පාස්කු ප්‍රහාරය, එයින් පසු දේශපාලන තීරණ, රාජ්‍ය බුද්ධි අංශය, ප්‍රතිත්‍රස්ත පනත, සමාජ මාධ්‍ය, ජවිපෙ ජාතික ලැයිස්තුව, ඉස්ලාම් අන්තවාදය, මහජන ආරක්ෂාව හා වාර්ගික දේශපාලනය ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ජවිපෙ නායක පා.ම. අනුර කුමාර දිසානායකයි

ප්‍රශ්නය:- පාස්කු ප්‍රහාරයෙන් පසුව මුළු රටම ගල්ගැහිලා. ප්‍රහාරයෙන් පසු තත්ත්වය හා දේශපාලන නායකත්වය ඊට අදාළව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජවිපෙ හිතන්නේ කුමක්ද?

පිළිතුර:- මෙය වළක්වාගත හැකිව තිබූ ප්‍රහාරයක්. ජනපති හා අගමැති අතර තිබූ බල ගැටුමෙන් රටේ අරාජිකත්වයක් නිර්මාණය කළා. ඒ අරාජිකත්වය විසින් මේ ප්‍රහාරයට පසුබිම සැකසුවා. ප්‍රහාරයෙන් පසු සාමාන්‍ය ජනතාවගේ ජීවිතය යථාවත් කිරීමේ ප්‍රධාන කාර්ය පැවරෙන්නේ ආණ්ඩුවටයි. ඒ නිසා ආණ්ඩුව ජනතා ආරක්ෂාවේ ප්‍රමුඛතම සහතිකය ලබාදිය යුතු වුවත් ආණ්ඩුවේ හැසිරීමෙන් පෙන්නුම් කළේ ජනතාවගේ ප්‍රමුඛතම ආරක්ෂකයා බවට පත්විය නොහැකි බවයි. ප්‍රහාරයෙන් පසුවත් ඔවුන් ආරම්භ කළේ එකිනෙකාට චෝදනා කරමින් ඇඟ බේරා ගැනීමේ ව්‍යාපෘතියයි. ඒකත් ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද වගේ අපරිණත ළදරු ස්වාභාවයයි.

ප්‍රශ්නය:- එහෙත් ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළුවක් කැඳෙව්වා. එතැනදි වුණේ මොකක්ද?

පිළිතුර:- ඒවා කතා සාප්පු විතරයි. ජනමාධ්‍යයට එන්න කියලා කරන ප්‍රකාශ විතරයි. කළ යුතුව තිබුණේ ක්‍රියාකාරී මැදිහත්වීමක් කිරීමයි. එහෙත් අඩුම තරමේ ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට එකට වාඩි වී සැලසුමක් දියත් කළ නොහැකියි. දෙදෙනාම ප්‍රහාරයේ වගකීම රාජ්‍ය නිලධාරීන් මත පටවා වගකීමෙන් නිදහස් වී තිබෙනවා. ආණ්ඩුව ඇතුළෙවත් සමගියක් ගොඩනගාගන්න බැරුව කැඳවන සර්ව පාක්ෂික සමුළු විහිළුවක්.

ප්‍රශ්නය:- මේ ප්‍රහාරයට හේතුව බුද්ධි අංශ නිලධාරීන් සිරිගත කිරීම නිසා බුද්ධි අංශ යාන්ත්‍රණය බිඳ වැටීමය යන විවේචනයට ජවිපෙ එකඟද?

