ජනපතිවරයා දණ ගැස්වීමට අවශ්‍ය වූයේ මාරාන්තික උපවාසයක නිරත වෙමින් සිටි සහ ඒ පසුපස තිබූ අරමුණ වෙනුවෙන් පෙනී සිටින බව දැඩිව කියා සිටි භික්ෂූන් දෙදෙනෙකු පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අතුරලියේ රතන හිමි, පසුගිය මස 31 වැනිදා ආරම්භ කළ උන්වහන්සේගේ මාරාන්තික උපවාසයේ එදින ගෙවමින් සිටියේ තෙවැනි දිනයයි. නුවර දළදා මාළිගාව අබියස උන්වසන්සේ උපවාසයේ යෙදී සිටි අතර, බෞද්ධ භික්ෂූන් සහ නොසන්සුන්ව සිටි ආධාරකරුවන් අතුරලියේ රතන හිමියන්ව වටකොටගෙන සිටියහ. 

පසුගිය ඉරිදා, එනම් ජූනි මස 2 වැනිදා, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ, උන්වහන්සේව බැහැ දැකීමට පැමිණියහ. බොදු බල සේනා සංවිධානයේ නායකයා වන ඥාණසාර හිමියෝ ඒ වන විටත් බෞද්ධ භික්ෂු සමාජයේ සහ ආධාරකරුවන්ගේ සැළකිය යුතු සහායක් දිනාගෙන සිටියහ.

 

ආන්දෝලනාත්මක චරිතයක් වන ඥාණසාර හිමියෝ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රදානය කළ ජනපති සමාවක පිහිටෙන් සිපිරිගෙයින් නිදහස් වූයේ ඊට යන්තම් දින 16 කට පෙරය. අධිකරණයට අපහාස කිරීමේ වරදට නියම කැරුණු වසර 19ක සිරදඩුවමක්, වසර 6 කින් ගෙවී යැවෙන පරිදි, සිරගෙදරට නියම කර සිටි උන්වහන්සේ, ජනපති සමාවෙන් නිදහස් වන විට එම දඬුවමින් ගෙවා අවසන් කර තිබූයේ මාස 9 කුත්, භාගයකුත් පමණකි. අභියාචනාධිකරණයෙන් නියම කළ එම දඩුවම පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහතික කළේ ය. සුදු පැහැයෙන් යුතු අව් ආවරණයක යට සැතපී සිටි රතන හිමියන් අසළ සිටගත් ඥාණසාර හිමි උද්වේගකර ප්‍රකාශයක් කරමින්.... 

“අපි රජයට හෙට දවල් 12 වෙනකන් කල් දෙනවා. මුකුත් කළේ නැතිනම් රටපුරාම සැනකෙළි බලාගන්න පුලුවන් වෙයි” යැයි කියා සිටියහ.

කරුණු 5ක් අරභයා රතන හිමි සිය උපවාසය ආරම්භ කර තිබූ අතර, ඒවා අතුරින් ප්‍රධාන වූයේ අසාත් සාලි (බස්නාහිර පළාත් ආණ්ඩුකාර), එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා (නැගෙනහිර පළාත් ආණ්ඩුකාර), සහ කර්මාන්ත සහ වෙළද අමාත්‍ය රිෂාද් බදුර්ඩීන්, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දරමින් සිටින තනතුරුවලින් ඉවත් කිරීමය.

මේ හමුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අතිශය කැළඹුමට පත්විය. 

බුද්ධි අංශ ද ඇතුළුව, විවිධ වාර්තා ලැබෙන්නට ගත්කළ තත්ත්වය තවත් බැරෑරුම් විය. රතන හිමියන්ගේ උපවාසයට සහාය දැක්වීමක් ලෙස පිටකොටුව, නුවර සහ අනෙක් ප්‍රධාන නගරවල කඩසාප්පු වසා දැමීමට ද, කළු කොඩි නැංවීමට ද යන බව එම වාර්තාවල සදහන්ව තිබිණ. මාසයක උපවාස සමයකින් පසුව මුස්ලිම් ජාතිකයින් උත්සවාකාරයෙන් සමරන රාමසාන උත්සවයට දින කිහිපයක් තිබිය දී ඇතිවන්නට යන මෙම තත්ත්වය, මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව අලුත් මුහුණුවරකින් ඇවිලෙන්නට යන ප්‍රචණ්ඩත්වයක සළකුණු විය හැකිදැයි බිය පළවිය.

