ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය 2021 මාර්තු 01 වැනිදා සිට ‘ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය’ නමින් විශ්විද්‍යාලයක් බවට පත්විය. ඊට අදාළව නිල උත්සවය අද (04) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙන් පළවන්නකි.

“මවිසින් දල්වන ලද මෙම ප්‍රදීපයේ ආලෝකයෙන් මෙම කුඩා ශාලාවේ පවතින අඳුර පහවී ආලෝකවත් වන්නාක් මෙන්ම මෙම විද්‍යාලය මගින් පතුරුවා හරින ලද ශාස්ත්‍රාලෝකයෙන් මුළු ලක්දිව ඒකාලෝක වේවායි මම ප්‍රාර්ථනා කරමි. විද්‍යාලය මගින් මුළු මහත් ආයුර්වේදය සම්පූර්ණයෙන් ඉගැන්වීමට පුළුවන් වේ යැයි මම නොසිතමි. අපේ බලාපොරොත්තුව මෙම විද්‍යාලය මගින් සූත්‍රපාත අධ්‍යාපනයක් දීමය. ඒ සූත්‍රපාතය ඔස්සේ ඉදිරියට ගමන් කරන ශිෂ්‍යයන් වටා වඩා උසස් වෛද්‍යවරයන් වන බවට කිසිම සැකයක් නැත.”

ඒ ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ නිර්මාතෘවරයා වූ පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි මහඍෂිවරයාණන් සිය සිසුන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර පහනක් දල්වා පුරුද්දක් ලෙස කළ කතාවෙන් කොටසක්. ඒ කතාව ආරම්භ වන්නේ 1929 ජුලි මස 19 වැනිදා සිටය. ඒ විද්‍යාලයේ පළමුවැනි ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයන් ගණන 20කි. ඔවුන් තෝරාගෙන තිබෙන්නේ සම්මුඛ හා ලිඛිත පරීක්ෂණයකිනි. ඇතුළත් කරගැනීමේ සුදුසුකම වී ඇත්තේ සිංහල හා සංස්කෘත භාෂා පිළිබඳව ප්‍රවීණ ප්‍රාරම්භ විභාගයට සමාන දැනීමක් හා වෛද්‍ය ග්‍රන්ථ පිළිබඳ සාමාන්‍ය දැනීමකි. සිසුනගේ වෛද්‍ය පරම්පරා හා සත්චාරිත්‍ර පිළිබඳ සහතිකද විශේෂයෙන් සලකා බැලුනු බව ඒ අතීතය දන්නෝ කියති.

අද දිනයේ අප සලකා බැලිය යුතු අනෙක් කාරණය වන්නේ මේ විද්‍යාලයේ නිර්මාතෘවරයා පිළිබඳවය. ප්‍රවීණ පණ්ඩිත උපාධිය ලැබූ පළමු ලාංකික ගිහියා අප කතානායක වික්‍රමාරච්චි මහාෂයාණෝය. ප්‍රසිද්ධ වෛද්‍ය පරම්පරාවකට අයත් වූ එතුමන් වෛද්‍ය කර්මයෙහි හසල බුද්ධිමතකු ලෙස ද චිර ප්‍රසිද්ධය. එතුමන් විධිමත්ව වෛද්‍ය ශාස්ත්‍රය හදාරා ඇත්තේ කල්කටාවේ අෂ්ඨාංග ආයුර්වේද විද්‍යාලයෙනි. එතුමන්ගේ පෞද්ගලික දේපළ හා ධනය කැපකොට ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය ආරම්භ කළේ 1929 ජුලි මස 19 වැනිදාය. ඒ වසර එනම් 1929 සුවිශේෂ වසරක් වීමට තවත් කාරණයක්ද තිබේ. එනම් රජයේ ආයුර්වේද විද්‍යාලයද ඒ වසරේම ආරම්භ වීමය. සිද්ධායුර්වේද විද්‍යාලයෙන් පිටවන සිසුනට තමන් කැමැති ප්‍රදේශයකට ගොස් වෛද්‍ය වෘත්තියෙහි නියැලීමට නැතහොත් වෘත්තීය කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය බෙහෙත් පවා නොමිලේ සපයා දී තිබෙන්නේ මේ ගුරු උතුමාණෝය. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ‘ගම්පහ බෙහෙත් ශාලා’ බිහිවූයේ ඒ මහඟු මෙහෙවරේ ප්‍රතිඵල ලෙසය.

 1929 ආරම්භ වූ ඒ විද්‍යාලය 1951 ජුලි 13 වැනිදා සිට දේශීය වෛද්‍ය ක්‍රමය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය උගන්වන රජය පිළිගත් ශිල්පායතනයක් බවට පත්වෙයි. පසුව 1961දී මෙම ආයතනය රජයේ ආධාර ලැබීමට යෝග්‍ය ආයතනයක් බවට පත්වෙයි. මෙය රජයට පවරා ගන්නේ 1982දීය. එතැන් පටන් මෙය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලය නමින් හැඳින්වෙයි. එහි මෙහෙවර හා කාර්යභාර පුළුල් වන්නේ 1995 මාර්තු මස 01 වැනිදා සිටය. එතැන් පටන් එය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය නමින් හැඳින්විණි. 1995 දී ඒ වෙනස සිදුවූයේ ඒ විද්‍යායතනයේ හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්හි සටන්වල ප්‍රතිඵලයක් ලෙස බව මෙහි සටහන් නොකිරීම ආකෘතඥකමකි. 1995 මාර්තු 01 වැනිදා සිට 2021 මාර්තු 01 වැනිදා වනවිට ගතවී තිබෙන කාලය අවුරුදු 26කි. ඒ අනුව කැලණි විශ්වවිද්‍යාලයට අනුබද්ධව පැවති විද්‍යායතනය වෙනම ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත්වීමට ගතවී තිබෙන කාලය අවුරුදු 26කි. 1929 දී බිහිවූ සිද්ධායුර්වේද විද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට පත්වීමට ගතවී තිබෙන කාලය අවුරුදු 92කි. ඒ අනුව පැමිණි ගමන ඉතා දිගුය.

