හවුල් ආණ්ඩුකරණයේ අවුල, ජනතාවට දුන් දේ, 19 වැනි සංශෝධනය, එ.ජා.පයේ අභ්‍යන්තර මතභේද, පක්ෂ විනය, මරණ දඬුවම, ජ.වි.පෙ චෝදනාව, පොහොට්ටු අභියෝගය හා ජනපති අපේක්ෂකත්වය ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතායි.

ප්‍රශ්නය:- කැබිනට් මාධ්‍ය සාකච්ඡා පැවැත්වෙන්නේ නැති, වෙන්නෙ මොකද කියලා ජනතාව දන්නේ නැති, රාජ්‍ය නායකයන් දෙදෙනා දෙපැත්තට අදින ආණ්ඩුකරණයක් තමයි ජනතාව දකින්නේ. ඇත්තටම යහපාලන ආණ්ඩුවට මොකද වුණේ? 

පිළිතුර:- 2015 දි අපි ජනතා වරමක් ගත්තේ එවකට පැවැති දූෂිත ඒකාධිපති පාලනයෙන් එළියට එන්නයි. ජාතික ආණ්ඩුවක් හැදුවේ තමා නිර්පාක්ෂික වන බවට ජනාධිපතිවරයා කළ සපථ කිරීම සමඟයි. බලාපොරාත්තු වූ සියලු ඉලක්කවලට යන්න බැරි වුණත් අපි නිහඬ විප්ලවයක් කළා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා සුදු වෑන් එක වෙනුවට සුව සැරිය ගෙනාවා. සෞඛ්‍ය, අධ්‍යාපනය දියුණු කරද්දී ගම්පෙරළිය හරහා ගම්වලට කෝටි ගණනින් මුදල් පොම්ප කළා. අධිවේගී මාර්ග හැදෙද්දී කොළඹ වාහන තදබදය අවම කිරීමට දියුණු සැහැල්ලු දුම්රිය පද්ධතියක් හඳුන්වා දුන්නා. අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් ළඟම පාසල හොඳම පාසල හැටියට මේ රටේ පාසල් දසදහසින් නවදාහකට වඩා භෞතික හා මානව සම්පත් දුන්නා. අලුතින්ම ගොඩනැගිලි එක්දහස් පන්සීයකට වඩා හදලා තිබෙනවා. විද්‍යාගාර 3000 ක් දීලා තිබෙනවා. ටැබ් පරිගණක වැඩපිළිවෙල හෙට අනිද්දාම පටන්ගන්නවා. ලක්ෂ දෙකකට හැම දරුවෙක්ම රක්ෂණය කළා. සෞඛ්‍ය බලන්න. ඖෂධ මිල අඩු කළා. හදවත් රෝගීන්ට ස්ටෙන්ට් නොමිලේ දුන්නා. කෝල් එකක් දාලා ගිලන්රථය නොමිලේ ගෙන්නගන්න පුළුවන් තැනට හැදුවා. ස්වාධීන කොමිෂන් සභා හරහා දේශපාලනීකරණය වැලැක්වුවා. අධිකරණය ස්වාධීන කළා. කවුරු මොනවා කිව්වත් ප්‍රජාතන්ත්‍රවාදී අංගලක්ෂණ දියුණු කෙරුණා. ජනාධිපතිවරයා පක්ෂයක් බාරගැනීම සමඟ වැඩපිළිවෙලට බාධා ආවත් අපේ හැඟීම නම් විශාල වැඩ කොටසක් කළ බවයි.    

ප්‍රශ්නය:- ජනාධිපතිවරයා කියන්නේ 19 වැනි සංශෝධනය කියන්නේ කූට නීතිවේදීන් තැනූ පිළිකාවක් කියලයි. ඇත්තටම එ.ජා.පය කළේ ජනාධිපතිවරයාව රැවටීමක් ද?