තනතුරුවලින් ඉල්ලා අස්වන තැනට ආණ්ඩුකාරවරුන් නම්මා ගැනීමේ කාරිය ජනපති සිරිසේන මහතා ඔහුගේ ඉහළම නිලධරයකුට භාර දුන්නේය. එපමණක් නොව ඔහු මේ සම්බන්ධයෙන් හිටපු ජේ්‍යෂ්ඨ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයකු ඇතුලු දේශපාලඥයින් ගණනාවක් සමග අදහස් හුවමාරු කරගත්තේය.

ඉහත සදහන් කළ නිදහස් පක්ෂ හිටපු අමාත්‍යවරයා ජනපතිවරයාව අමතමින්, තමා එවැනි තනතුරක සිටින්නේ නම් එවැනි ඉල්ලීමක් ලැබිය යුත්තේ ජනපතිවරයාගෙන්ම යැයි අපේක්ෂා කරන බව පෙන්වා දුන්නේ ය. මේ අතරවාරයේ, ඉල්ලා අස්වීම කෙරේ නම්මා ගැනීමට යත්න දැරූ ආණ්ඩුකාරවරුන් දෙපළ ද, මුරණ්ඩු පිළිවෙතක් අනුගමනය කරමින් සිටියහ. 

මේ තත්ත්වය යටතේ ජනපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් තිදෙනකු අතට, එනම් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසන්ත අලගියවන්න සහ මලිත් ජයතිලක යන මහත්වරුන්ට, මෙම රාජකාරිය පැවරුවේය. 

මුල් අවස්ථාවේ ආණ්ඩුකාරවරුන් දෙපළ හා සම්බන්ධවීමට ඔවුන් ගත් උත්සාහයන් ව්‍යර්ථ වූ අතර, දෙදෙනාම ඔවුන්ගේ ජංගම දුරකතනයන් ක්‍රියාවිරහිත කර තිබිණ. කෙසේ වෙතත් පසුව ජනපති සිරිසේන මහතා විසින් පත්කරන ලද තිදෙන සාර්ථක වූහ. 

සාලි හා හිස්බුල්ලා ජනපති සිරිසේන හමුවූහ. එහෙත් තනතුරුවලින් එක්වනම ඉල්ලා අස්වීමට ඔවුන්ගේ සූදානමක් නොතිබිණ. මේ සම්බන්ධයෙන් සිය ආධාකරුවන් හා සාකච්ඡා කිරීමට අවශ්‍ය බවට ඔවුහු තර්ක කළෝය. නමුත් එල්ල කැරුණු පීඩනය හමුවේ බදාදා සන්ධ්‍යාව වන විට සිය ඉල්ලා අස්වීමේ ලිපිවලට අත්සන් තැබීම හැර වෙනත් විකල්පයක් දෙදෙනාටම නොතිබිණ. 

ඔහුගේ ලිපියට අත්සන තැබීමෙන් පසුව, වේලාව පස්වරු 12.30 ලෙසත්, දිනය ලෙස ඊට පසුදිනත් (බ්‍රහස්පතින්දා), යෙදීමට සාලි කටයුතු කළේ ය.

පාගමන අවලංගු කරයි

වේලාව පස්වරු 1.00 විය. 
ඥාණසාර හිමියන් ප්‍රකාශයට පත්කර තිබූ වේලාවට වඩා පැයක් ඉක්ම ගොසිනි. 
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා එම අවස්ථාවේ නුවර දළදා මාළිගාව ඉදිරියට පැමිණියේ ය .ආණ්ඩුකාරවරුන් දෙදෙනා ඉල්ලා අස්වී තිබෙන බව ඔහු දැනුම්දුන් අතර, ඒ ඇසූ රතන හිමියෝ වතුර වීදුරුවක් පානය කළහ. 

වහාම උන්වහන්සේව මහනුවර ජාතික රෝහල වෙත රැගෙන යනු ලැබිණ. 

