දේශපාලන කරළියේ ඉකුත් සතියේ සිදුවූ වැදගත්ම සිද්ධිය වූයේ පාර්ලිමේන්තුවට නියෝජ්‍ය කතානායකවරයකු තෝරා ගැනීමය. බොහෝ දෙනකුගේ විශ්වාසය වූයේ පෙර පරිදිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නියෝජ්‍ය කතානායක ධුරය හිමිවනු ඇත කියාය. එසේත් නැතිනම් එම ධුරය ආණ්ඩුවෙන් ඉවත්වූ දහසයේ කණ්ඩායමට ලැබෙනු ඇත කියාය. ඉන් කිසිවක් සිදුවූයේ නැත. නියෝජ්‍ය කතානායක ධුරය පෙර පරිදිම ශ්‍රීලනිපයට ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මුලදී එකඟතාව පළකර තිබිණි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටද කරුණු දන්වා තිබිණි.

ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කළේ දැනට ආණ්ඩුවේ සිටින කිසිදු ශ්‍රීලනිප ඇමැතිවරයකු හෝ නියෝජ්‍ය ඇමැතිවරයකු හෝ නියෝජ්‍ය කතානායක ධුරය බාර ගැනීමට අකමැත්ත ප්‍රකාශ කළ බවය. ශ්‍රීලනිපයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ට පමණක් ඇමැති හෝ නියෝජ්‍ය ඇමැතිධුරයක් හිමිව නැති නිසා ජනාධිපතිවරයා පවා එකඟතාව පළ කර තිබුණේ ඔහුට නියෝජ්‍ය කතානායක ධුරය ලබාදීමට. ඒ අනුව එජාපයද මුලදී ඊට එකඟ වී සිටියේය. එහෙත් දෙමළ ජාතික සන්ධානය ආරංචියෙන් කලබලයට පත්වූයේය. දෙමළ ජාතික සන්ධානයේ නායකයන් හා අංගජන්  අතර දේශපාලන වෛරයකටත් වැඩි නොහොඳ නෝක්කාඩුවක් තිබුණේය.

ආර්. සම්පන්දන් ඇතුළු පිරිස ශ්‍රීලනිපයට දන්වා තිබුණේ අංගජන්ට එම ධුරය ලබා නොදිය යුතු බවය. එසේ කරන්නේ නම් ශ්‍රීලනිපය නියෝජනය කරන වෙනත් මන්ත්‍රීවරයකුට ඡන්දය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය කැමැත්ත දුන්නේය. අංගජන්ගේ නම යෝජනා කිරීම අත්හැර ආණ්ඩුවෙන් ඉවත්ව ගිය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ නම යෝජනා වූයේ ඒ නිසාය. දෙමළ ජාතික සන්ධානයේ නායක සම්පන්දන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට ඡන්දය ලබාදෙන බවය. එහෙත් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු උපක්‍රමශීලීව මග හැරියෝය. ඔවුහු සභා ගැබේ නොසිටියහ. ඒ වනවිටත් කළ හැකි කිසිවක් නොතිබූ බැවින් ශ්‍රීලනිපයට පරාජය බාර ගන්නට සිදුවිය. දෙමළ ජාතික සන්ධානය දේශපාලන උප්පරවැට්ටියක් කළ බවට ඇතැම් පිරිස් ඒ කාරණාව අර්ථකථනය කරන්නටද පටන් ගෙන තිබේ. 

මේ අතර නියෝජ්‍ය කතානායක ධුරය එජාපයට හිමිකර ගැනීම සඳහා රහස් මෙහෙයුමක්ද දියත් කර තිබිණි. එහි මහ මොළකරු වූයේ ඇමැති ගයන්ත කරුණාතිලකය. නියෝජ්‍ය කතානායක තෝරාගත් ඉකුත් අඟහරුවාදා එජාප මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමට ආණ්ඩු  පක්ෂයේ  ප්‍රධාන සංවිධායකවරයා ලෙස ගයන්ත සමත් වූයේය. විදේශ ගතව සිටි සහ අසනීපව සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පමණක් පැමිණ සිටියේ නැත. 
ඡන්දය විමසන අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් සහ චමල් සභා ගර්භයේ සිටියේ නැත. වාර්තා වන පරිදි නාමල් ඒ දිනවල සිටියේ විදේශගතවය. පර්ලිමේන්තු මහ ලේකම්වරයා ඡන්දය සඳහා නම් අඬගසන විට ඔවුන් සභා ගර්භයේ නොසිටි හෙයින් ඇමැති සජිත් ප්‍රේමදාස විහිළුවක් කළේය. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ විපක්ෂය දෙසට අත දිගුකර ‘මොකද සුදර්ශනීට රාජපක්ෂවරුන් කැමති නැද්ද’යි විමසීය. සජිත් එසේ ප්‍රකාශ කරද්දී එජාප  මන්ත්‍රීවරු සිනාසෙන්නට වූහ.

