ඔබේ නොපැහැදිලි ඇස් තුළ
නිදන්නේ කාගේ මරණීය සුසුම්ද?

ඔබේ ගිනිඅවියේ කොකා ඉදිරියේ හිස්වන්නේ
කුමන කුඩා ළමයාගේ බැල්මද?

ඇගේ හද ඔබ අත්ල මත ඇති
ලෙයින් වැකි දෙපා යුතු
කවර යුවතිය වෙනුවෙන්ද
ඔබේ හද ගැහෙන්නේ?

කඳුකරයේ මිනිස,
ඔබේ පා යට ඇති ගිරිහිස්
ඉරා දමන්නේ කවර ඉරණමද?

කැරලි ගැසුණු ඔබෙ කෙස්වලින්, දූවිල්ලේ
සිය තනපුඩු දැවෙනු හඟින්නේ
කවර ගැහැනියද?
සිය පුතු වෙනුවෙන් කවර මවද?

කියන්න මට,
ඔබේ මියැදෙන හුස්ම 
සාමය ලබන්නේ 
කාගේ නෙත්වල ගැඹුරේද?

ඇෆ්ගනිස්තාන කිවිඳි Shakila Azizzada  ලියූ  Epitaph පද්‍යයේ පරිවර්තනය 

1964දී කාබුල් නගරයේ ඉපදී ඇති ශකිලා මධ්‍යම පාසල් සමයේ හා විශ්වවිද්‍යාල සමයේ සිට කෙටිකතා, කවි ලිවීම අභ්‍යාස කර ඇත්තීය. ඇගේ මව්බස වන Dari බසින් ලියන අන් කිවිඳියන්ගේ අවධානයට ලක් නොවන, කාන්තා අභිලාෂ  බඳු තේමාවන් ගැන ශකිලා ලියන කවි, අවංකබව ,සමීපතාව නිසා අසාමාන්‍ය ගුණයෙන් යුතු බව විචාරකයන්ගේ මතයයි.

කාබුල් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලැබ, පසුව නෙදර්ලන්තයේ Utrecht  විශ්වවිද්‍යාලයෙන් පෙරදිග භාෂා හා සංස්කෘතින් පිළිබඳ උපාධියක් ලද ශකිලා දැන් ජීවත් වන්නේද  නෙදර්ලන්තයේය. කතන්දර , කෙටිකතා , කවි, නාට්‍ය බහුලව පළ කරන කිවිඳියගේ පළමු කාව්‍ය එකතුව Dari  හා Dutch යන දෙබසින්ම පළ වී ඇත. 2012දී දෙවැනි කවි එකතුවක්ද නිකුත්ව ඇත.

නෙදර්ලන්තයේ මෙන්ම වෙනත් රටවලත් රසික පර්ෂද ඉදිරියේ සිය කවිගැයුම් ඉදිරිපත් කිරීම මේ කිවිඳිය නිතර සිදු කරන්නීය.