පිළිතුර:- මේ ප්‍රහාරයට හේතු කීපයක් තිබෙනවා. මෙය ගෝලීය දේශපාලන බල ගැටුමේ ප්‍රකාශනයක්. ඒ සඳහා අවශ්‍ය වන බෝම්බකරුවා නිෂ්පාදනය කර ගැනීම අවශ්‍ය අන්තවාදී මතය රටෙහි වර්ධනය වෙලා. උමතු ආගමික අන්තවාදය එහි ප්‍රතිඵලයයි. තුන්වැනි කරුණ ආණ්ඩුවේ අරාජිකත්වය නිසා බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක යාන්ත්‍රණයෙන් ලැබෙන තොරතුරු විශ්ලේෂණය නොවීමයි. සැබැවින්ම බුද්ධි අංශ බිඳ වැටෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම යටපත්කොට එක පවුලක ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කිරීමෙන්. ඒ නිසා බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ සාමාන්‍ය ජනයාට එරෙහිව නීතියට පටහැනිව ක්‍රියා කර තිබෙනවා නම් ඊට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. විශේෂයෙන්ම ආරක්ෂක මණ්ඩලය අවස්ථා ගණනාවකදී සාකච්ඡා කර තිබූ බව පැහැදිලියි. විදේශ රාජ්‍යයන්ගෙන් පවා තොරතුරු ලැබුණා. මේ ප්‍රහාරය සිදුවූ දිනය, විය හැකි ආකාරය ගැන නිශ්චිතව තොරතුරු ලැබී තිබුණා. ඒ නිසා සැබැවින්ම අසමත් බුද්ධි අංශ නොවේ. නිශ්චිත මොහොතේ ක්‍රියා කළ යුතු දේශපාලන හා ආරක්ෂක යාන්ත්‍රණයයි. බලය අහිමි වූ අවස්ථාවාදීන් නැවත සිය ඒකාධිපති මර්දනකාරී යාන්ත්‍රණය සකස් කර ගැනීමේ උත්සාහයක් නම් පෙන්නුම් කරනවා.

ප්‍රශ්නය:- මෙය ගෝලීය ත්‍රස්තවාදයක් බව කියමින් එය මර්දනයට ප්‍රතිත්‍රස්ත පනත වැනි නව නීති අවශ්‍ය බවත් රජය පවසනවා. කතාව ඇත්ත නේද?

පිළිතුර:- රනිල් වික්‍රමසිංහලාට දඩයම් කිරීමට අවශ්‍ය වූ විට නීති හොයන්නේ නෑ. ආරක්ෂා කරන්නට අවශ්‍ය වූ විට නීති හොයනවා. ප්‍රතිත්‍රස්ත පනත ගැන සාකච්ඡා කරද්දී පාර්ලිමේන්තුවට නීතිපති හා පොලිසියේ ජ්‍යෙෂ්ඨයන් කැඳෙව්වා. පවතින ප්‍රචණ්ඩකාරී තත්ත්වය මර්දනයට තිබෙන නීති ප්‍රමාණවත් යැයි ඔවුන් පැහැදිලිව කිව්වා. එහෙත් රනිල් වික්‍රමසිංහට අවශ්‍ය තම මර්දන යාන්ත්‍රණයට අවශ්‍ය නීති සම්පාදනයයි. අයි.එස්. සංවිධානයට ලාංකික සබඳතා තිබෙන බව 2014 සිට වාර්තා වී යැයි ඔවුන් පාර්ලිමේන්තුවේදී කියනවා. මෙසේ අවුරුදු පහක් ගතවනතුරු මෙවැනි නීතියක අවශ්‍යතාව ඔහු  ප්‍රකාශ කළේ නෑ. ඇත්තටම මේ නීති අවශ්‍යතාව ගැන ඔහු කියන්නේ ප්‍රහාරයෙන් පසුවයි. එය තම වගකීමෙන් නිදහස්වීම සඳහා දරන ප්‍රයත්නයක් විතරයි. මොකද ඔවුන්ට තෙල් සංස්ථාවේ කලබල මැඩපවත්වන්නට විරෝධතාකරුවන්ට පහරදී මැඩලන්න මෙවැනි නීති අවශ්‍ය වුණේ. මෙය රනිල් වික්‍රමසිංහ තම නොහැකියාව වසා මර්දනයට කරන මාන බැලීමක්.

ප්‍රශ්නය:- මහජන කැලඹීම් සමග සමාජ මාධ්‍ය අවස්ථා දෙකකදී අවහිර කළ ආණ්ඩුව ආරක්ෂක අංශවල වැටලීම් සම්බන්ධයෙනුත් තොරතුරු වාර්තාකරණයේදී යම් සීමා නියම කරනවා. මෙය තොරතුරු දැනගැනීමේ අයිතියට බාධාවක් නොවේද?