මේ අතර නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම සඳහා පැවැති රහස් ඡන්ද විමසීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඡන්දය  ප්‍රකාශ කිරීමට පැමිණෙද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කෑකෝ ගසන්නට වූහ. 

‘කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අගමැතිවරයා අනිවාර්යෙන්ම සුදර්ශනීට ඡන්දය දේවි’ යැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කෑකෝ ගසද්දී අගමැතිවරයා කිසිත් නොකියාම සිනාසී ඡන්දය ප්‍රකාශ කළේය. 

මේ අතර ඇමැති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන විට විපක්ෂ මන්ත්‍රීවරු ‘ලෙෆ් රයිට් ලෙෆ්ට් රයිට්’ යනුවෙන් හඬ නගා විහිළුවක් කළේය. සරත් ෆොන්සේකා ඊට ප්‍රතිචාර දක්වමින් ‘දැන් ඒවා මතක නැහැ’ යයි කීය. මේ අතර ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙද්දී  ජෝන් අයියා නම් කොහොමටත් ඡන්දය දෙන්නේ කාන්තාවකට තමයි’ ආදී දේ කියමින් විපක්ෂ මන්ත්‍රීවරු කෑකෝ ගසන්නට වූහ. එලෙස ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් නියෝජ්‍ය කතානායකරයා ලෙස මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා තෝරා ගත්හ. යහපාලන රජයේ එකඟතාවට අනුව  නියෝජ්‍ය කතානායක ධුරය ශ්‍රීලනිපයට අයත් වුවද පවතින හා පැවැති දේශපාලන පෙරළියට අනුව එම  ධුරයද එජාපයටම හිමිවිය. 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මුල සිටම පැවතියේ කොළඹ කොටුවේය. ගාලු මුවදොරපිටිය ඉදිරිපිට පිහිටි පැරණි ගොඩනැගිල්ල එකල හැඳින්වූයේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නමිනි. යම්යම් හේතුන් මත පාර්ලිමේන්තුව වෙනත් සුවපහසු තැනක ස්ථාපිත කළ යුතු බවට නොයෙක් පාර්ශ්වයන් වෙතින් යෝජනා ගලා එන්නට විය. 1960 දශකයේදී එකල අගමැති ඩඞ්ලි සේනානායක සැලසුම් කළේ පාර්ලිමේන්තුව වෙනත් තැනකට  ගෙන යන්නටය. අගමැති ඩඞ්ලි සේනානායකගේ අදහස වූයේ පාර්ලිමේන්තුව බේරෙවැව අවට ප්‍රදේශයේ පිහිටි භූමිභාගයක ස්ථාපිත කිරීමටය. ඩඞ්ලි සේනානායක අගමැතිවරයා එලෙස සැලසුම් කළද එය සාක්ෂාත් වූයේ නැත. ඉන්පසුව  අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකද පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙනත් තැනක ස්ථාපිත කිරීමට සැලසුම් කළාය. එයද සාක්ෂාත් වූයේ නැත. මේ අතර ජනාධිපතිවරණයක් පැවැති සමයේ ජේ.ආර්. ජයවර්ධන මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට සහභාගී වී සිටියේය. කෝට්ටේ ප්‍රදේශයේ  පැවැති එම මැතිවරණ ප්‍රචාරක රැස්වීමේදී එජාප දේශපාලනඥයකු වූ ආනන්ද තිස්ස ද අල්විස් එම වේදිකාවේ සිටම අමුතු කතාවක් කළේය. 

“අනාගත ජනාධිපතිතුමනි, ඔබතුමා බලයට පැමිණිවිට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ඓතිහාසික කෝට්ටේ ප්‍රදේශයේ ස්ථාපිත කළ යුතුයි. කෝට්ටේ ශ්‍රී විභූතිය ආරක්ෂා වන පරිදි පාර්ලිමේන්තු සංකීර්ණයක් ඉදි කරන ලෙස මා යෝජනා කරනවා” යැයි ආනන්ද තිස්ස ද අල්විස් කීවේය. එදා ජේ.ආර්. ජයවර්ධනට ඒ යෝජනාව තදට හිතට වැදුනේය. ඒ අනුව ඡන්දයෙන් බලයට පත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා නව පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකිරීම සඳහා දියවන්නා ඔය ආශ්‍රිතව පැවැති රමණීය භූමිභාගයක් තෝරා ගත්තේය. වර්තමාන පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිවූයේ එලෙසය. දැනට පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමිය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මහරගම සහ කඩුවෙල යන පළාත් පාලන ආයතන තුනටම අයත් ඉඩමක පිහිටා තිබේ. වසර හතළිහක් තිස්සේ එම ගොඩනැගිල්ලට ඔප්පුක් නැත.

