ඉතිහාසයටම එක්වෙමින් දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට හා එතුමාගේ ආර්යාව වූ එලීනාට අයත්ව තිබූ වෝඩ් පෙදෙසේ නි​ෙවස මේ වන විට නටබුන් වෙමින් පවතී. කාලයත් සමග පාළුවට යමින් එය නොසලකා හරිනු ලැබුවද මේ වනවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නියෝගයෙන් එය රජයේ සහයෝගය ඇතිව කෞතුකාගාරයක් හා පරිසර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ මූලික ඥානාන්විත කාර්යභාරය අරඹා තිබේ.

මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාව ජාතික උරුමය හා ග්‍රාමීය කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක හා ජයවර්ධන පවුලේ සාමාජිකයින් අතර පවත්වා ඇත.

මෙම නිවස පවුලේ අයට භාර නොවිය යුතු බව ජනාධිපති ජයවර්ධන විශ්වාස කළේ දරු මුණුබුරන්ට එය නිසිපරිදි නඩත්තු කිරීම අසීරු වන නිසා බව ඔහුගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන කීවේය. ඩී.එස්. සේනානායක වැනි අනෙකුත් කීර්තිමත් පුද්ගලයින්ගේ නිවාස දැක මෙයද එලෙස නිසිපරිදි සංරක්ෂණය කිරීමේ ආශාව ඔහු තුළද වූයේය.

‘‘බොහෝ විට මෙවැනි නිවාස හරි හැටි බලා කියාගන්නේ නෑ. ඒවා විකුණා දැමීමෙන් හා වෙන්දේසි කිරීමෙන් අනතුරුව සිදුවන්නේ භාවිතයට ගත නොහැකි ලෙස ඒවා දිරාපත්ව ගරා වැටීමයි.’’ ප්‍රදීප් තම අදහස පළකළේය.

‘‘එතුමාට අවශ්‍ය වූයේ වෝඩ් පෙදෙසේ නිවාසය සංරක්ෂණය කිරීමටයි.

‘‘මෙම නිවහන නම් කර තිබුණේ බ්‍රේමාර් (Braemar) යන ස්කොට්ලන්ත ග්‍රාමයක නාමයෙනි. අපේ ආච්චිගෙ තාත්තා, එයාලගෙ දරුවන්ට උගන්වන ගුරුවරිය ගෙන්වාගෙන තියෙන්නෙ ඒ ගමෙන් තමා’’ ප්‍රදීප් කීවේය. මෙම නිවස අයිතිව තිබුණේ අපේ ආච්චි, හෙලේනා ජයවර්ධනටයි.

මෙම දේපළ 1981 දී මුලින්ම ජනාධිපති ජයවර්ධන තෑගි දී තිබුණෙත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටයි. එවකට පැවති ඊට අදාළ නීති ප්‍රතිපාදන අනුව එම දේපළ බදු වලට හිලව් කර ගැනීමේ අවසරය ඔහුට තිබිණි. මූලික අධ්‍යයන ආයතනයක් ලෙස එම නිවස භාවිත කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

1985 දී ඔහු ත්‍යාග ඔප්පුව සංශෝධනය කොට එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු බව කියා සිටියේය. මෙම නි​ෙවස පරිත්‍යාග කරන්නිය වූ හෙලේනා ජයවර්ධන සහ ඇගේ පවුලේ අය පරිහරණය කළදෑ ප්‍රදර්ශනය කරන ප්‍රදර්ශන භාණ්ඩ රැගත් බහාලුමක්ද එහි තබන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ඔහුගේ අදහස වූයේ තමාගේත් තම පවුලේ උදවියගේත් සිහිවටන ප්‍රදර්ශනය කිරීම උදෙසා කෞතුකාගාරයක් නිර්මාණය කිරීමය.

එහෙත් අදාළ ඔප්පුව තුන්වැනි වතාවටත් 1993 දී සංශෝධනය කොට එය නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතට ගැනෙන පරිදි ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයට පැවරුණි. එය එතරම් ප්‍රමාද වී සිදුවූයේ එම මධ්‍යස්ථානය 1988 දක්වා පිහිටුවා නොතිබුණු බැවිනි.
ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය රජය යටතේ පවතින අතර එය පාර්ලිමේන්තු පනතකින් ගොඩනගන ලද්දකි. පවුලේ සිහිවටන ප්‍රදර්ශනය කළ යුතු බව කියැවෙන වගන්තිය තවමත් නොවෙනස්ව තිබෙන අතර එය තවමත් වලංගුව පවතී.