පිළිතුර:- 19 වැනි සංශෝධනය කියන්නේ එතුමා නායකත්වය දීපු කැබිනට්ටුව, පාර්ලිමේන්තුව හා එතුමා නියෝජනය කළ දේශපාලන කණ්ඩායම අනුමත කළ එකක්. එතුමාට හෝ අගමැතිතුමාට හෝ අපට කාටවත් මේකෙන් මිදෙන්න බෑ. 19 කියන්නේ අපි සද්භාවයෙන් කළ සංශෝධනයක්. ප්‍රශ්නෙ තියෙන්නේ ඒකෙ නෙවෙයි. එය භාවිතාවට ගන්න අයගෙයි. අපට ඒකට එකඟ වෙන්න බෑ. 

ප්‍රශ්නය:- මංගල සමරවීර, රවි කරුණානායක, සජිත් ප්‍රේමදාස ආදී එජාපයේ ප්‍රධාන නායක කාරකාදීන් අභ්‍යන්තර යුද්ධයකට පැටලිලා තියෙනවා. මැතිවරණයක් අත ලඟ තියාගෙන පක්ෂ අභ්‍යන්තර මතභේද එළිපිට පුපුරා යාම ගැන මහලේකම්වරයා හැටියට ඔබ මොකද හිතන්නේ? 

පිළිතුර:- පෞද්ගලික මතය ඉදිරිපත් කරන්න යන්න එපා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේත් ප්‍රකාශ කර තිබෙනවා. ඒත් කීප දෙනෙක් එහෙම ප්‍රකාශ කර තිබෙනවා. කොහොම වුණත් ඒ තනි හුදෙකලා මත එකක්වත් අපට අදාළ නෑ. එ.ජා.පයේ තීරණ ගන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් හා පර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ එකඟතාවයෙන්. 2015 දි මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කරද්දිත් මේ වගේ විවිධ අර්ථකතන තිබුණනෙ. අවසානයේදි වැදගත් වෙන්නේ අපේ බහුතර කැමැත්ත මිස හුදෙකලා කතා නෙවෙයි. පොදුජන පෙරමුණෙත් මේ විදියටම තියෙනවා.  

ප්‍රශ්නය:- පක්ෂ අභ්‍යන්තරයේ මේ ප්‍රශ්න විසඳාගන්න බැරි නායකත්වයට ඒ අය අවනත නැති නිසාද? මහලේකම් හැටියට පක්ෂයට විනයක් ඕනෑ යැයි හිතන්නේ නැද්ද?

පිළිතුර:- පක්ෂයට විනයක් නැතිවම නෙවෙයි. හැබැයි එහෙමය කියලා දේශපාලකයන්ගේ අත් පය කටවල් බැඳලා තියන්නත් සූදානමක් නෑ. එ.ජා.පය කියන්නේ ලිබරල් මතවාදය නියෝජනය කරන පක්ෂයක්. එනිසා මේක අපට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඔක්තෝබර් 26 බලෙන් ආණ්ඩුව පැහැරගත් වෙලාවෙත් පක්ෂය තුළ විවිධ විවේචන තිබුණනේ. හැබැයි අපට කැබිනට් ඇමැතිකම් වල සිට ආණ්ඩුවක් නැති වූ වෙලාවේ පවා එකට සටන් කරලා ජයගත්තා. සතියේ දවසක ගෝල්ෆේස් පිටියට වැඩිම ජනතාවක් ගෙන්වන්නට එදා අපට හැකිවුණා. ඒ තමයි එ.ජා.පයේ එකමුතුභාවය. එහෙත් ඒ අයටත් අපි සීමාව කියලා තියෙන්නේ. 