එදා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සංදේශයකින්  පාර්ලිමේන්තුවේ අයිතිය හිටපු කාතානායක ආනන්ද තිස්ස ද අල්විස්ට පැවරුවේය. එදා මෙදාතුර පාර්ලිමේන්තු භූමියට කිසි ඔප්පුවක් තිබුණේ නැත. ඉකුත් දිනවල ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභාවේ පවා කතිකාවතක් ගොඩනැගුනේය. වර්තමාන ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මැදිහත් වී පාර්ලිමේන්තු ඉඩමට නීත්‍යනුකූල ඔප්පුවක් සකස් කළේ භූමියේ  මැනුම් කටයුතු සිදුකිරීමෙන් පසුවය. එම ඔප්පුව ප්‍රදානය කිරීමට නියමිතව තිබුණේ ඉකුත් අඟහරුවාදාය. එහෙත්  පාර්ලිමේන්තුවට එදින කාර්ය බහුල දිනයක් වූ බැවින්  උත්සවය කල් දැමීමට සිදුවේය. ඒ අනුව ලබන සතියේ දිනක පැවැත්වුණු චාම් උත්සවයකදී පාර්ලිමේන්තුවේ ඉඩම පිළිබඳව  ඔප්පුව කතානායක කරු ජයසූරියට බාරදීමට නියමිතය. 

ඒකාබද්ධ විපක්ෂයේ ගිනි යට අළු මෙන් පැවැති අර්බුදය නියෝජ්‍ය කතානායක තනතුරට පත් කිරීමත් සමගම තවත් ඔඩුදුව ගොස් තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති රැස්වීමකදී ඒකාබද්ධ විපක්ෂයේ බහුතර අදහස වී තිබුණේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය ලබා නොදිය යුතු බවය. “මේ අය ආණ්ඩුවත් එක්ක හිටියා. ආණ්ඩුවේ වරප්‍රසාද ලබා ගත්තා. බැරිම අවස්ථාවේ ඉදිරි දේශපාලන වාසිය බලලා ආණ්ඩුවෙන් ඉවත් වුණා. අපි මොකටද මේ අය දිනවන්නේ” යැයි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතැම් පිරිස් ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඒකාබද්ධය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා දිනේෂ් ගුණවර්ධනගේ අදහස්වී ඇත්තේ දහසයේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එකතු කරගෙන ආණ්ඩුවට එරෙහි සටන ශක්තිමත් කළ යුතු බවය. ඊට බහුතර එකඟතාවයක් නොමැති හෙයින් සුදර්ශනීට ඡන්දය ලබා නොදීමේ යෝජනාවට එකඟවීමට ඒකාබද්ධයේ ප්‍රබලයන්ට සිදුවූහ. ඒ නිසා දිනේෂ්, විමල් හා උදය ගම්මන්පිල ඇතුළු පාර්ශ්වයන් හා රාජපක්ෂ හිතවාදීන් අතර මතවාදී ගැටුම තව තවත් දුරදිග ගොස් තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු මෑතකදී සඳහන් කර තිබුණේ “ආණ්ඩුවට එරෙහිව අපි සටන් කරන්න නම් අපි එකමුතුවෙලා ඉන්න ඕනේ. අපිත් කෑලි කෑලිවලට  බේදිලා මේ සටන ගෙනයන්න පුළුවන්ද මම හිතන්නේ මේක දුරදිග යන්න දෙන්න හොඳ නැහැ” යැයි කියාය. 

කෙසේ වෙතත් මතුපිටින් නොපෙනෙන අර්බුද රැසක් ඒකාබද්ධය තුළ ගොඩගැසී ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබිණි. 

බැසිල් රාජපක්ෂ මෑතකදී ප්‍රකාශ කර තිබුණේ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම අවාසි සහගත බවය. ඔහු නොකියා කියා තිබුණේ දෙමළ මුස්ලිම් ඡන්ද ගෝඨාභයට නොලැබෙන බවය. එම නිසා ගෝඨාභයට වඩා ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට තමන් සුදුසු බව ද ඔහුගේ ප්‍රකාශ තුළින් හඟවා ඇතැයි ද වාර්තාවේ. මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ වඩාත් හොඳ අපේක්ෂකයා පිළිබඳ තීන්දුව ගැනීම පසුවට තැබීමටය. 

