවතියි.

වවුනියාව සිට මාමඩුව මාර්ගයේ කිලෝමීටර අටක් පමණ ගමන් කළ විට අග්බෝපුර ගම්මානය හමුවන අතර එම ගම්මානය මධ්‍යයේ ඓතිහාසික මෙගලිතික යුගයේ සුමේරියන් සොහෙන පිහිටා තිබේ.

තේක්ක රක්ෂිතයකට මධ්‍යයේ පිහිටි මෙම සුමේරියන් සොහොන මෙරට ජීවත්වූ මානව වර්ගයාගේ ඉතිහාසය පිළිබඳව ජීවමාන සාක්ෂි සැපයූ ස්ථානයක් ලෙස පුරාවිද්‍යා නිලධාරීන් හදුන්වාදී තිබෙන අතර එහි හදුනාගත් ආදි මානවයින්ගේ සොහොන් 89 පමණ පුරාවිද්‍යා නිලධාරීන් සංරක්ෂණය කිරීම සඳහා සලකුණු කොට ඇත.

අග්බෝපුර ගම්මානයේ අක්කර 25 භූමි ප‍්‍රදේශයක ව්‍යාප්තව පවතින මෙම සුමේරියන් සොහොන දින කිහිපයකට පෙර වවුනියාව වන සංරක්ෂණ නිලධාරීන් හා දැව සංස්ථාවේ නිලධාරීන් විසින් පුරාවිද්‍යා නිලධාරීන්ගේ අවසරයකින් තොරව තේක්ක දැව කැපීමේ ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇති අතර තේක්ක දැව කැපීම සිදුකරන අතරතුර ඩෝසර් හා බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් ආදී මානවයින්ගේ සොහොන් විශාල ප‍්‍රමාණයක් විනාශ කරමින් දැව කැපීම සිදුකරගෙන යන බවට ප‍්‍රදේශවාසීන් පෙන්වා දෙති.

1970 දශකයේ ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් අග්බෝපුර පිහිටි චෛතිහාසික සුමේරියන් සොහොන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම ස්ථානයෙන් හිස්කබල් කිහිපයක් සොයාගෙන සිදුකළ කාබන් 14 පරීක්ෂාවේදී වසර එක් ලක්ෂ 50000 ආසන්න බව අනාවරණය වී තිබූ අතර ඔහු විසින් මෙම ස්ථානය පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස නම් කොට තිබිණි.

වනසංරක්ෂණ නිලධාරීන් විසින් දැව සංස්ථාව වෙත අදාල ඓතිහාසික සොහොන් පිහිටි භූමිය පවරාදෙමින් දැවකැපීම සිදුකරන ලෙස දන්වා ඇති අතර එහි තිබෙන සුමේරියන් සොහොන් විනාශ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පුරාවිද්‍යා නිලධාරීන්ගේ හෝ අවධානය යොමු නොවී ඇති බව ප‍්‍රදේශවාසීහු පවසා සිටිති.

වසර ගණනක සිට අදාල ස්ථානය නිදන් සොරුන්ගෙන් ආරක්ෂා කරමින් කටයුතු කළ ප‍්‍රදේශයේ තරුණ පිරිස් හා ජනතාව වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් පැමිණ එම ස්ථානයේ සිදුකරන විනාශය පිළිබඳව බලා සිටිමට හැර වෙනත් ක‍්‍රියාමාර්ග ගැනීමට නොහැකිව පසුවෙති.

ප‍්‍රදේශවාසීන් පවසා සිටින්නේ දැව කැපීම පමණක් සිදුකළානම් පුරාවිද්‍යා ස්ථානයට සිදුවන විනාශය අවම වන්නට තිබූ බවත් ගස් කැපීම සිදුකරන කොන්ත‍්‍රාතකරුවන් පුරාවිද්‍යා නිලධාරීන් සලකුණු කොට තිබෙන සොහොන් සියල්ල ද හාරා විනාශ කිරීම තුළින් වන්නි ජනතාවගේ අනන්‍යතාවයක් වන මෙගලතික සුමේරියන් සොහොන් මේවනවිට විනාශවී අවසන් බවයි.

සොහොන් ලෙස හදුන්වා සලකුණු කොට ඇති ස්ථාන බැකෝ යන්ත‍්‍ර යොදාගනිමින් අඩි දෙකත් හතරත් අතර ප‍්‍රමාණයට හැරීම සිදුකොට ඇති අතර දැව සංස්ථාවේ සේවකයින් ප‍්‍රදේශවාසීන් වෙත පවසා ඇත්තේ කපාදමන ලද තේක්ක ගස් නැවත ද එලා ඒම හේතුවෙන් ගස් මුලින් උපුටා දැමීම සිදුකරන බවත්ය.

