
කොරෝනා මාරාන්තික වයිරසය යම් පමණකට පාලනයවීම සැලකිල්ලට ගනිමින් ඉකුත් 20 වැනිදා දිස්ත්‍රික්ක 18ක ඇඳිරි නීතිය නිශ්චිත කාලසීමාවකට තාවකාලිකව ඉවත් කෙරුණු අතර, ඒ අවසරයෙන් මත්පැන් හල් ද විවාත කෙරුණි. ඉකුත් 21 වැනිදා පෙරවරුවේ රජය යළිත් තීරණය කරනු ලැබූවේ එසේ විවෘත කළ මත්පැන් හල් යළිත් දැනුම් දෙන තුරු වසා දමන බවය. මත්පැන් හල් විවෘත කිරීමත් සමඟ ඇතැම් පළාත්වල ඇතැම් පුද්ගලයන්ගේ අපරීක්ෂාකාරී හැසිරීම් එම තීරණයට බලපා ඇති බව ද ප්‍රකාශ වේ.
මත්පැන් යනු අත්‍යවශ්‍ය හෝ අවශ්‍ය හෝ යමක් නොවන බව ඒකාන්ත සත්‍යයකි. එයින්ම කියැවෙන්නේ මත්පැන් යනු අනවශ්‍ය දෙයක් බවය. ශරීර සෞඛ්‍යයට අහිතකර වීම, මත්පැන් පානය කිරීම නිසා අශිෂ්ට, අවිනීත හා අනීතික හැසිරීම්වලට යොමුවීම, ධන හා දේපළ හානිය මෙන්ම කීර්ති නාමයට කැළල්වීම ආදී කාරණා මුල් කර ගනිමින් මත්පැන්වලට එරෙහි දැවැන්ත විරෝධයක් පවතින හෙයින් මත්පැන් හල් වසා දැමීම සම්බන්ධයෙන් විරෝධයක් පැන නැඟීම සාධාරණය.
සමාජයක් විවිධවන විට, සංකීර්ණ වනවිට එම සමාජයේ වෙසෙන විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතා සංසිඳුවීම පිණිස රජය මගින්ම බලපත්‍ර නිකුත් කරමින් මත්පැන් හල් පවත්වාගෙන යාමට අවසර ලබාදී තිබේ. එය එක් අතකින් රජයට විශාල ආදායමක් ලැබෙන මාර්ගයක් ද වීම තවත් හේතුවකි.
මත්පැන් යනු බියර්වලින් ආරම්භ වී හෙරොයින්, මරිජුවානා ආදී විස මත්ද්‍රව්‍යවලට පෙළඹෙන විනාශකාරී මාවතේ හමුවන එක් දියරමය පානයකි. බුද්ධ කාලයේ පවා සෝමපානෝත්සව තිබූ බව ද සඳහන්ය. බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණියේ රා කළ සොළසක් බී කුලප්පු වූ නාලාගිරි හස්තිරාජයා බව ද බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. බුදු දහමේ දැක්වෙන නොකළ යුතු වෙළෙඳාම් අතර විස මත්ද්‍රව්‍ය විකිණීම ද සඳහන්ය.
කාරණාව එයම නොවේ. මසක් පමණ කලක් පැවැති ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මත්පැන් හල් විවෘත විය. ඒ මොහොතේ අප සමාජයේ ඇතැමකුගේ හැසිරීම්වලින් සමාජ අභ්‍යන්තරයේ එක් පැතිකඩක් විද්‍යමානවීමය. එක් දරුවකුගේ සටහනක් මුහුණු පොත හරහා වේගයෙන් සංසරණය විය. එම සටහනෙන් කියැවුණේ නිවෙසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීම සඳහා රජයෙන් ලබාදුන් රුපියල් 5000 රැගෙන නගරයට ගිය තාත්තා වැනි වැනී ගෙදර ආවා මිස ගෙදරට කිසිවක් රැගෙන නොආ බවය. ‘අද අපි බඩ ගින්නේ’ ඒ දරුවා එහි සඳහන් කර තිබිණි.