‘‘කෞතුකාගාර අධ්‍යක්ෂක, මූලික අධ්‍යයන ආයතනයේ (Fundamental Studies) අධ්‍යක්ෂක සහ දේශීය ආදායම් කොමසාරිස්වරයා කැඳවනු ලැබුවා.’’ ප්‍රදීප් කීවේය. ‘‘අවසාන ඔප්පුව ඒ සියලුදෙනා එක්ව මගේ මිත්තනිය සමග අත්සන් කළා. සියලු දේ නීතිමය වශයෙන් නිවැරදි බවට තහවුරු කරගන්නයි එසේ කළේ.

‘‘මෙය මගේ සීයා හා මිත්තනිය ජීවිතයේදී දැඩි ආසාවෙන් බලාපොරොත්තු වූ දෙයක්. ඒත් එය ක්‍රියාත්මක වන්නට ගත්තේ 2007 දී මගේ මිත්තනිය අභාවප්‍රාප්ත වුණාට පසුවයි.’’ ඔහු පැහැදිලි කළේය. ‘‘ඊට පස්සෙ එය ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය හරහා රජයේ දේපළක් බවට පත්වුණා.

‘‘මේ වන විට එම නිවස පවතින්නේ හොඳ තත්ත්වයක නොවේ. එහි බිම දිරාපත්ව තිබේ. වහලය සහ අනෙකුත් වානේ කොටස් ගරාවැටී මළබැඳී ඇත. කොන්ක්‍රීට් කැබලි ගැලවී වැටෙමින් පවතී. එහෙත් තවමත් බිත්ති සවිමත්ව හානි නොවී තිබේ. මම වුනත් ගේ දැක්කෙ කාලෙකට පස්සෙ’’ ප්‍රදීප් කීවේය.

‘‘මේ වැඩේට කොයි තරම් වියදමක් යාවිද කියා අපි දන්නෙ නැහැ. (ප්‍රතිසංස්කරණයට) මුලින්ම ගෘහ නිර්මාණ ශිල්පීයා මේක බලන්න ඕනෑ.

නි​ෙවසේ සැලැස්ම හිටපු ජනාධිපතිවරයා ජීවත්ව සිටි කාලයේදී තිබූ ආකාරයටම පැවතිය යුතු බව ප්‍රදීප්ගේ අදහසයි. එය ජාතික වශයෙන් වැදගත්වූ තීරණ රාශියක් ගන්නා ලද ස්ථානයකි. මෙය බොහෝ ලෝක නායකයන් පැමිණ තිබෙන ස්ථානයකි.

‘‘මම වයස අවුරුදු 10 – 11 විතර ඉඳන් හැදී වැඩුනෙ මෙම නිවහනේ.’’ ප්‍රදීප් අතීතය මතක් කළේය. මට මතකයි මට අවුරුදු 11 දී අපි උපන්දින සාදයකට ලෑස්ති වුණා. අපි කෑම ෂෝර්ට්ඊට්ස් එහෙමත් ඇණවුම් කළා. ඒත් කවුරුත් ආවේ නෑ. මොකද ඊට දවස් කීපයකට කලින් ජවිපෙ කැරැල්ල පටන්ගත්තා. ඉතින් අපටම සාදය බුක්ති විඳින්න සිදුවුණා.

‘‘ඊට පස්සෙ මාස තුනක් විතර කාලයක් තිස්සෙ ඇඳිරි නීතිය තියෙන කාලෙ අපි වටපිටාවෙ ඉන්න අසල්වැසියො එක්ක හොඳට යාළුවුණා. අපේ ගෙදරට සෙල්ලං කරන්න කට්ටිය තාප්පෙන් පැනලා ආවා. පාපන්දු, ක්‍රිකට් මේ හැම සෙල්ලමක්ම අපේ මිදුලෙ සෙල්ලම් කළා’’ ඔහු කීවේය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, විනිමය පාලන නීතිරීති උල්ලංඝණය කළ බවට චෝදනා නගා ඔහු අත්අඩංගුවට පත් කරන්නට සූදානම් වූ අවස්ථාවේ කැලණියේ ඔහුගේ ආධාරකරුවෝ එක්රැස් වූහ. ‘‘මුළු මිදුලම හිටිහැටියේම මිනිස්සුන්ගෙන් පිරෙන්න ගත්තා. අපි බලා හිටිද්දී’’ ප්‍රදීප් එම සිද්ධිය විස්තර කළේය. මිනිස්සු දහස් ගණනක් ඇවිල්ලා හිටියා.’’