තේක්ක ගස් නොමැති ස්ථානවල සුමේරියන් සොහොන් හාරා විනාශකොට ඇති බව ප‍්‍රදේශවාසීන් පවසන අතර       වන සංරක්ෂණ හා දැව සංස්ථාවේ නිලධාරීන් අදාල ස්ථානයේ සිදුවූ විනාශය පිළිබඳ විරෝධතා මතුවීමත් සමඟ සුමේරියන් සොහොන් ලෙස සලකුණු කොට බැකෝ යන්ත‍්‍රවලින් ගලවා ඉවත්කර තිබූ කළුගල් කැබලි රහසිගතව ඉවත් කිරීම මේ වන විට සිදුකරගෙන යන බවට ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

විශාල විනාශයක් සිදුව තිබූනද මෙතෙක් පුරාවිද්‍යා නිලධාරීන් මැදිහත්ව තවදුරටත් සිදුවන විනාශය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම ද ගැටලුවට කරුණක් බව ජනතාව පෙන්වා දෙති.

මෙගලතික සොහොන් පිළිබඳ වසර ගණනක් සොයාබැලීම් සිදුකළ වවුනියාව මඩුකන්ද ශ‍්‍රි ධම්මරතන පිරිවෙනෙහි හිටපු පරිවෙනාධිපති පූජ්‍ය කිරිගල්වැව විමලසාර නාහිමි සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් මෙසේ පැවසීය.  

වැව්නිමා පුරවරයේ මාමඩුව අග්බෝපුර මෙගලතික් යුගයේ සොහොන් නොහොත් සුමේරියන් සොහොන් වර්ෂ එක්ලක්ෂ 54000 පැරණි බවට පුරාවිද්‍යාවෙන් තහවුරු කරලා තිබෙනවා. පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සිරාල් දැරණියගල මහත්මයා වැනි පුරාවිද්‍යා ආචාර්ය , මහචාර්යවරුන් නොයෙක් අදහස් උදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ලංකාවේ සිංහලයාගේ අනන්‍යතාව තහවුරු කරන්න තිබූ එකම භූමිය තමයි අතීතයේ ‘පිහිටි රාජ්‍යට’ (රුහුණු , පිහිටි, මායා) අයත්ව තිබූ මේ මෙගලිතක් නැතිනම් සුමේරියානු සොහොන.

එදා අක්කර 25 භූමි ප‍්‍රමාණයකින් යුත් මෙම සොහොන පුරාවිද්‍යාවට වෙන්කරලා තිබුණේ. මේ දක්වා එහි පරීක්ෂණ කටයුතු සිදුකරා. නෙයෙක් මාධ්‍යන් වල මේ පිළිබඳ විස්තර පලවී තිබෙනවා. මෙයට අමතරව වවුනියාවෙම පාවක්කුලම ප‍්‍රදේශයේ තිබෙන සොහොනත් මෙයට සමානවනවා. ලංකාවේ ජීවත්වූ යක්ෂ, නාග හා දේව යන ගෝත‍්‍රවල ජනතාවගේ තොරතුරු මෙයින් හෙළිවෙනවා .

කාබන් 14 පරීක්ෂාවකදී ලංකාවෙන් පැරණිම මිනිස් හිස්කබල් හමුවූ එකම මෙගලතික් සොහොන තමයි මේ අග්බෝපුර සුමෙරියන් සොහොන. ඒ නිසා මේක ජාතික අනන්‍යතාව තහවුරු කරන්න තිබූ වන්නියේ ජනතාවගේ උරුමයක්ව පැවති දෙයක් තමයි මේ සොහොන.

මෑත කාලයේ නිදන් හොරුන්ගේත් විවිධ පුද්ගලයින්ගේ වාණිජ මානසිකත්වය හේතුවෙන් අද වෙන විට මෙම සුමේරියන් සොහොන විනාශ කොට අවසන්. මේ වන විට විවිධ පාර්ශව ඒ තිබූ ගල් හාරා විනාශ කර දමලා. ගස් ගලවන මුවාවෙන් විනාශයට පත්කරලා මෙය ජනතාවගේ අතීතය විනාශකිරීමක් හා වන්නියේ ජනතාවගේ උරුමය නැතිකිරීමක් බව කිවයුතුයි.

මෙය අපගේ ජාතීන් විසින් රැකිය යුතු ලෝක උරුමයක් ලෙස තමයි අපට මාමඩුව අග්බෝපුර සුමේරියන් සොහොන. මෙය රැකීම ප‍්‍රදේශයේ ජනතාවත් , නැණවත් පුද්ගලයින් සිටිනවා නම් ඔවුන්ගේ අවධානය යොමු විය යුතුයි. දේශපාලන හා රාජ්‍ය නිලධාරීන් මෙම ස්ථානය රැකගැනීම සඳහා කඩිනමින් ක‍්‍රියාකළ යුතු බවට අප මතක් කොට දෙන්නෙමු.