පිළිතුර:- ආණ්ඩුව විශ්වාසවන්ත තොරතුරු සපයන්නා බවට පත්වී නෑ. මෙය සිදුවූ වහාම ජනාධිපතිවරයා දන්නේ නෑ කියද්දී අගමැතිවරයා තමා ආරක්ෂක කවුන්සිලයට නොකැඳවී යැයි කියනවා. සමහර ඇමතිවරු නවසීලන්ත ප්‍රහාරයට පිළිතුරක් යැයි කියනවා. නවසීලන්ත රජය එය ප්‍රතික්ෂේප කරනවා. ඇමෙරිකාවෙන් බුද්ධි තොරතුරු ලබාදුන් බව හර්ෂ ද සිල්වා කියනවා. ඇමෙරිකාව එය ප්‍රතික්ෂේප කරනවා. මේ අපරිණත ස්වාභාවය නිසා ආණ්ඩුවට වගකීමැති තොරතුරු සපයන්නා බවට පත්විය හැකිව නෑ. ඒ නිසා අසත්‍ය කටකතා පැතිරෙනවා. සත්‍ය තොරතුරු සපයන්නා බවට ආණ්ඩුව පළමුව පත්විය යුතුයි. තොරතුරු වාර්තා කිරීමට ජනමාධ්‍යයට කිසිදු බාධාවක් නොකළ යුතුයි. නමුත් ඇතැම් මාධ්‍යයට ඉතාම නිශ්චිත දේශපාලන න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඇතැම් මාධ්‍ය හිමිකරුවන් තමන්ගේ ආණ්ඩුවක ගන්නා තනතුරු වුවමනාවකින් පෙළෙන බවත් අපි දන්නවා. ඒ නිසා සිය පටු න්‍යාය පත්‍ර පසෙකදා මෙවැනි මොහොතක ජාතික වගකීමකින් ක්‍රියා කිරීමට ජනමාධ්‍යයටත් වගකීමක් තිබෙනවා.

ප්‍රශ්නය:- ජවිපෙ නායකයන්ට දූෂණ වංචා චෝදනා එල්ල නොවුණත් මේ ප්‍රහාරකයන්ගේ පියා වන ඊබ්‍රහිම් ජවිපෙ ජාතික ලැයිස්තුවේ සිටියා. ජවිපෙට එල්ල වන චෝදනාව ගැන නායකයා හැටියට ඔබ කියන්නේ කුමක්ද?

පිළිතුර:- පක්ෂයක ජාතික ලැයිස්තුව සැකසෙන්නේ ඍජුව දේශපාලන පොර පිටියට නොඑන ක්ෂේත්‍ර හා කණ්ඩායම් නියෝජනයට බව ඔබ දන්නවා. එහෙම තමයි ජවිපෙ සාමාජිකයකු හෝ ක්‍රියාකාරිකයකු නොවූ හිටපු විගණකාධිපති මායාදුන්නේ මහතා අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කළේ. එහෙම තමයි විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාත් අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කළේ. ඒ වගේම තමයි ඊබ්‍රහිම්. ඔහු 2015 දී ව්‍යාපාර හා මුස්ලිම් ජාතිකත්වය යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් අපේ ජාතික ලැයිස්තුවට ඇතුළු වුණා. ඔහු හෝ ඔහුගේ දරුවන් කිසිදු ත්‍රස්ත ක්‍රියාකාරකමකට සම්බන්ධ වී සිටි බවක් ගැන දැනුවත්වීමක් අපට නොවූ බව සහතික කළ යුතුයි. ඒ වගේම පැවති ආණ්ඩුවල ජනාධිපතිවරු ඇමතිවරු ද ඔහුට විශේෂ සම්මාන පිරිනමා තිබුණා. ඒ නිසා ව්‍යාපාර ක්ෂේත්‍රය වෙනුවෙන් ජවිපෙ ජාතික ලැයිස්තුවට අපි ආරාධනා කළා. ඒ ප්‍රහාරයට ඔහු හෝ දරුවන් සම්බන්ධ වූ ප්‍රමාණයේ වගකීම ඔවුන්ට යා යුතුයි. එසේ නැතිව දේශපාලන ව්‍යාපාරයක් මෙවැනි ප්‍රහාරයකට සම්බන්ධ කොට කරන අර්ථකථන මුළුමනින්ම වැරදියි. පොහොට්ටුවේ මීගමුවේ නගරාධිපති අත්අඩංගුවට ගත්තා. ඒ වගේම වත්තල, මාබෝල මන්ත්‍රීවරයෙක් පැනල ගිහින්. එක්සත් ජාතික පක්ෂයේ කෝට්ටේ හා කොළඹ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒකෙන් අදාළ පක්ෂ ඒ ප්‍රහාරයට දායක වූ බවක් හෝ එය මෙහෙයවූ බවක් අපි කියන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රහාරය ඊබ්‍රහිම් නිසා පක්ෂයේ දේශපාලන අදහස වන්නේ නැහැ. ඔහු ප්‍රහාරයට දක්වන දායකත්වයේ ප්‍රමාණයේ දඬුවම් ලබාදිය යුතුයි. 

