යුක්රේනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු සෙසු යුරෝපා රටවල් සහතිකයක් දෙන්නේ නම් සහ රුසියාව සමඟ සටන් විරාමයකට යෑමට හැකියාව ඇති නම් දිනෙන් දින ප්‍රමාද වුණු ජනාධිපතිවරණය පැවැත්විය හැකි යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

බටහිර හිතවාදී සෙලෙන්ස්කී, යුක්රේනයේ ජනාධිපති ධුරයට පත්වූයේ 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයෙනි. යුක්රේන ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකි. කෙසේ නමුත් රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් රටේ හමුදා නීතිය ක්‍රියාත්මක වෙයි.

යුදමය තත්ත්වයක් යටතේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නම්, පාර්ලිමේන්තුවේ විශේෂ අවසරයක් ඊට ලැබිය යුතුය.

යුක්රේනයේ ආරක්ෂාව තහවුරු කිරීමට යුරෝපා රටවල් ඉදිරිපත් වන්නේ නම් හෝ රුසියාව සටන් විරාමයකට එකඟවන්නේ නම් යුක්රේන ජනාධිපතිවරණය පැවැත්විය හැකි යැයි සෙලෙන්ස්කී පැහැදිලි කළේ, යුද්ධය හේතුවෙන් කල් ගිය ජනාධිපතිවරණය හැකි ඉක්මනින් පවත්වන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ රජය, දිගින් දිගටම යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට බල කිරීමත් සමඟය.