ප්‍රශ්නය:- යහපාලන ආණ්ඩුව ගැන හොයන්නත් ජනාධිපතිවරයා කොමිෂන් සභාවක් පත්කරලා තියෙන අස්සේ එජාප හිතවාදී තීනියාවල පාලිත හිමියන් එ.ජා.පයේම ඇමැතිවරුන්ට දූෂණ චෝදනා එල්ල කරනවා. මේ සටන අන්තිමේදී ජනමාධ්‍ය සමඟ කරන යුද්ධයකට පරිවර්තනය වෙලා. පක්ෂය නෙවෙයිද මේකෙන් අමාරුවේ වැටෙන්නේ?

පිළිතුර:- අපට ඡන්දයක් දුන් හෝ සහාය දැක් වූ පමණින් ස්වාමින් වහන්සේලාගේ ප්‍රකාශ නතර කරන්න බෑ. ඒ වගේම යම් චෝදනාවක් කරනවා නම් ඔප්පු කරලා පෙන්වන්නත් ඕනෑ. පෙළපොත්වල ඡායාරූපයක් දැම්මා කියලා දැන් මටත් කොමිෂන්වලට යන්න වෙලා. ඒ කාලේ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාට අමතරව ජනාධිපතිවරයාගේත් පිංතූර දැම්මා. අධ්‍යාපන ඇමැතිගේ පණිවුඩය කියන්නේ අපි කුඩා කාලයේත් පෙළපොත්වල තිබූ දෙයක්. වසර තුනහමාරක් අධ්‍යාපන අමාත්‍යංශය මම හොඳට කළා කියලා රටේ ජනතාව දන්නවා. හැබැයි පක්ෂෙ මහලේකම් වූ ගමන් කොමිෂන්වලට යන්න වෙලා. දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක වෙන බව මේකෙන් පේනවා. මේවා පැමිණිලි කරන්නෙත් ඩීල් දාලා කෝටිපතියෝ වෙච්ච මිනිස්සු. මේවා දේශපාලන ප්‍රහාර. බැඳුම්කරේ කියලා කෑ ගැහුවා. එහෙම නම් නඩු අහලා අගමැතිවරයා හිරේ දාන්න එපැයි. දාන්න පුළුවන් නම් මේ වෙනකොට එතුමාව දහ පාරක් විතර ඇතුළට දාලා. 

ප්‍රශ්නය:- හැබැයි අර්ජුන් මහේන්ද්‍රන් කැඳවා දෙන බවට අගමැතිවරයා පොරොන්දු වුණා කියලනෙ ජනාධිපතිවරයා කියන්නේ? 

පිළිතුර:- නෑ. නෑ. අපිට එහෙම පොරොන්දු වෙන්න බෑනෙ. වෙලත් නෑ. අනෙක නීතිය හා සාමය විෂය ආරක්ෂක අමාත්‍යංශය තිබෙන්නේ එතුමා ළඟ මිසක් අපි ළඟ නෙවෙයිනෙ. අපි කොහොමද චූදිතයෝ ගෙනැත් දෙන්නේ? අධිකරණ නිමිත්තකට පුද්ගලයකුට හෝ පක්ෂයකට මැදිහත්වෙන්න බෑ. 

ප්‍රශ්නය:- මරණ දඬුවමට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ යැයි කියද්දී සජිත් ප්‍රේමදාස මහතා ඊට පක්ෂ වෙනවා. සජිත් ප්‍රේමදාස කියන්නේ පක්ෂයේ නියෝජ්‍ය නායක. මේකත් පක්ෂය ලිබරල් වීමක් ද? 