ප්‍රශ්නය:- ඉස්ලාම් අන්තවාදයට ඇතැම් මුස්ලිම් දේශපාලන නායකයන් ඍජුවම සම්බන්ධ බවට නිර්මාණය වී ඇති සමාජ විවේචනයට ජවිපෙ එකඟද?

පිළිතුර:- ඔය දේශපාලන නායකයන් කිසිවෙක් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත්වන්නේ නැහැ. ඔවුන් රැස්කරගෙන තිබෙන ධනය සුඛවිහරණයෙන් යුතු ජීවිත දරුවන්ගේ ක්‍රියාකාරකම් බැලුවොත් ඔවුන් මේ ආත්මෙට අමතරව තවත් ආත්ම කිහිපයක් මේ ආත්මභාවයේම ගත කළ හැකි නම් ඊට කැමති ජාතියේ අයයි. හැබැයි ඔවුන් මුස්ලිම් සමාජය සමග දේශපාලනයේදී වැරැද්දක් කළා. ජාතික සමගිය ගොඩනගන්නේ කොහොමද. විවිධ සංස්කෘතික අනන්‍යතා තුළ එකට ජීවත් වන්නේ කොහොමද. හුදකලාව වෙනුවට ඒකග්‍රතාව නිර්මාණය කරන්නේ කොහොමද. අන්තවාදය වෙනුවට පොදු සමාජයට එකතු වන්නේ කොහොමද කියන දේශපාලන සංවාදය ගොඩනැගීමට ඔවුන් කටයුතු කළේ නැහැ. එය මේ දේශපාලන නායකයන් කළ බරපතළ වරදක්. ඔවුන් මුස්ලිම් ජනතාව සමග දේශපාලනය වෙනුවට කළේ පවතින හැම ආණ්ඩුවක් සමගම බිස්නස් කිරීමයි. දැන් මෙම දේශපාලන නායකයන්ට විශාල චෝදනා කරන අය පසුගිය ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේදී වැඩිම විශ්වාසය පැතුවේ රිෂාද් බද්යුද්දීන් සහ ඔහුගේ මන්ත්‍රීවරුන් හය දෙනා ගැනයි. ඔවුන් ඒ ගැන සාකච්ඡා කළා. එයින් බේරෙන්න බැරි තැන ඔවුන් රට අතෑරලා ගියා. කෙසේ වෙතත් මුස්ලිම් නායකයිනුත් තමන්වත් පාලනය කර ගන්න බැරි භූතයෙක් බෝතලෙන් එළියට ගත්තා. බලය වෙනුවෙන් ජාතිවාදය වැපූරූ ඔවුන්ට මේ භූතයා බෝතලයට දාගන්න බැරිව දඟලනවා.

ප්‍රශ්නය:- ප්‍රහාරයෙන් පසු රට පුරා කරන වැටලීම්වලින් අවි ආයුධ තොග ගණනේ හසුවෙනවා. ජාතික ආරක්ෂාව අනතුරේ යැයි ජනතාව සිතීම වැරදි ද?

පිළිතුර:- ඔව්. මේ අවි ආයුධ ප්‍රමාණ ඒවා හසුරුවන ආකාරය බැලුවාම පොදු ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාකූල ගැටලුවක් ඇතිවන බව අතිශය පැහැදිලියි. 

ප්‍රශ්නය:- පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කල්තියා දැනුවත්වීම් කර තිබූ බව වාර්තා වුණා. එතකොට ජවිපෙ මන්ත්‍රීවරු දැනගෙන හිටියේ නැද්ද?

