මනුවගේ තොටිල්ල
ආත්මයේ " බයෝබැබය "*
ඔබේ තණබිම්වල හා
ශුද්ධ වනාන්තරවල 
මරණයේ නර්තන 

ඔබට ඇසෙයි
මාතාවගේ වලප, එහි දෝංකාරය 
දියමන්ති බෙදාහැර
යුදටැංකි ලබන මාතාව

දශක කල් පුරා
වෘද්ධයන් මුණගැසුණු 
ඕ! මියැදෙන භූමිය
පරම්පරාගත නිදන්
තබාගෙන  සිටිනා වෘද්ධයන්

ත්‍යාගශීලි අප්‍රිකානු මාතාවට
අරුණලු උදා වන්නේ කවර කල?

*බයෝබැබ් (biobab) -  දිගුකල් පවතින අප්‍රිකානු ගසක්.

එරිත්‍රියානු කිවිඳි රිබ්කා සිබාටු ( Ribka Sibhatu )  ලියූ Mother Africa පද්‍යයේ  පරිවර්තනය .

ටිග්‍රිනියා හා ඉතාලි යන භාෂාවලින්  ලියන රිබ්කා සිබාටු , එරිත්‍රියානු ලේඛිකාවක  හා කිවිඳියක වෙයි. එරිත්‍රියාවේ Asmara නගරයේදී 1962 සැප්: 18වැනි දින ඉපදුණු රිබ්කා , ඉතියෝපියානු නිලධාරියෙකු සමඟ විවාහවීම ප්‍රතික්ෂේප කිරීම නිසා 1979දී වසරක සිරදඬුවමක් විඳ ඇත . 1980දී රටින් පලා යන රිබ්කා පළමුව ඉතියෝපියාවටත් , එතැනින් ප්‍රංශයටත් යන්නීය. 1985දී ප්‍රංශ ජාතිකයකු හා විවාහ වන නමුත් , ඒ විවාහය බිඳ වැටීමෙන් ඇය ඉතාලියට ගොස් රෝමයේ පදිංචි වූවාය. එහිදී ආචාර්ය  උපාධියක්  ලබාගන්නා රිබ්කා , රෝම නගර කවුන්සිලයේ හා ඉතාලි  අධ්‍යාපන අමාත්‍යාංශයේ  සේවය කර ඇත. භාෂා 5ක් කතා කිරීමේ හැකියාව ඇති මේ කිවිඳිය වර්තමානයේ පුහුණුකාරිනියක , උපදේශිකාවක හා භාෂා පරිවර්තිකාවක ලෙස සේවය  කරන්නිය. කෘති කීපයක්  මුද්‍රණයෙන්  පළ කොට ඇත .