සිවුදින ඉන්දීය සංචාරය නිමා කිරීමෙන් පසු, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ආර්මේනියාව බලා ගියේය. ආර්මේනියාව යනු ඇමෙරිකන් හිතවාදී, මධ්‍යම ආසියානු රාජ්‍යයකි.

ආර්මේනියා විදේශ අමාත්‍ය අරරත් මීර්සෝයන් සහ ආර්මේනියානු රජයෙන් රූබියෝ සහ බිරිඳට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

රූබියෝ සහ බිරිඳ ජැනෙට් රැගත් ඔවුන්ගේ නිල ගුවන් යානය පැමිණියේ ආර්මේනියාවේ ස්වර්ත්නොට්ස් ගුවන්තොටුපොළටය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රූබියෝ සහ ආර්මේනියානු විදේශ අමාත්‍ය අරරත් මීර්සෝයන් උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමකට අත්සන් තැබූහ. දකුණු ආර්මේනියාව හරහා දිවෙන කිලෝමීටර් 43 ක යෝජිත සංක්‍රමණ කොරිඩෝවක් සම්බන්ධයෙන් සහයෝගීතා ගිවිසුමකට ද අත්සන් තැබීම මෙහිදී සිදුවිය.

තව සති දෙකකින් ආර්මේනියාවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය. ඒ අනුව, මෙම නව ගිවිසුමට අත්සන් තැබීම සිදුවූයේ මැතිවරණයට ඔන්න මෙන්න තිබියදීය.

ආමේනියාව රුසියාවට ආසන්නයෙන් පිහිටයි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමග පවතින සබඳතා ශක්තිමත් කරගැනීමට එරෙහිව රුසියාව අප්‍රසාදය පළ කර ඇත. ඇමෙරිකාව සහ බටහිර රටවල් සමදු සබඳතා අත්නොහරින්නේ නම්, රුසියානු ගෑස් සඳහා ගෙවන මිල ඉහළ නංවන බවට රුසියාව තර්ජනය කර තිබේ. රූබියෝ නිල සංචාරයක් සඳහා ආර්මේනියාව බලා ගියේ එම තර්ජන හමුවේය.

ආර්මේනියා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ ලබන ජූනි 7 වැනිදාය. ආර්මේනියාවේ වත්මන් අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන්නේ නිකොල් පාෂින්යාන් ය. අග්‍රාමාත්‍ය පාෂින්යාන් සහ ඔහුගේ පක්ෂයට අභියෝගයක් එල්ල වන්නේ රුසියානු හිතවාදී විපක්ෂ සන්ධානයෙනි.