කෙනකුගේ හැසිරීම තීරණය වන්නේ එම පුද්ගලයාගේ බුද්ධි මට්ටමට අනුව බව ඉතා පැහැදිලිය. ‘විද්‍යා දදාති විනයං’ යනුවෙන් දක්වා ඇති පරිදි විද්‍යාවෙන් හෙවත් අධ්‍යාපනයෙන් ලබා දෙන්නේ විනය වේ. විනය යනු පුද්ගල චර්යා පාලනය කිරීමය. අවිචාරයට නොයා විචාරයට යෑමය. අශිෂ්ටත්වයෙන් මිදී ශිෂ්ටත්වයට අනුගතවීමය. අනීතික බවින් මිදී නීති ගරුක වීමය
පිහිය පාන්, එළවළු කැපීමට මෙන්ම කෙනකුට ඇනීමට ද පාවිච්චියට ගත හැකිය. එය තීරණය කරනු ලබන්නේ පිහිය නොව පිහිය අතට ගත් පුද්ගලයාය. මිනිසා බුද්ධිමත් විය යුත්තේ එනිසාය. රටේ පවතින තත්ත්වය එයට හිමි නිසි අයුරින් හඳුනාගෙන එයට ගැළපෙන පරිදි සිය චර්යා සකස් කර ගැනීම බුද්ධිමත් මිනිසාගේ බුද්ධිමත්කම විදහාපාන්නකි. එසේ නොවන්නා තමන් අභිමත පරිදි හැසිරී තමනුත් විනාශ වී රටත් විනාශ මුඛයට ඇද දමයි. එබන්දකු ප්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන මිනිස් බෝම්බයකින් කිසි ලෙසකින් හෝ වෙනස් නොවේ.
ලෝක වසංගත උවදුර හමුවේ අප රට ද බරපතළ හා තියුණු අනතුරකට මුහුණ පා සිටින බව ඒකාන්ත සත්‍යයකි. මෙම උවදුරට තවමත් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් සොයා ගැනීමට අසමත්වීමෙන්ම උවදුරෙහි තියුණු බව පැහැදිලි වෙයි.
මෙම කොරෝනා මාරාන්තික උවදුරට ඇති නොවරදින සුළු එක් පිළියමක් වන්නේ ආරක්ෂාවීමය. සංචරණය සීමා කිරීමය. ඇඳිරි නීතිය පැණවීමේ අරමුණ ද එයමය. එහෙත් ඇඳිරි නීතිය ලිහිල්වීමත් සමඟ බාර් ඉදිරිපිට දිග හැරුණු මිනිස් පෝලිමෙන් කියැවෙන්නේ විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන ගැනීමට ඔවුන් සූදානම් නැති බවය.
තීන්දු තීරණ ගත යුත්තේ රටේ හෙට දවස සැලකිල්ලට ගෙනය. කුමන ආකාරයෙන් වූව ද ජීවත්වීමට රට ඉතිරි වී තිබිය යුතුය. ඒ වෙනුවෙන් දායකවීමේ පරම වගකීමත් ජනතාව සතුය. ඒ වෙනුවෙන් ඔවුන් කළ යුත්තේ සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත්වලට යටත් වීමය. එය හැර අන් විකල්පයක් ඇත්තේම නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්පැන්වලට ඇබ්බැහි වුන අයට ආගමක් ජාතියක් කියල බේදයක් නැහැ. ලංකාවේ ගම්වල සවස් වෙනවිට බොහෝ දෙනෙක් හොදටම බිමත්වයි ඉන්නෙ. ගම්වල සමහර ගම්වල බේබද්දෝ මුලුගමටම ඇසෙන්න පරුෂවචන කියනවා...
අපේ රටට මත්පැන් අවශ්‍ය නැත. එය තහනම් කරනවා නම් නම් බොහෝ දෙනෙක් කැමතිය....