පිළිතුර:- සෑම පක්ෂයක්ම ප්‍රභූ ආරක්ෂක සේවය ලබාගෙන තිබෙනවා. සෑම මන්ත්‍රීවරයෙකුටම හා ඇමතිවරයකුටම ප්‍රභූ ආරක්ෂක සේවයෙන් ආරක්ෂාව දී තිබෙනවා. ඒ නිසා මේ ප්‍රහාරය ගැන ප්‍රභූ ආරක්ෂක සේවය හැර පොලිස් නිලධාරීන් මැතිඇමතිවරුන්ට දන්වා තිබෙනවා. නමුත් ජවිපෙ මන්ත්‍රීවරුන්ගෙන් කිසිවෙක් ඒ ප්‍රභූ ආරක්ෂාව ලබාගෙන නැහැ. ඒ නිසා ප්‍රභූ ආරක්ෂක යාන්ත්‍රණයට අපේ මන්ත්‍රීවරු ඇතුළත් වන්නේ නැහැ. ඒ නිසා ප්‍රභූ ආරක්ෂක සේවය මගින් දුන් තොරතුරු අපි වෙත ලැබී නැහැ.

ප්‍රශ්නය:- උදා වී ඇති තත්ත්වය හමුවේ රටේ නායකත්වය සඳහා තරග කිරීමට තමා සූදානම් යැයි ගෝඨාභය රාජක්ෂ මහතා අවධාරණය කළා. සැබැවින්ම ආරක්ෂාව සම්බන්ධයෙන් හට ගෙන ඇති සිදුරු මගින් ජනතාවට ඔහු ගැන දේශපාලන විශ්වාසයක් ඇති කළා නේද?

පිළිතුර:- ඒ තරම් කැත අපරිණත පිළිකුල් දේශපාලන ප්‍රකාශයක් අපේ රටේ තිබී නැත. රටටම මළගෙයක් වී විශාල තැතිගැම්මක සිටින වෙලාවක රට තුළ සිංහල, මුස්ලිම් ජනයා අතර වෛරය, කෝපය වැපිරෙන වෙලාවක දේශපාලන නායකයන්ගේ වගකීම වන්නේ එම තත්ත්වය සමනය කර රට යථා තත්ත්වයට ගෙන ඒමයි. හැබැයි ඒ වෙනුවට මේ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා ගැන කියනවා. ඔහු සිටියා නම් මෙය සිදු නොවන බවත් තමා ජනාධිපති වූ වහාම මේ අන්තවාදය පරාජයට පත් කරන බව කියනවා. මේවාට තමයි කියන්නේ බොරදියේ මාළු බානවා කියලා. දේශපාලන නායක මනස්වල පටු හෝ පළල් බව පෙනෙන්නේ මෙවැනි ව්‍යසනයක හැසිරෙන ආකාරයෙනි. ඉතින් තමන්ට මොනතරම් පටු බලලෝභී කණ්ඩායමක් දැයි ඔවුන් පෙන්වා තිබෙනවා.

ප්‍රශ්නය:- ජවිපෙ එහෙම කිව්වත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුගමනය කළ ක්‍රියාදාමය මෙරට හිටපු ඇමැරිකා තානාපතිවරයා පවා අගය කරනවා. මේක ජාත්‍යන්තර සහතිකයක්. 

පිළිතුර:- ඒ කඳවුරේම ඉන්න අය මේ ප්‍රහාරයෙනුත් පසුත් ඇමරිකාව සිටින බව පුන පුනා කියනවා. ඒවගේම ලෝකයේ ත්‍රස්තවාදයට ඇති ඇමරිකානු දායකත්වය ගැන ඕනෑතරම් හෙළිදරව් වී තිබෙනවා. ලෝක බල කේන්ද්‍රය උදෙසා අවි ආයුධ අපනයනය කරන රාජ්‍යයක් බවට ඇමරිකාව පත්වී තිබෙනවා. ඒ ඇමෙරිකාවෙන්ම තවත් ඇමෙරිකානුවෙකුට සහතිකයක් දීම අපට නම් ඒ තරම් පුදුමයට පත් කරන කරුණක් නොවෙයි. 

ප්‍රශ්නය:- රටේ ජීවනාලිය ළමා පරපුරයි. මේ ප්‍රහාරය සමග ඒ දරුවන්ට අධ්‍යාපන නිදහස පවා අහිමි වෙලා. ආරක්ෂාව ගැන නිශ්චිතව නොකියන දේශපාලන නායකයන් තමන්ගේ දරුවාවත් පාසල් යවන්නේ නැහැ. මේකට විසඳුම මොකක්ද?

