ශ්‍රී ලංකා ඉතිහාසය දෙස හැරී බැලීමේදී බන්ධනාගාර තුළ ඇති වූ දරුණු ගනයේ කැරලි සහ රැඳවියන් අතර ඇති වූ ගැටුම් කිහිපයක්ම වාර්තා වී තිබේ. මෙම සිදුවීම් බොහෝමයකට පසුබිම වී ඇත්තේ බන්ධනාගාර තුළ පවතින තදබදය, පහසුකම් අවම වීම, රැඳවියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලු මෙන්ම ඇතැම් දේශපාලනික හෝ අපරාධ කල්ලි අතර පවතින ආරවුල්ය.

​වැලිකඩ බන්ධනාගාර සමූහඝාතනය (1983 ජූලි)

​ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ බියකරුම සහ වැඩිම පිරිසක් මියගිය බන්ධනාගාර ගැටුම ලෙස මෙය ඉතිහාසයට එක්ව තිබේ. 1983 ජූලි කළු ජූලි වාර්ගික අර්බුදය සමයේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි අනෙකුත් රැඳවියන් පිරිසක් විසින් දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසකට එල්ල කළ දරුණු ප්‍රහාරයක් හේතුවෙන් මෙය සිදු විය.1983 ජූලි 25 සහ 27 යන දෙදින පුරා පුරා පැවැති මෙම ගැටුම් නිසා මියගිය සංඛ්‍යාව 53 කි. ප්‍රකට තංගතුරෙයි සහ සෙල්වරාජ් පද්මනාභන් (කුට්ටිමනි) වැනි දෙමළ සිරකරුවන් ද මෙහිදී ඝාතනයට ලක් විය.

 

මහර බන්ධනාගාර කැරැල්ල (2002)

​රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට දැරූ උත්සාහයක් සහ බන්ධනාගාර නිලධාරීන් එය වැළැක්වීමට කටයුතු කිරීම අතරතුර මෙම ගැටුම හටගත්තේය.2002 වර්ෂයේදී පැවැති මෙම ගැටුමෙන් රැඳවියන් 4 දෙනෙකු මියගිය අතර නිලධාරීන් ඇතුළු පිරිසක් තුවාල ලැබූහ.

 

වැලිකඩ බන්ධනාගාර ගැටුම (2012 නොවැම්බර්)

​බන්ධනාගාරය තුළ නීතිවිරෝධී භාණ්ඩ සහ අවිශේෂ සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකට රැඳවියන් විරෝධය පෑමත් සමඟ මෙම දරුණු ගැටුම හටගත්තේය. රැඳවියන් බන්ධනාගාර අවි ගබඩාව බිඳ ආයුධ අතට ගැනීම නිසා තත්ත්වය පාලනය කිරීමට හමුදාව සහ විශේෂ කාර්ය බලකාය දැඩි බලප්‍රහාර එල්ල කළේය.2012 වර්ෂයේ නොවැම්බර් 9 - 10 දෙදින තුළ මෙම ගැටුම් නිසා රැඳවියන් 27 ක් මියගිය අතර එහිදී බන්ධනාගාර නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු 40කට අධික පිරිසක් තුවාල ලැබූහ.


 

​අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන්තාව (2020 මාර්තු)

​කොවිඩ්-19 (Covid-19) වසංගතය මෙරට පැතිර යාමත් සමඟ බන්ධනාගාර තුළ ඇති විය හැකි අවදානම සැලකිල්ලට ගෙන තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරුණහ. ඔවුන් බන්ධනාගාරයේ දේපළවලට ගිනි තබමින් පලා යාමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ වෙඩි තැබීම්ද සිදු කළහ.මෙම ගැටුම් නිසා රඳවියන් දෙදෙනෙක් මියගිය අතරින් තවත් රැඳවියන් හය දෙනකු තුවාල ලැබූහ. මෙම සිදුවීම වාර්තා වන්නේ 2020 මාර්තු මස විසි එක්වන දිනය. 

 

​මහර බන්ධනාගාර කැරැල්ල (2020 නොවැම්බර්)

​ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ මෑතකදී සිදු වූ තවත් දරුණුතම කැරැල්ලකි. කොවිඩ්-19 ආසාදිත රැඳවියන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ තමන්ට පී.සී.ආර්. (PCR) පරික්ෂණ සිදු කරන ලෙස සහ ඇප ලබා දෙන ලෙස ඉල්ලා රැඳවියන් විරෝධතාවල නිරත විය. පසුව එය රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් සහ බන්ධනාගාර නිලධාරීන්ට එරෙහි කැරැල්ලක් දක්වා වර්ධනය විය. රැඳවියන් විසින් ඖෂධ ගබඩාව බිඳ එහි තිබූ මානසික රෝග සඳහා දෙන ඖෂධ අධිමාත්‍රාවලින් භාවිත කිරීම නිසා කලහකාරීත්වය උච්චතම අවස්ථාවට පත් විය.2020 වර්ෂයේ නොවැම්බර් මස 29 සහ 30 යන දෙදින තුළ සිදු වූ මෙම ගැටුමෙන් රඳවියන් එකොළොස් දෙනෙක් මියගිය අතර 100කට අධික පිරිසක් තුවාල ලැබූහ. 

බන්ධනාගාර තුළ මෙවැනි ගැටුම් ඇති වීමට හේතු

අධික තදබදය

 ලංකාවේ බන්ධනාගාරවල රඳවා තැබිය හැකි ධාරිතාවට වඩා තුන් හතර ගුණයක රැඳවියන් පිරිසක් රඳවා සිටීම.

පහසුකම් අවම වීම

සෞඛ්‍ය, ආහාර සහ සනීපාරක්ෂක පහසුකම් නිසි පරිදි නොලැබීම නිසා ඇති වන මානසික පීඩනය.

මත්ද්‍රව්‍ය සහ අපරාධ කල්ලිවල බලපෑම

බන්ධනාගාර තුළ සිටින විවිධ සංවිධානාත්මක අපරාධ කල්ලි (Underworld Gangs) අතර පවතින පෞද්ගලික වෛරය සහ බලය අල්ලා ගැනීමේ තරඟය.

නීතිමය ප්‍රමුඛතාවල ප්‍රමාදය

සැකකරුවන් දිගු කලක් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම සහ නඩු විභාග ප්‍රමාද වීම නිසා රැඳවියන් තුළ ඇති වන කලකිරීම.

​ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ක්‍රමවේදය "පුනරුත්ථාපනය" අරමුණු කරගත්තක් වුවද, මෙවැනි අවාසනාවන්ත සිදුවීම් මඟින් පෙනී යන්නේ බන්ධනාගාර පද්ධතියේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන්හි ඇති දැඩි අවශ්‍යතාවයයි.මේ නිසා බන්ධනාගාර ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් දැඩි ලෙස අවශ්‍ය බව 2026.07.06 දින මීගමු බන්ධනාගාරය  තුළ සිදුවූ මහා ඛේදවාචකයෙන් පැහැදිලි විය.

 

D.N.අභයවර්ධන.