මෙච්චර බුද්ධිමත් ආණ්ඩුව ඇයි සුරාසල් ඇරියේ? චන්දෙට කලින් බෙබද්දෝ තරහ වෙයි කියලා බයටද?
රජය තීන්දු තීරණ ගත යුත්තේ රටේ හෙට දවස සැලකිල්ලට ගෙනය. රජය එසේ ගෙන ඇති එක තීන්දුවක් නම් අත්‍යවශ්‍ය බොහෝ ස්ථාන වසා තිබියදීත් මත්පැන් හල් විවෘත්ත කිරීමට රජයේ නායකයන් ක්‍රියා කිරීමය. කුමන ආකාරයෙන් වූව ද ජීවත්වීමට රට ඉතිරි වී තිබිය යුතුය. ඒ වෙනුවෙන් දායකවීමේ පරම වගකීමත් ජනතාව සතුය. පොහොට්ටු පක්ෂයට නායකත්වය දෙන වර්තමාන පාලකයාගේ සහ දෙවනියාගේ පොහොට්ටු මන්ට්‍රිවරුන් රුපියල් 5000 හෝ වෙනත් බඩු මලු බෙදන්නේ පොහොට්ටුවේ ලාංචනය සහිත කුමක් හෝ ඇදුමක් සහිතවය. එසේ නොමැතිනම් ඔවුන් ජනතාවට කියන්නේ "ලෝකයේ කිසිම රටක "ජනතාවට මුදල් සහ බඩු මෙවැනි ආකාරයට ලබා නොදුන්නත් ලංකාවේ ජනාධිපතිවරයාගේ උපදෙස්මත මේ බෙදීම් කරන්නේ ලංකාවේ පමණක් ම කියාය. රජයේ නායකයන් දැනුවත්ව මෙවැනි පහත්ම මට්ටමේ ක්‍රියාවන් සිදුවෙද්දී රජයේ නායකයන් කතා නැත. මෙයට ඕනෑතරම් උදාහරණ තිබේ. දුරකතන පක්ෂයේ නායක සජිත් සහ ඔහුගේ කල්ලිය මැතිවරණයක් එනතෙක් බලා සිටි. හිටපු අගමැතිවරයා අද මන්ත‍්‍රීවරයෙකි. "ගෙදරට බඩු ගන්න දුන් පන්දාහත් අරන් බොන්න ගිය තිරිසන්නු " සිටිනවා නම් එම මුදල් නිවසේ සිටින ගෙහිමි කාන්තාවට ලබා නොදෙන්නේ මන්ද ?
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත‍්‍රවාදය අනුගමනය නොකරන සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත‍්‍රවාදයට බියක් දක්වන නායකයන් සිටින රටක මෙවැනි සිදුවීම් සිදුවේ.
නිදහසෙන් පසුව සමාජයේ කඩා වැටීම තමයි මේ පෙනෙන්නේ . පාර්ලිමේන්තුව කිසිම විනයක් නැතිව හැසිරෙනකොට කොහොමද සාමාන්‍ය මිනිසුන්ගෙන් සංවර භාවය බල පොරොත්තු වන්නේ? මෙම සිද්දි නිසා කවදත් දුක් විඳින්නේ ගැහැණිය සහ පොඩි දරුවන් .
බොන්න ගිය තිරිසනුන්ට අමතරව බාර් ඇරිය තිරිසනුන් ගැනත් කතා කල යුතුයි.
රටේ මිනිස්සු පෝලිමේ ගිහින් ජනපති පත්කර ගත්තේ සුර පානයට සහ ගෘහස්ත හිංසනයට පාර කපන්න නොවෙයි. චන්ද ගුණ්ඩු විදියට දෙන මේ 5000/= අඩු තරමින් ද්‍රව්‍යමය වියලි ආහාර මිලට ගැනීමක් වගේ දෙයක් හරහා සිද්ධ කලානම් මෙතරම් හානියක් වෙන්නේ නැහැ. බොහෝ තැන්වල කෙලින්ම බෝතලේට.
