දවසක් මම ගෙයක් දුටිමි
එය ගින්නට හසුව තිබිණි
රත්පැහැගත් ගිනි ජාලා
එහි පියසින් උසට නැගුණි

එහි තුළ මම දනන් දුටිමි
දොර හැර හඬගා ඔවුනට
පිටවෙන්නැයි මම කීවෙමි.
එහෙත් එදන සැලුණේ නැත
හදිසි බවක් පෙන්වු⁣යේ නැත 
එක් අයකුගේ රැවුල පවා 
පිලිස්සෙද්දි ඔහු ඇසුවේ,

ගෙයින් පිටත මීට හොඳ ද? 
වැසි වසී ද?
සුළඟ තද ද?
දැවෙන නිවස දමා ගොසින් 
ඉන්න ගෙයක් තියනවාද?

,මෙවැනි ප්‍රශ්න රාශියක් ය.

මම පිළිතුරු නො දී ඔහුට,
නැවත වරක් වුණෙමි, නිහඬ.

මට සිතුනා මේ දරුවන් නගන ප්‍රශ්න නවත්වන්නෙ ගින්නෙන් නැසුනා ම කියා

" සත්තකින් ම ප්‍රිය දරුවනි 
යම් මිනිසකු පොළෝතලේ
තැබූ දෙපා දැවෙන තුරා
වෙන තැනකට නො යාවි නම්
ඒ දන හට සරණ යන්න
බණක් නැති ය මට කියන්න... "

- බර්ටොල් බ්‍රෙෂ්ට් 
(බුදුන්වහන්සේගේ උපමා කතාවක් ඇසුරිනි  )
පරිවර්තනය : මහාචාර්ය කාලෝ ෆොන්සේකා