ගෙවූයෙමි මුළු ගිම් සමයක්ම
සවන් දෙමින් ඒ ගීතයට.
විඳි  හැඟුම  වියැකී නොයන්නට
ඇසූයෙමි  ගීය  දිනකට වරක්.
දැනුණ හොත්  කුසගිනි, ගියෙමි ඇවිදින්නට

ආලෝකය ගැයුවා ඒ ගීය, තම රටාවට
එලෙසින්ම සයුරද, කුරුල්ලාද
එක් මොහොතකදී  සිතීමි මම :
මෙසියල්  මෙලෙසින් සිදු වන්නේ
මා පෙමක පැටලෙන්නට වෙන්නැති.

එවිට ගිම්හානය යන්නට ගියේය.
ගසක අත්තකටත් වඩා වියළිව, කුරුල්ලා
විවර නොකළේය සිය තුඩ යළිත්

කියුබානු  කිවි ඇන්ටෝනියෝ හොසේ  පොන්ටේ ලියූ  Song පද්‍යයේ පරිවර්තනය 

ඇන්ටෝනියෝ කවියා 1964දී  කියුබාවේ මැටන්සාස් හි ඉපිද, පළමුව ද්‍රවවිද්‍යා ඉංජිනේරුවකු ලෙස සේවය කළද, පසුව එය අතැර කලාවට නැඹුරුව, කතුවරයකු,  ලිපිරචකයකු, තිරපිටපත් රචකයකු ලෙසට කටයුතු කොට අවසන සාහිත්‍ය පිළිබඳ මහාචාර්‍යවරයකු බවට පත්ව ඇත්තේය. ඔහුගේ මුල්කාලයේ ලිපිරචනා හා කවි  1991 , 1995 වසරවල රාජ්‍ය සම්මානවලට පාත්‍රවීමෙන්ද පසු , හෙතෙම Cuban National Union of Writers and Artists සංවිධානයෙන්  2003දී නෙරපනු 2003  ලැබ ඇත. එතැන්  පටන් මොහුගේ කිසිදු ප්‍රකාශනයක්  කියුබාව තුළ පළවීමත්, කියුබාව  තුළ මොහු කිසිදු තනතුරක් දැරීමත්  නොසිදු විය.  කියුබාව ඇන්ටොනියෝ  කවියාට තහනම්වීම නිසා 2006 සිට ජීවත් වන්නේ මැඩ්‍රිඩ් නුවරය.  

යොවුන් වියේදී හවානා නුවරට පැමිණ පළ  කර ඇති 13 Poems  කෘතිය  Young Poets  Competition හිදී  ජය ලබා ඇත. 2002දී මැඩ්‍රිඩ් නුවරින් Smuggling in Shadows නවකතාව පළ කිරීමත්, රොටර්ඩෑම්හි පැවති අන්තර්ජාතික කාව්‍ය උළෙලට  සහභාගිවීමත් කවියාගේ ජීවදත්ත අතරේ සඳහන් වේ.