ඉතින් හාමුදුරුවනේ.... ඔය මත්පැන් නිපදවන බාර් ගොඩක් හිමි අපේ පාර්ලිමේන්තුවේ ඇත්තන්ටමනේ නොවැ....! ඒ අය මේ කොරෝනා වසංගතේ ඉවරකරලා අපිව මාරයාගෙන් බේරාගන්න ඉන්න අය නොවැ... ඒ හින්දා උන්නාන්සේලාටත් අපි උදව්වක් කරන්න එපායෑ...
සුරාහල් බලපත්‍ර වැඩිහරියක්ම තියෙන්නේ දේශපාලන උත්තමයන්ට සහ ඔවුන්ගේ පිරිසටය. ලොකුම ඉස්කාගාර තියෙන්නේ කාටද ? මහත්තුරුනි, නිකම් වැදී බන කියන්න එපා. මත්පැන් පානය රටට මේ තරමටම ව්‍යාප්ත කලේ දේශපාලුවන් විසින් බව ඔබට පෙනෙන්නේ නැද්ද?ලොකුම අරක්කු නිෂ්පාදකයන්ව ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවන්නේ ඔයාලාම නේද? මේක ලෝක විහිළුවක්නේ.
සුරාබදු දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ නෙවෙයිද? හරියට හොයලා බලලා කතා කරන්න.
බොන්න වෙන්න බැහැ. වෛරසය මර්ධනය කිරීමට උගුර හෝදන්න වෙන්න පුලුවන්.
මත්පැන් සිගරට් කියන්නේ ඒවා භාවිතයට ගන්න අයට අත්‍යාවශ්‍ය භාණ්ඩයක්, ඒවා තහනම් භාණ්ඩ නෙවේ, අපේ වැරැද්ද ලිමිට් එක තියාගන්නේ නැතිව නාන්න යන එක, මේ රටේ කවුද හරියට බොන්න දන්නේ , කුණු වෙනකම් බීල ගෑණිට ගහන්න නම් දන්නවා. බාර් වහන්න නෙවේ තියෙන්නේ බාර් කීපර්ලට කියල දෙන්න එක අයෙක්ට මේ ගානට වඩා විකුනන්න එපා කියල, වෙන කරන්න දෙයක් නැහැ.
ඔතන ඉන්න සියයට අනූනමයක්ම සිංහළ හා දෙමළ මිනිස්සු. මුස්ලිම් අය ඔතන අඩුයි.
සල්ලි තියෙන, විස්කි, බ්‍රැන්ඩි ගෙදර ගෙනියලා බොන අය තිරිසන්නු නෙමෙයිද? දුප්පත් උනත් පොහොසත් උනත් බොහොමයක් මිනිසුන්ගේ අවශ්‍යතා එකයි. ඒක නිසා දුප්පත් මනුස්සයා තිරිසනෙක් කරන්න ඉස්සරවෙලා පොදු ක්‍රමයක අවශ්‍යතාව ගැන කතා කරන්න.
සති 5ක් ගෙදර හිටියා. එපා වුනා මිට වඩා හොඳයි මැරුණ නම් හිතෙනවා. අපි මෙහෙමනම් හිර ගෙවල් වල ඉන්න මිනිස්සු මැරි මැරී උපදිනවා ඇති. වැරදිනම් කරන්න එපා. 5000 හැමෝම බිව්වේ නැ සුළු පිරිසක්
ඊළගට ලෝකෙට එන කොරෝනාව මත්පැන් , සිගරට් , මස්මාංශ වලින් උනොත් අපේ කට්ටියට කුමක් වෙයිද ..?පව් අනේ දුප්පත් මිනිස්සුන්ට බීලා සතර අපායට යන්න තියෙන තැනත් නැති වෙලා අතරමන් වෙනවා .... අවුරුදු 72 ම අපිට මේ හෙනේ ගහලා තියෙන්නේ මේ බෝතලේ හින්දා කියලයි මට හිතෙන්නේ ?