පිළිතුර:- නෑ නෑ. එක්සත් ජාතික පක්ෂය මරණ දඬුවමට විරුද්ධයි. ඒකට හේතුවක් තියෙනවා. අපි ලෝකයත් එක්ක යම් යම් ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා. ඒ වගේම මරණ දඬුවම වැනි දේ ක්‍රියාත්මක කිරීමෙන් ජී.එස්.පී ප්ලස් බදු සහනය ඇතුලු විදේශ ආධාර බොහෝමයකට බලපෑමක් එල්ලවෙනවා. මත්ද්‍රව්‍ය වෙළෙන්දන් මර්දනයට දැඩි පියවර ගත යුතුමයි. ඒකෙ සැකයක් නෑ. හැබැයි මේ නඩු උසාවිවලට ගියාම කොච්චර දිග්ගැස්සෙනවද? නීතිපති දෙපාර්තමේන්තුවේ හිරවුණු ෆයිල් කොච්චර තියෙනවද? ඒවා ගැන හොයලා වැඩ කරනවා නම් මේ රටේ තිබෙන නීතිය ඇති. එනිසා පක්ෂයක් හැටියට මරණ දඬුවමට අපි විරුද්ධයි. සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපට එකඟවීමට බෑ. 

ප්‍රශ්නය:- තමන් කළ ප්‍රකාශයක් ගැන අගමැතිවරයා රංජන් රාමනායකගෙන් කැඳවා කරුණු විමසීමක් කළත් මංගලලා රවීලාගෙ සජිත්ලාගෙන් මුකුත් අහන්නේ නෑ. එක එක්කෙනාට එකේක හැඳිවලින් බෙදන්නේ ඇයි?

පිළිතුර:- එහෙම බෙදීමක් නෑ. මංගල ඇමැතිතුමා වරක් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහලේකම් හැටියට මෙය සිංහල බෞද්ධ රටක් යැයි ප්‍රකාශයක් කළා. 

ප්‍රශ්නය:- ජනාධිපතිවරයා විසින් සීමානිර්ණ වාර්තාව ගැසට් පත්‍රයේ පළ කරන්නේ නම් හෝ පැරැණි ඡන්ද ක්‍රමය වලංගු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදුනහොත් හෝ ඔක්තෝබර් 15 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා. ස්වාධීන කොමිසමට කන්දෙන්න ඕන නේද පක්ෂයක්?

පිළිතුර:- මේ රටේ තිබෙන නීතිය අනුව සීමා නිර්ණය අවසන් කරලා පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කරනතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවස්ථාවක් නෑ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා.  පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිව අගමැතිවරයෙක් පත්කරලා ගියාට ඒක හරි ගියේ නෑනෙ. අපේ පක්ෂයේ නීති විශාරදයන්ට අනුව නම් එහෙම ඡන්දයකට යන්න බෑ. එනිසා ඉක්මනින්ම අපට මුහුණදෙන්නට සිදුවන්නේ ජනාධිපතිවරණයටයි. මේ හටගෙන තිබෙන ගැටලුවලටත් විසඳුම තිබෙන්නේ ජනාධිපතිවරණයෙයි. විධායක බලය පිළිබඳ ප්‍රශ්නය විසඳාගත්තේ නැතිනම් රට තවත් අකර්මන්‍ය වේවි. 

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයා නම් කරමින් වැඩපිළිවෙලක් සමඟ සමුළුවක් පැවැත්වීමටත් නියමිතයි. එ.ජා.පය භේදබින්න වෙලා පොහොට්ටුව සමඟ තරගයක් දෙන්න පුළුවන් ද?

පිළිතුර:- ඔක්තෝබර් 26 ත් ඔහොමමයි හිතුවේ. අපට ශක්තියක් නැතිවේවි. එකමුතුකමක් නැතිවේවි. ඒත් අපි පාර්ලිමේන්තුවේ බලයයි රටේ බලයයි දෙකම පෙන්නුවා. අපේ අපේක්ෂකයා තෝරන්නේ ඒ අයට ඕනෑ වෙලාවට නෙවෙයි. ජනාධිපතිවරණය ස`ඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධ සන්ධානයක් සඳහා දේශපාලන පක්ෂ, කණ්ඩායම්, සිවිල් සංවිධාන සමඟ අගෝස්තු 5 වැනිදා ගිවිසුම් අස්සන් කරන්නේ එයටයි. නම සහ ලකුණ එදාට දැනගන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් තමයි ඉල්ලන්නේ. හැබැයි අලියා ලකුණෙන් නෙවෙයි. ඔය කතා කියන කණ්ඩායම්වල ඉන්න පක්ෂ නායකයෝත් අපි සමඟ එකතුවෙන්න නියමිතයි. ඔවුන්ට ප්‍රශ්නය අපි අලියා ලකුණෙන් තරඟ කිරීම නිසා නායකත්ව මණ්ඩලයක් හරහා පොදු ලකුණකින් තරග කිරීමට අපි සූදානම්. කවුරුවත් හිතන්නේ නැති අයත් අපි සමඟ එකතු වෙන්න නියමිතයි.  