පිළිතුර:- ජනාධිපතිවරයා ආරක්ෂාවට සහතික කිව්වට ඔහුගේ පුත්‍රයාගේ විවාහ උත්සවය ගනිද්දී පාරවල් වහලා ජනතාවටවත් යන්න විදිහක් නැහැ. ජනාධිපතිවරයා ආරක්ෂාව සහතිකයි කියද්දී ඔහුගේ සහ ඔහුගේ ආරක්ෂක ලේකම්වරයා රුපියල් ලක්ෂ එක් දහස් ගණනක වාහනයක් ආනයනය කරමින් ජනතාවට කරන පණිවුඩය කුමක්ද?

පහ පන්තිය දක්වා වහලා. එයින් ඉහළ පන්ති පවත්වන්න කියද්දී දෙන පණිවුඩය මොකක්ද? දුවන්න පුළුවන් දරුවන්ට විතරක් පාසල විවෘතයි. ඒ පෙන්නුම් කර තිබෙන්නේ අනාරක්ෂිතභාවයයි. කාර්යාලයකට නොගොස් නිවෙසට වී රාජකාරි කරන්නැයි ආරක්ෂක නිලධාරීන් තමාට කී බවත් කිරිඇල්ල ඇමැතිවරයා කියද්දී ජනතාවට තිබෙන සහතිකය මොකක්ද? ආණ්ඩුවේ ළදරු අපරිණතභාවය විසින් තවදුරටත් තිබෙන අනාරක්ෂිතභාවය වර්ධනය කර තිබෙනවා. එය වෙනස් කළ යුත්තේ ආණ්ඩුවයි.

ප්‍රශ්නය:- වාර්ගික පදනමින් යුත් පක්ෂ ජාතික සමගියත් ගොඩනැගීමට බාධාවක් බවට දේශපාලන විවේචනයක් මතුව තිබෙනවා. ජවිපෙ එවැනි පක්ෂ දිහා බලන්නේ කොහොමද?

පිළිතුර:- ජාතිකත්වය, ආගමික පදනමින් පක්ෂ සංවිධානය බිහිවිය යුතු නැහැ. අපි එකිනෙකා අතර ආගමික, භාෂාමය, සංස්කෘතික වෙනස්කම් තිබෙනවා. ඒ වෙනස්කම් අපි පාවිච්චි කළ යුත්තේ සැකය, වෛරය දළුලන වෙන්වීමේ දිශාවකට නොවෙයි. ජාතීන් එක්කරන දිශාවකටයි. සංස්කෘතිය යනු එකතැන නතර වූ වස්තුවක් නොවෙයි. සමාජ සංවර්ධනයට සාපේක්ෂව එහි ඇති අගතීන් බැහැර කරමින් නව වටිනාකම් එකතු කර ගනිමින් අලුත් දිශාවකට යා යුතුයි. නමුත් දේශපාලකයින්ට ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය පිළිබඳ සටන් පාඨ නැහැ. ආර්ථිකය ගොඩ නැගීම, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, යහපත් ආණ්ඩුකරණය, දූෂිත පාලකයන් පිළිබඳ දේශපාලන සටන් පාඨ අහිමි දේශපාලන ව්‍යාපාර හැමවිටම ජාතිවාදය හා ආගම්වාදය මත යැපෙනවා. එය රටකට කිසිසේත් හිතකර නැහැ. සමහරු නම් දාගෙන අවුලක් දී සමහරු වෙනත් නම්වලින් ඒ වගේම කරනවා. ඒක මහජන ආරක්ෂාවට තර්ජනයක්. රටට විශාල යුද නැව් පිහිටවූ පමණින් හමුදාව ප්‍රමාණවත්ව විශාල කළ පමණින් මහජන ආරක්ෂාව සහතික කරන්න බැහැ. මේ සිදුවීම් සියල්ලෙන් තහවුරු කරන්නේ ජාතික ආරක්ෂාව රඳා පවතින්නේ ජාතික සමගිය මතයි. ජනතාව කොටවලා වෛරය වපුරලා ජාතික ආරක්ෂාව හදන්න බැහැ.

(බිගුන් මේනක ගමගේ)