ඥාණසාර හිමියෝ හඬ අවදි කරමින්, තමා සිය ආධාරකරුවන් ද කැටුව කොළඹ බලා පාගමනක යෙදෙන බව පවසා සිටියහ. එයට හේතුව ලෙස උන්වහන්සේ පෙන්වා දුන්නේ ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වූ බවට නිල නිවේදයක් නිකුත් කර නොතිබීමය. පාගමන ආරම්භ කර කඩුගන්නාව ආසන්නයට පැමිණි උන්වහන්සේ ප්‍රමුඛ පිරිස හමුවේ නැවතත් පෙනී සිටියේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගුණරත්න මහතාය.

ආණ්ඩුකාරවරුන් දෙපළගේ ඉල්ලා අස්වීම් ජනපතිවරයා පිළිගත් බවට සදහන් කර ජනපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කර තිබූ ලිඛිත ලියැවිල්ලක් ඔහු අත විය. ඒ අනුව පාගමන අවලංගු කෙරිණ. 

බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ඇමතූ ජනපතිවරයා, ආණ්ඩුකාරවරුන් දෙපළ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කටයුතු කළ පක්ෂයේ සාමාජිකයන් තිදෙන මහත් සේ ඇගයීමට ලක් කළේය. රැස්වීමෙන් පැයකට පසු ඔහු ජනපති නිල නිවසේ සංවිධානය කර තිබූ ඉෆ්තාර් උළෙලට සහභාගී විය. සාලි, හිස්බුල්ලා, බදුර්දීන් සහ තවත් මුස්ලිම් ජන නායකයෝ එයට එක්ව සිටියහ.

ආණ්ඩුකාරවරුන් දෙපළ පිළිබදව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ අදහස් දැක්වූ ජනපතිවරයා, අසාත් සාලි අන්තවාදියකු නොවන බව පැවසුවේ ය.

“හිතන්නේ මතන්නේ නැතිව කියවන එකයි එයාගේ වැරැද්ද” ඔහු කීවේ ය.

මෙය ඇසූ පාර්ලිමෙන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා එයට දැඩිව විරෝධය දැක්වූ අතර, සාලි තවුහීද් ජමාත් සංවිධානයේ ආධාරකරුවකුව සිටි බව වැඩිදුරටත් කීවේය. ජනපතිවරයා අදහස් දක්වමින්, උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙමින් තිබෙන බව පැවසුවේය. මෙයින් පැහැදිලි වන්නේ ඉල්ලා අස්වූ ආණ්ඩුකාරවරුන් දෙපළ ගැන අහිතක් ජනපති සිරිසේනට නොමැති බවයි. නමුත් ඔවුන් ආණ්ඩුකාරවරුන් ලෙස පත්කිරීමට ප්‍රථම, ඔවුන්ගේ ආධාකරුවන්ගෙන් කිසිදු අදහස් විමසීමක් ජනපතිවරයා සිදුනොකළ බව සදහන් කළ යුතුය. එවැනි තත්ත්වයක, සාලි සඳහා විදේශයක රාජ්‍යතාන්ත්‍රික පත්වීමක් ලබාදීමේ සූදානමක් තිබෙන බව ද දැනගන්නට ඇත.

ඉල්ලා අස්වීමට ප්‍රථම මෙම දෙපළ සිටියේ සැඟවීය. වරද පැටවිය යුත්තේ ජනපතිවරයාටමය. 

පිරිනැමීමට යන තනතුර සදහා සුදුස්සෙකු ද යන්න නොසළකා, ජාතික අර්බුදයක දී කීකරුව සහ අවංකව කටයුතු කිරීමේ හැකියාවක් තිබේ ද යන්න නොසළකා, ඉහළ තනතුරුවලට සිතෙන පරිදි පුද්ගලයින් පත්කිරීමේ පිළිවෙතක් ජනපති සිරිසේනට ඇත. ආරක්ෂක ලේකම්වරුන් පත්කිරීමේ දී, ජාතික බුද්ධි ප්‍රධානියාව පත්කිරීමේ දී, පොලිස්පතිවරයාව පත්කිරීමේ දී, විදෙස් ලේකම්වරුන් සහ විදේශයන්හි ශ්‍රී ලංකා තානාපතිවරුන් පත්කිරීමේ දී, පිළිබිඹු වූයේ මෙයයි ඔහු දිගින් දිගටම එවැනි පත්කිරීම් කරමින් සිටීම, උපදේශකයින්ගෙන් ලැබෙන උපදෙස් නිසා හෝ ලැබෙන උපදෙස් නොසළකා හරිමින් සිටින නිසා හෝ, ජනපතිවරයාගේ ජනප්‍රියත්වය පැහැදිලි ලෙසම සෝදාපාලු කර තිබේ.