ප්‍රශ්නය:- පුද්ගලිකව ඔබ හිතන්නේ ජනාධිපති අපේක්ෂකත්වය කාට හිමි විය යුතුයි කියලද?

පිළිතුර:- අපේක්ෂකයා පිළිබඳ අපට ප්‍රශ්නයක් නෑ. අපට පක්ෂ නායකයෙක් ඉන්නවා. වැඩිම අත්දැකීම තිබෙන, වැඩිම පරිණත, ලෝකයත් සමඟ ගනුදෙනු කළ හැකි දැවැන්ත නායකයෙක් අපට ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා හැරුණු විට සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, සරත් ෆොන්සේකා වැනි නායකයන් ගණනාවක් අපට ඉන්නවා. ප්‍රශ්නය තිබෙන්නේ ඒගොල්ලන්ට මිස අපට නෙවෙයි. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අප යම්කිසි පසුබෑමකට ලක්වුණත් පොහොට්ටුව පීක් එකේ තිබිලත් මුළු රටෙන්ම ගන්න පුළුවන් වුණේ 40% යි. 60% ක් ඒගොල්ලන්ට විරුද්ධව තිබුණේ. ජනාධිපතිවරයා හා හවුල්කාර ශ්‍රී.ල.නි.පය එකට සිටිමින් එල්ල කළ ප්‍රහාර නිසා ඒ වෙලාවෙ අපි පසුබෑමකට ලක්වුණත් නැවත ශක්තිමත් වී අපි ඉදිරියට යමින් තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේදී වෙනම ඉල්ලූ දෙමළ පක්ෂ, මුස්ලිම් පක්ෂ මේ සන්ධානයේදී සිටින්නේ අප සමගයි. අපි තරග කරන්නේ දිනන්නමයි. ඉතින් ගණිත විද්‍යාව නිවැරැදි නම් ජනාධිපතිවරණය දිනන්නේ අපේ සන්ධාන අපේක්ෂකයා බව කැට තියා කියන්න පුළුවන්. ඒකෙ දෙකක් නෑ. 

ප්‍රශ්නය:- 2015 සටන් පාඨය වූ දූෂණ විරෝධය අද අසමත් වෙලා. මාදුළුවාවේ සෝභිත හිමි අපවත් වී සිවිල් සංවිධාන ව්‍යාපාර අඩාල වෙලා. පොදු අපේක්ෂකයා හැටියට හිටි හොඳම අශ්වයා පෙරළා පහර දෙන ප්‍රතිවාදියෙක් වෙලා. දේශපාලන පිටිය වෙනස් වෙලා කියලා පිළිගන්නැද්ද? 