එම ඉඩම අක්කරයක් පමණ වූවකි. එයින් පර්චස්  60 ක් පමණ නිවසෙන් වැසී තිබේ. එහි වර්තමාන වටිනාකම රුපියල් මිලියන 900 ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබුණද ජනාධිපතිවරයා එය ත්‍යාගයක් ලෙස පවරා දෙන විට වටිනාකම වූයේ
රු. මිලියන 4 ක් පමණි. මෙම ව්‍යාපෘතිය උදෙසා රජය, ජයවර්ධන පවුලේ අය සමග සමීපව කටයුතු කරනු ඇතැයි ප්‍රදීප් පැවසීය.

අමාත්‍ය වික්‍රමනායක මෙම ගොඩනැගිල්ලේ ඓතිහාසික වටිනාකම අවබෝධ කරගෙන එය ප්‍රතිසංස්කරණය කොට කෞතුකාගාරයක් බවට පත්කිරීම උදෙසා පෞද්ගලිකව උනන්දුවන බව පෙනී යන බව ප්‍රදීප් කියයි.

මෙවර මුලින්ම මෙම කාරණය යෝජනා කර ඇත්තේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක විසින් බව වික්‍රමනායක ඇමතිවරයා කීවේය. මේ සම්බන්ධයෙන් කලින්ම ක්‍රියාත්මක වන්නට අසමත් වීම නිසා නිවසේ තත්ත්වය තවදුරටත් අයහපත් මට්ටමට වැටී තිබේ. ඒ මගින් සිදුව ඇත්තේ එය යථා තත්ත්වයට පත්කිරීමේ වියදම තවත් වැඩිවීමය. මෙම ව්‍යාපෘතිය නිසි කලට නිමා කිරීම සඳහා මූල්‍ය අපහසුතා බලපාන්නට ඉඩ ඇති බවද ඔහු කීවේය.

‘‘එතුමා තවදුරටත් අප අතර නෑ. එහෙත් මේ තුළ සියලු චංචල නිෂ්චල දේපළ එතුමා අන්තිම කැමති පත්‍රයෙන් ලියාදීලා.’’ ඔහු අතීතය ආවරණය කළේය.

‘‘මහින්ද රාජපක්ෂ මහතා මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ 2014 දී. ඒත් බලයෙන් ඉවත්වීම සමග එය නැවතුණා. අපට මේ කාරණය ගැන සොයා බලන්න කියා එතුමා නැවත උපදෙස් දී තිබෙනවා. අපි අපේ ඉතිහාසයට ගරු කළ යුතුයි. ජේ.ආර්. ජයවර්ධන එහි වැදගත් හවුල්කරුවෙක්.’’

මෙම නි​ෙවසේ මිදුලේ කොටසක් මහජනයාට විවෘත වූ පරිසර විද්‍යාත්මක හා පාරිසරික කරුණු කියාදෙන මධ්‍යස්ථානයක් බවට පත්කරලීම පවුලේ කැමැත්ත වූයේය.

මෙතෙක් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්වී හෝ ඒ සඳහා කාල රාමුවක් යෝජනා වී නැත. එහෙත් ඇතැම් අන්තර්ජාතික පරිත්‍යාගශීලීන් මේ සඳහා උනන්දු වී තිබේ. ඒ පිළිබඳ තීරණ කඩිනමින් ගනු ඇතැයි අමාත්‍යවරයා කීවේය.


 

(***)
2020 නොවැ. 29 වැනිදා The Sunday Times පත්‍රයට,
Talks on the fate of
JR Jayawardene's ward Place Property
මැයෙන් තරුෂි වීරසිංහ ලියූ ලිපියේ පරිවර්තනය.

පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