මේ පිළිබඳ අදහස් දැක්වූ වවුනියාව වන සංරක්ෂණ ප‍්‍රදේශය අඩවි වන නිලධාරී එස්.එම්.එච් සේනානායක මහතා මෙසේ කීය,

මෙම මාමඩුව අග්බෝපුර ඉඩම වන සංරක්ෂණය සතු ඉඩමක් එහි හෙක්ටයාර දහයක් අප නීතියාණුකූලව නිදහස් කළා දැව සංස්ථාවට එහි තිබෙන තේක්ක දැව කැපීමට. අපි දන්නේ නැහැ සොහොනක් තියනවා කියලා. එහෙම නම් මුරකරුවෙකු හෝ යොදන්න තිබුණා. අපි දැක්කෙත් නැහැ පුරාවිද්‍යාව මෙම ස්ථානය පිළිබඳව අප දැණුවත් කළෙත් නැහැ.

අවුරුදු ගානකට පෙර මෙය තේක්ක වගාවක් වගාකළා. දැන් දැව සංස්ථාවට බාරදුන්නා කපන්න. මා එම ස්ථානයට ගොස් පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් විමසීමක් කළා මෙම ස්ථානයේ තිබෙනවාද කියා ඔවුන් කිව්වා සොහොන් වගයක් තිබෙනවා කියලා. නමුත් ඒ පිළිබඳ කවුරුත් පෙන්වා දුන්නෑ. නමුත් මේ දෙය පිළිබඳ අනෙක් වගකීම රාජ්‍ය දැවසංස්ථාව සතුයි.

වන සංරක්ෂණ නිලධාරීන් පසුව දැණුවත් කළා මේ ස්ථානයේ සොහොන් වගයක් තියනවා කියලා ඩෝසර් යොදා නොගෙන ගස් කපන්න කියා අප දැනුම් දුන්නා. වැඩි විස්තර කොළඹ පිහිටි අපේ වනසංරක්ෂණ තොරතුරු නිලධාරියාගෙන් ලබාගන්න.

අවසන් වශයෙන් ප‍්‍රකාශකරන්න තිබෙන්නේ අපි දන්නේ නැහැ මේ කැලේ ඇතුලේ ඔය වගේ ස්ථානයක් තිබෙනවාද කියා. අපිව කවුරුවත් දැනුවත් කරලත් නැහැ අපේ වගාවන් වල හා රක්ෂිත ප‍්‍රදේශවල පුරාවිද්‍යාවන් කුමන හෝ දෙයක් තිබුණ ද කියා. එපමණයි කියන්න තිබෙන්නෙ. එහි දැන්වීම් පුවරුවක් හෝ සළකුණු තබන ලද ගලක් හෝ කුමන දෙයක්වත් අප දුටුවේ නැහැ. කැළේ හැමතැනම ගල් තිබෙනවානේ පුරාවිද්‍යාව අපට කිව්වේ නැහැ මෙවැනි ස්ථානයක් පිළිබඳව.

සුමේරියන් සොහොන විනාශය කිරීම පිළිබඳ අදහස් දැක්වූ පුරාවිද්‍යා ගවේෂණ සහකාර අධ්‍යක්ෂ  ඕ. ආර් . ජයතිලක මහතා මෙසේ පැවසීය.

අපට මෙවැනි විනාශයක් වාර්තා වුණේ තාම නැහැ. මා දැන් ක‍්‍රියාත්මක කර මේ ස්ථානය පිළිබඳ සොයා බලනවා. කාටවත් මෙවැනි ස්ථානයක් හාරන්න බැහැ. පුරාවිද්‍යා ස්ථානයක් පිළිබඳ දැන්වීම් පුවරුවක් යොදා තිබෙනවානම් කාටවත් හිතුමතේ හාරන්නට හෝ විනාශ කරන්නට බැහැ.

පැහැදිලිව මේ ස්ථානය පරීක්ෂා කොට එවැනි දෙයක් සිදුවෙලා තිබෙනවා නම් අදාල නිලධාරීන් හට පුරාවිද්‍යා විනාශයක් සිදුකළ බවට සළකලා නීතිය ක‍්‍රියාත්මක කරවා. අනිවාර්යයෙන් පුරාවිද්‍යා පනතට අනුව නීතිය ක‍්‍රියාත්මක කරන්න බැදී සිටිනවා අප.

රාජ්‍ය නිලධාරීන් කියා බේදයක් නැහැ. වන සංරක්ෂණය හෝ වන ජීවි කියා හැදින්වුවත් යම් පුරාවිද්‍යා ස්ථානයක් අයත් වෙන්නේ රජයට. පුරාවිද්‍යාකොමසාරිස් තමයි හිමිකරුවා පුරාවිද්‍යාවෙන් ලිඛිත අවසරයක් නොමැතිව,නොගෙන කැණීමක් හෝ ඇතුළුවීමක් සිදුකරන්න බැහැ. වරදකරුවන්ට නීතිය ක‍්‍රියාත්මක කිරිමට කිසිම බාධාවක් නැහැ.