පිළිතුර:- ගිය ආණ්ඩුව ඇයි අවුරුදු දෙකකට කලින් මැතිවරණයකට ගියේ? ලෝකයට මුහුණ දෙන්න බෑ. රට කරවන්න සල්ලි නෑ. කොන්ත්‍රාත්කරුවන්ට බිලියන ගානක් ගෙවලා නෑ. ජාත්‍යන්තරයෙන් සම්බාධක දාන තැනට ඇවිත්. දූෂණ, අපරාධ ඉහවහා ගිහින්. අපි ඒ චිත්‍රය වෙනස් කළා. අග්‍රවිනිශ්චකාරවරියත් එලවලා දාපු පාලනයක් තිබුණේ. වසර විස්සක් පමණ ජනාධිපතිවරයාගේ සපත්තුවට යට වූ ආයතන පද්ධතියක් අපි වෙනස් කළේ. ස්වාධීන කොමිෂන් සභා ටිකයි තොරතුරු දැනගැනීමේ පනතයි මගින්ම කෙතරම් සමාජ දේශපාලන පරිවර්තනයක් මේ රටේ සිදුවුණාද? ජනමාධ්‍ය නිදහස නිසා අපි කන කෑම බලන්න. පෞද්ගලික මාධ්‍යවලින් විතරක් නෙවෙයි රජයේ මාධ්‍යවලිනුත් ආණ්ඩුවට කොච්චර විවේචන කරනවද? මන්ත්‍රීවරයෙක් වුණාට 2004 න් පස්සෙ මම රූපවාහිනිය අයි.ටී.එන් දැකලා තිබුණේවත් නෑ. හැබැයි අද විපක්ෂයේ මන්ත්‍රීවරු රාජ්‍ය මාධ්‍ය හරහාම ආණ්ඩුවට ගහනවා. සමහර මාධ්‍ය කරන්නේ බිස්නස් එකක්. සාධාරණ විවේචනය වෙනුවට දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්නේ. ජනතාව මේවා දන්නවා. අඩු පාඩු තියෙන්න පුළුවන්. ඒත් සාපේක්ෂව බැලිය යුතුයි. මේ තෝරාබේරා ගැනීම ජනතාවගෙත් යුතුකමක්. 

ප්‍රශ්නය:- හැබැයි මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ජ.වි.පෙ කියන්නේ වෙනම කතාවක්. රාජපක්ෂවරු හා එක්සත් ජාතික පක්ෂය අතර ඩීල් ඇති බවත් එය ඔප්පු කිරීමට තමන් සූදානම් බවත් ඔවුන් කියනවා. මැතිවරණයක් අබියස ජ.වි.පෙ චෝදනාව සරල නැහැ නේද? 

පිළිතුර:- තාමත් සමහර සිදුවීම් ගැන දේවල් වෙන්නේ මන්දගාමීව කියල කියන්න ඕනෑ. එෆ්.සී.අයි.ඩී එක වෙන්න පුළුවන්. නීතිපති දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. එහෙම නම් කවුරු හරි අත පොවන්න ඕනෑනෙ. පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂය නම් මේවාට අත පෙව්වේ නෑ. නඩු කල් දාන ඒවා අපි කළෙත් නෑ. කරන්නත් බෑ. ඕකේම අනෙක් පැත්තනෙ විපක්ෂය කියන්නේ. නීතිය ක්‍රියාත්මක කරද්දී පලිගන්නවා කියනවා. එහෙම අපි සම්බන්ධ නම් රටට හෙළිදරව් කරන්න. මොකද දැන් සුදු වෑන්වලින් උස්සන්නේ නෑ. මෙහෙමයි. ඔය කියන කණ්ඩායම් විපක්ෂෙ හිටියත් හරිම බලවත්. විපක්ෂෙ හිටියට ආණ්ඩුවට වඩා සිය දහස් ගුණයකින් සල්ලි තියෙන්නේ. ඒ අයගෙ වංචා දූෂණ ගැන කොමිෂන්වලින් හෙළි කළත් ඇතැම් මාධ්‍ය ඒවා රටට කියන්නේ නෑනෙ. අපට සුද්ධ කරන්න වුණේ පිළිකාවක් වගේ පැතිරුණු දූෂිත ජාලයක්. සමහර දේවල් අපටවත් පාලනය කරන්න බෑ. ඒ අයගෙ දේශපාලනේ දකුණු ඉන්දියාවෙ චිත්‍රපටියක් වගේ.

සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