(කොබෙයිගනේ - නිමල් ප්‍රේමචන්ද්‍ර)
මුඛ ආවරණයක් පැළඳ මිතුරියකගෙන් ඉල්ලා ගත් යතුරුපැදියකින් දිවා ආහාරය රැගෙන පැමිණි බිරිය හඳුනාගැනීමට නොහැකි වූ පොලිස් නිලධාරියකුට එදින දහවල් කුසගින්නේ සිටීමට සිදුවූ පුවතකි මේ.


සිද්ධිය වාර්තාවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා උපනගරයකිනි.


ඔහු පොලිසියේ රථවාහන අංශයේ සේවය කරන කොස්තාපල්වරයෙකි. සිය නිවසේ සිට කිලෝමීටර් හයක පමණ දුරකින් පිහිටි නගරයේ පොලිස් ස්ථානයක රාජකාරි කරන ඔහු කොරෝනා පැතිරයාමෙන් පසු හෝටලවලින් හෝ ආහාර අලෙවිකරන වෙනත් ස්ථානයකින් ආහාර ගැනීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටි අතර උදයේ රාජකාරී සඳහා පිටත්ව යනවිට බිරිඳ නිවසේදී සකස්කර දෙන දිවා ආහාරය රැගෙන යාමට පුරුදුව සිටියේය. එහෙත් එදින එසේ රැගෙන යා නොහැකි විය.


‘මම අද ටවුමේ තැපැල් කන්තෝරුව ළඟ මාර්ගයේ ඩියුටි ඉන්නේ. ඔයා මගේ දවල් කෑම එක 11ට විතර එතෙන්ට ගෙනත් දෙන්න’ යැයි ඔහු නිවසින් පිටත්වූයේ බිරියට පවසමිනි.


යතුරුපැදියේ පිටුපස රෝදයේ හුළං බැස ඇති අයුරු දුටු බිරිය යාබද නිවස වෙත ගොස් ඇගේ මිතුරියගෙන් යතුරුපැදිය ඉල්ලාගෙන සැමියා රාජකාරියේ යෙදී සිටින තැන වෙත පිටත්වූවාය.


නගරයේ අදාළ ස්ථානය වෙත පැමිණි ඇයට ප්‍රධාන මාර්ගයට මීටර් කිහිපයක දුරින් සිය සැමියා තවත් පොලිස් නිලධාරියකු සමග සිටින අයුරු දැක ගත් ඇය යතුරුපැදිය එහි නතර කළේ සැමියාට කෑම පර්සලය දීම සඳහාය.
‘ඔය නෝනට මොළේ නැද්ද? ඔතන බයික් එක නතර කරන්න එපා. පදික මාරු ස්ථානය ඔතන වාහන නවත්තපුවාම වාහන බ්ලොක් වෙනවා. අයි.පී. මහත්තයා ආවොත් අපිටත් බනිනවා. ඉස්සරහට යන්න’
සිය සැමියා උස් හඬින් පැවසුවේ ළඟ තිබූ නලාව කීප වරක් නාද කිරීමෙන් අනතුරුවය.


එම ස්ථානයේ සිටි පිරිස ඉදිරියේ ලැජ්ජාවට පත් වූ ඇය යතුරු පැදිය පණගන්වා ඉදිරියට ගොස් අතුරු පාරකට හරවා යළි ප්‍රධාන මාර්ගයට පැමිණ නිවස බලා පැමිණියේ මහත් කෝපයකිනි.


නිවසට ගොස් පැය භාගයකින් පමණ ඇගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණේ සිය සැමියාගෙනි.


‘මම කෑම එක ගේනකන් බලාගෙන ඉන්නවා. ඇයි තවම ආවේ නැත්තේ’ සැමියා විමසීය.


‘අද බඩගින්නෙ ඉන්න. ඔතෙන්ට කෑම එක අරන් ආපු මං පන්න ගත්තේ කෑගහලා’ එසේ පවසමින් ඇය දුරකතනය විසන්ධි කළාය. නැවත කිහිපවරක් සැමියා ඇමතුම් ලබාදුන්නද ඇය ප්‍රතිචාර නොදැක්වූවාය.