පසුගිය සතියේ රටේ බුද්ධි අංශයන්වල ඉහළම තනතුර වන ජාතික බුද්ධි ප්‍රධානී තනතුර හොබවමින් සිටි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා එම තනතුරින් ඉවත් කැරිණ. ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස මෙන්ඩිස් මහතා කටයුතු කරමින් සිටියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ වසරක් පාසා අලුත් කැරෙන කොන්ත්‍රාත්තුවක් යටතේය. ජනපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි ඔහුව ඉවත් කැරුණු අතර, ලබා දී තිබූ නිල වාහනය සහ රියදුරාව ද නැවත පවරා ගැනිණ.

ඉල්ලා අස්වන ලෙසට ආණ්ඩුකාරවරු දෙපළට බල කැරෙමින් තිබියදීම, මුස්ලිම් අමාත්‍යවරුන් චරිත නිරූපණය කළ තවත් නාටකයක් වෙනත් තැනක රග දැක්වෙමින් තිබිණ. 

අතුරලියේ රතන හිමියන්ගේ මාරාන්තික උපවාසය පත්වන්නට එක් හේතුවක් වුනු රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුවීම ඔවුන්ගේ අවධානයට ලක්වූ අතර, හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාගේ කොළඹ නිවසේ දී පසුගිය 3 වැනිදා ඔවුහු හමුවූහ. සාකච්ඡාවේ අවධානය යොමු වූයේ ඥාණසාර හිමියන්ගේ නියෝගය සහ රට පුරා සැනකෙළි දැකගත හැකිවනු ඇති බවට උන්වහන්සේ කර තිබූ ප්‍රකාශයටය. මුස්ලිම් ජනතාව ඉලක්ක කරගත් ප්‍රහාරයක් එල්ල විය හැකි බවටත්, රට පුරා පිහිටි ඔවුන්ගේ දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන, අනතුරේ බවටත්, අමාත්‍යවරුන් පිරිස බිය වූහ.

මෙම බිය තවත් උත්සන්න වූයේ ජනපතිවරයා පමණක් නොව රජයේ නායකයින් ද, ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශය අරභයා ඇස්කන් පියාගෙන සිටින පිළිවෙතක් අනුගමනය කරමින් සිටි නිසාවෙනි. 

ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ තර්කය වූයේ නීතිය හා සාමය යාන්ත්‍රණය ඔවුන් අත නොමැති නිසා කළ හැකි දේ සීමාසහිත බවය.එය ඇත්ත වශයෙන්ම සාධාරණ තර්කයක් නොවේ. සියලුම ආගමික නායකයන්ගේ, පොලිසියේ සහ හමුදාවේ සහායෙන් මාධ්‍ය හරහා ප්‍රචණ්ඩත්වයට එරෙහි ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ඔවුනට හැකියාව තිබිණ. 

වර්තමානයේ බහුතරයක් සිංහල ප්‍රජාව මෙන්ම භික්ෂු සමාජයද, ප්‍රචණ්ඩත්වය පිළිකුල් කරන්නේය. ඉහත කී කර්තව්‍යයේ යම් කොටසක් ශ්‍රී ලංකා යුද හමුදාව අද වන විට ඉටු කරමින් සිටීම අගය කළ යුතුය. මෙවන් ක්ෂේත්‍රයන් අරබයා ජනපතිවරයා සහ රජය ගන්නා ක්‍රියාමාර්ගයන් නොගිනිය හැකි තරමේ වන අතර, ඔවුන් බොහෝ විට අනුගමනය කරන්නේ නිහඩ පිළිවෙතකි. ඒ වෙනුවට, රජය දැන් සැරසෙන්නේ මාධ්‍යයන්ට වැට බැදීම සදහා නව නීති හදුන්වාදීමටය.