බොහෝ අය තවමත් ඇස්වහ කටවහ ගැන විශ්වාස කරති. මේ සම්බන්ධයෙන් විවිධ රසවත් කතා මිනිසුන් අතර පැතිර යයි. මෙම පුරාණ විශ්වාසයට අදාළව අවස්ථා කිහිපයකම මම අත්දැකීම් ලබා ඇත්තෙමි. 


මගේ පියාගේ උපන්ගම වූ හික්කඩුව සමීපයේ පිහිටි වෑවල නම් ගමේ මේ කියන පුද්ගලයා වාසය කළේය. සෑම කෙනෙකුම ඔහු හැඳින්වූයේ මාර්ටින් මහත්තයා කියාය. එය ඔහුගේ සැබෑ නම නොවේ. රෙද්ද සහ කෝට් එක ජැන්ඩි පහට අඳින ඔහු තරමක් කොට වුවත් මහත දෙහෙත පුද්ගලයෙකි. ගම්මුන් සැලකුවේ ඔහු ඇස්වහ කටවහ ඇති අයෙකු ලෙසය. ඔහු දකින වාරයක් පාසා මව්වරුන් තම කුඩා දරුවන් ඔහුට නොපෙනෙන්නට වසන් කරගත්තේ ඔහුගේ අවකැපෙන කතාවලින් බේරා ගන්නටය. මගේ සීයාගේ පවුලේ උදවිය ඔහු හොඳින් හඳුනාගෙන උන් අතර ඔහු නිතරම පාහේ අප නිවෙස්වලට ආවා ගියේය.


1955 අවුරුද්දේ මගේ පියා විදුහල්පති තනතුරකින් පාසල් වැඩ පරීක්ෂක තනතුරකට උසස්වීමක් ලැබූ නිසා අප පවුලේ අයට කොළඹ පදිංචියට යාමට සිදු විය. කොහුවල ඇන්ඩර්සන් පාරේ නිවසක් කුලියට ගෙන පැමිණි ඔහු පසුව නුගේගොඩ පල්ලිය වීදියේ ඉඩමක් මිලට ගෙන නිවසක් ඉදිකළේය. 


ඉන්පසු අපගේ නිවස වූයේ එයයි. අලුත් නිවසේ පදිංචියට පැමිණි පසු අපේ අම්මා නිවස ඉදිරිපස මිදුලේ මල් ද ගෙට පැත්තෙන් සහ පිළිකන්නේ එළවළු ද වගාකොට මිදුල අගේට තියා ගත්තාය. නැවුම් පස නිසා මලුත් එළවළුත් හොඳින් වැවුනේය.


දිනක් මාර්ටින් මහත්තයට කොළඹ එන්නට සිදු වූයෙන් රෑ නවාතැන් ගන්නට ඔහු අපේ නිවසට ආවේය. රාත්‍රී ආහාරය සප්පායම් වී මගේ පියාත් ඔහුත් සුරුට්ටු දල්වාගෙන අල්ලාප සල්ලාපයේ යෙදී ඉන්න අතර මාර්ටින් මහත්තයා සාලයේ ජනේලයෙන් පිටත බැලුවේය. 
එකවර ඔහුගේ නෙත ගැටුණේ අපේ අම්මාගේ මිරිස් වගාවයි. ‘‘මේ ගෙදරට මිරිස් නම් සල්ලි දීල ගේන්න ඕන නැහැ.’’ ඔහු කීවේය. 


ඊළඟ දවසේ උදෑසන සියලුම මිරිස් පැළ මැලවී තිබිණි. ටික දිනක් යද්දී මිරිස් පැළ එකක් නෑර වියළී කළු ගැහී මැරී ගියේය. මේ වන විට අවුරුදු 103 ක වයසේ පසුවන මගේ මව ඉන්පසු එම ගෙවත්තේ එකම මිරිස් පැළයක් හෝ හරි නොගිය බව තවමත් කියන්නීය.


මාර්ටින් මහත්තයාගේ ඊළඟ කතාව 1956 සිදු වූවකි. ආනන්ද නාලන්ද සුලෝහිත මහා සංග්‍රාමය පැවති දා ලාබාල ආනන්දීයකු ලෙස මම ද ඕවල් පිටියේ ක්‍රිකට් තරගය නරඹමින් සිටියෙමි. මගේ ඥාති සොයුරු සොයුරියෝ හික්කඩුවට වී රේඩියෝවේ ක්‍රීඩා විස්තර ප්‍රචාරයට සවන් දෙමින් සිටියහ. මාර්ටින් මහත්තය එවෙලේ මගේ ඥාති සොයුරන් සමග ක්‍රිකට් විස්තර ප්‍රචාරය අසමින් සිටියේය.


නාලන්දාවේ චන්ද්‍රසිරි වීරසිංහ දක්ෂ පිති හරඹයක යෙදෙමින් එවෙලේ වේගයෙන් ලකුණු රැස් කරමින් සිටියේය. දිවා ආහාරයෙන් පසු චන්ද්‍රසිරි ඉහළම ලකුණු ලබා ගනිමින් ලකුණු 94 ක් ලබා පිති හරඹයේ යෙදෙමින් සිටියේය. ක්‍රිකට් විස්තර ප්‍රචාරය අසමින් සිටි මාර්ටින් මහත්තයා මෙසේ කීවේය. ‘‘මූ තවමත් ගහනවානේ’’ ඔහු කීවේ එපමණය. ඊළඟ පන්දුවෙන් චන්ද්‍රසිරි වීරසිංහගේ විකට්ටුව බිඳී ඔහු දැවී ගියේය.


අවුරුදු ගණනක් ඉක්මගිය පසු චන්ද්‍රසිරි වීරසිංහ මුණගැසුණු විටෙක මේ කතාව මම ඔහුට කීවෙමි. තමාගේ ශතකය කොල්ල කෑ එම කතාව අසා ඔහු සළිත වූයේය.


මේ කතාව අප හඳුනාගෙන සිටි මියගිය ගුරුවරියක ගැනයි. ඇයට ද තිබුණේ කටවහ ඇති මුව පොඩිත්තකි. ඇයත් ඇගේ සැමියාත් අප පවුලේ අය හොඳින් හඳුනා සිටි බැවින් නිතර අපේ ගෙදර ඇවිත් යන්නට පුරුදුව සිටියාය. ඒ මැද පන්තියේ පවුල්වල උදවිය සිසිල් ශීතකරණ තම නිවෙස්වල පරිහරණය කරන්නට පටන්ගත් කාලයයි. අපට ද රෝස පැහැති සිසිල් ශීතකරණයක් තිබිණි. අපි එය අවුරුදු විස්සකටත් වඩා කල් පාවිච්චි කළෙමු. එක් දිනක් ඉහත කී ගුරුවරිය සහ ඇගේ සැමියා අපේ නිවසට ආ අවස්ථාවක ඇය අපේ සිසිල් ශීතකරණය දුටුවාය.  


තාමත් අලුත් වගේ ඇය කීවාය. ඊළඟ දා උදෑසන අප ඇහැරී බලන විට සිසිල් ශීතකරණයේ (පින්තාරුව) පේන්ට් ඉරිතලා ගැලවී යමින් තිබිණි. අන්තිමේ අපට එය නැවත පේන්ට් කිරීම සඳහා යවන්නට සිදු විය. 
ගාමිණි විමලසූරිය – කොළඹ.