විද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට පත්වන්නේද සුවිශේෂ යුගයකය. ඒ කොරෝනා වසංගතය විසින් ආසියාවේ රටවල දේශීය දැනුමේ විශේෂයෙන් ලංකාවේ දේශීය දැනුමේ හාස්කම් ලොවට ප්‍රදර්ශනය කළ යුගයකය. ලාංකීය දේශීය දැනුමේ හාස්කම් වෙදකමෙන් පමණක් නොව කෘෂිකර්මාන්තයෙන්, වාරි කර්මාන්තයෙන්, ගෘහ නිර්මාණ ශිල්පයෙන් හා ඉංජිනේරු ශිල්පියෙන් ද ලෝක පූජිතය. දේශීය දැනුම පිළිබඳව ගවේෂණය, හැදෑරීම හා සම්ප්‍රේෂණය කරගෙන ‘ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය’ ආරම්භ කෙරෙන බව ප්‍රකාශිතය. එය මිනිසා සඳ මත පා තැබීමට අද්විතීය පියවරක් ලෙස හැඳින්වීමට අතිශයෝක්තියක්ම නොවන බව අපගේ විශ්වාසයයි. අප එසේ කියන්නේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ හැදෑරීමට, ගවේෂණයට හා ඒ ඔස්සේ සොයා සපයා ගන්නා දැනුම විශ්වයෙහි සම්ප්‍රේෂණයට වෙනම විශ්වවිද්‍යාලයක් බිහිවීම මහෝදාර කටයුත්තක් වන හෙයිනි.

ලංකා පළමු දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයට යෝජිත පීඨ ගණන හතරකි. ඉන් පළමුවැන්නව දේශීය වෛද්‍ය පීඨයයි. දෙවැන්න දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨයයි. තෙවැනි පීඨය වන්නේ දේශීය සමාජ විද්‍යා හා කළමනාකරණ අධ්‍යයන පීඨයයි. සිව්වැන්න පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයයි. ඒ ඒ පීඨ යටතේ පිහිටුවීමට යෝජිත දෙපාර්තමේන්තු ගැන ද 2020 ඔක්තෝබර් 28 දිනැති රජයේ ගැසට් පත්‍රයෙහි සඳහන් වෙයි. ඒ දෙස බැලීමේදී අනාවරණය වන්නේ මෙය සැලසුම් සහගතව විද්‍යාත්මක පදනමක් මත චිරාත් කාලීන පැවැත්මක් අපේක්ෂාවක් ගොඩනගන විශ්වවිද්‍යාලයක් බවය. පටු අරමුණු සහිත පෞද්ගලික න්‍යායපත්‍ර පෙරටු කරගත් ඇතැමුන් මෙහි යම් දෝෂ දැකිය හැකිය. එය ස්වභාවිකය. එසේම අහේතුකද නොවේ. එහෙත් මෙය යෝධ පියවරක් හා මහා පිම්මක් බව ඉහ මොළ තිබෙන කාගේත් පිළිගැනීම වනු නිසැකය. එසේම මෙය සිද්ධායුර්වේදයේ නිර්මාතෘවරයාණන්ට කළගුණ සැලකීමක්ද වන්නේය. ඒ නිර්මාතෘවරයාගේ දර්ශනය හා දහම තවත් සතවර්ෂාධික කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට දියත් කරන්නාවූ මහා මෙහෙයුමක්ද වන්නේය. මේ මහා මෙහෙයුමේ පෙර ගමන්කාරිය වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියකු වූ ජනිතා ඒ. ලියනගේ මහත්මියයි. ඉන්පසු උප කුලපති පදවියට පත්වන තෙක්ම ඇය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපතිනිය වූවාය. සිද්ධායුර්වේද විද්‍යායතනයේ අධ්‍යක්ෂ තනතුර දරමින් ඇය ලැබූ අත්දැකීම් මත පදනම් වෙමින් මෙම මෙහෙයුම් ආරම්භ කරන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. එහෙයින් යක්කල සිද්ධායුර්වේදය විශ්වවිද්‍යාලයක් කිරීමේ ගෞරවයේ වැඩි කොටසක් ඇයට හිමිවනු ද නිසැකය.

එසේම මේ මෙහෙයුම සාර්ථකව කරගන්නට ඇයට උරදුන් ලොකු කුඩා කාටත් වික්‍රාමාරච්චි මහාපඩිවරයාණන්ගේ සිට එදා මෙදා සිද්ධායුර්වේදයෙන් ඉගෙනගත් හා එහි ඉගැන්වූ සියල්ලන්ගේත් දේශීය වෛද්‍ය විද්‍යාව හා දේශීය දැනුම අගයන සියල්ලන්ගේත් ආදරය, ගෞරවය, භක්තිය හා ආශිර්වාදය ද හිමිවනු නිසැකය.


(*** සටහන - ගුණසිංහ හේරත්)