ඊ.පී.ඩී.පී. පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද රජයට එක්කර ගනිමින් ඔහුට ප්‍රබල කැබිනට් ඇමැති ධුරයක් ලබාදීමට අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් කිහිප අවස්ථාවකම උත්සාහ කර තිබිණ. එහෙත් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ එම උත්සාහයත් ව්‍යාර්ථ  කිරීමට දෙමළ ජාතික සන්ධානයට හැකි වී ඇතැයි ද පැවසේ. දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ ඩග්ලස් දේවානන්දට ඇමති ධුරයක් ලබාදීමට තම පක්ෂය ඉතාම තදින් විරෝධය දක්වන බවය. ඒ අනුව මේ දක්වාම ඩග්ලස් දේවානන්දට ඇමැති ධුරයක් ලැබී නැත්තේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් හා සුමන්තිරන්ගේ බලපෑම මත යැයි ද සඳහන් වේ. 

ජනතා විමුක්ති පෙරමුණේ විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් ද තවමත් විවිධ පාර්ශ්ව විවිධ මත පළ කරමින් තිබේ. ඒකාබද්ධ විපක්ෂය ද තවමත් විස්ස ගැන ස්ථිර මතයක් පළකර නැත. හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් “අපි විස්සට විරුද්ධයි” යැයි ප්‍රකාශ කර තිබුණද විසි වැනි සංශෝධනය හරහා අපේක්ෂා කරන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධය තුළ මත දෙකක් නිර්මාණය වී ඇතැයි ද පැවසේ. 

කෙසේ වෙතත් පසුගිය පාර්ලිමේන්තු සතියේදී මේ සම්බන්ධයෙන් අපූරු සිදුවීමක් වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පසුගිය පස්වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා යෝජනාවක් සිදුකර තිබේ. “විස්ස ගැන අපේ මන්ත්‍රීවරුන්ට හොඳ අවබෝධයක් නැහැ. විස්සේ කරුණු හරියටම දන්නේ නැතුව විවිධ අසත්‍ය කරුණු කියන්න ගිහින් අපි හෑල්ලු වෙනවා. ඒක නිසා විස්ස ගැන අපේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කරන්න අනුර දිසානායක ගෙන්වන්න ඕනෑ. වෙල්ගම කියා සිටියේ ඒක හොඳයි. මොකද විස්ස හදපු අයම ඒ ගැන පැහැදිලි කරන එක හොඳයි. තවත් මන්ත්‍රීවරයෙක් අනුමත කළේය. මෙහිදී කලබලයට පත් වූ 20ට මුල සිටම විරෝධය දක්වන සියලු දේවල් කුමන්ත්‍රණ ලෙස දකින මන්ත්‍රීවරයකු කියා සිටියේ “අනුර දිසානායක මොකටද අපිට පැහැදිලි කිරිම් කරන්නේ. විස්ස ගැන මම පැහැදිලි කරන්නම්” කියාය. “මොකෙක් පැහැදිලි කරත් මට කමක් නැහැ.

හැබැයි මම අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න ඕනෑ” වෙල්ගම මන්ත්‍රීවරයා මදක් කෝපයෙන් කියා සිටියේය. 
වර්තමාන ආණ්ඩුව සිංගප්පූරුව සමග අත්සන් කළ ගිවිසුමක් සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනයක් මතුව තිබේ. මේ සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයන්ගේ අවධානය යොමු වූ අතර මෙම ගිවිසුමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කරුණු සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ වගකීම පවරාදී තිබේ. “පසුගිය ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් රටවල් එක්ක ගිවිසුම් අත්සන් කරන්නේ පාර්ලිමේන්තුවවත් දැනුම්වත් කරන්නේ නැතුව. ආණ්ඩුවක් කුමන හෝ රාජතාන්ත්‍රික ගිවිසුමක් අත්සන් කරනකොට  පාර්ලිමේන්තුව දැනුවත් කිරීම තමයි සම්ප්‍රදාය. රටට වාසි ගිවිසුමක් නම් පාර්ලිමේන්තුවට, රටට හොරෙන් අත්සන් කරන්න වුවමනාවක් නැහැ.

බිමල් රත්නායක කියා සිටියේය. “අපේ රටේ ගිවිසුම් අත්සන් කරන්නේ ඇමැතිට ලැබෙන කොමිස් එක අනුවයි. රටට වාසියක් වෙන්න ගිවිසුම් අත්සන් කරලා නැහැ මේ ආණ්ඩු කවදාවත්. ඇමැතිගේ කොමිස් එක තමයි කතා කරගන්නේ. එහෙම නැතුව රටට ලැබෙන වාසි ගැන කේවල් කිරීමක් නැහැ. හඳුන්නෙත්ති කියා සිටියේය. කොහොම නමුත් අපි මේ ගැන කරුණු හොයලා බලන්න ඕනෑ. රටට අහිතකර ගිවිසුම් අත්සන් කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ. ඒ වගේම ඒකට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග ගැන අපි හොයලා බලන්න ඕනෑ” විජිත හේරත් කීවේය.