කාල වර්ණ උත්තුංග දේහයකින්, ප්‍රතාපවත් පෙනුමකින් යුත් ශ්‍රේෂ්ඨ පුරුෂයකු වූ ‘‘බොරලුගොඩ රාළහාමි’’ නමින් හේවාගම් කෝරළයේ රජකු මෙන් වැජඹුණු දොන් ජාකොලිස් රූපසිංහ ගුණවර්ධනගේ වැඩිමහල් පුත්‍රයා වූ දොන් හෙන්රි (හැරී) රූපසිංහ ගුණවර්ධනගේ දියණිය වූ දෝන සුමිත්‍රා රූපසිංහ ගුණවර්ධන නොහොත් ‘‘සිංහල සිනමාවේ කිවිඳිය’’ ලෙස ප්‍රකට වූ සුමිත්‍රා පීරිස් මහත්මිය ඊයේ (19) වැනිදා සිය ජීවිතයෙන් සමු ගත්තාය.

බොරළුගොඩ පවුලේ මුලින් දේශපාලනයට පිවිසි සුමිත්‍රාවන්ගේ පියා වූ නීතිඥ හැරී ගුණවර්ධන 1931 සහ 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මහා මැතිවරණවලදී අවිස්සාවේල්ල ආසනයෙන් ෆොරෙස්ටර් ඔබේසේකරයන්ට පරාජය වී ඇත්තේ සුළු ඡන්ද ගණනකිනි. හැරීගේ බාල සොහොයුරන් වූ පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධන පසුව දේශපාලනයට එක් වූහ.

1935 මාර්තු 24 වැනිදා උපත ලැබූ සුමිත්‍රාවන්ගේ මව කොතලියා හැරියට් වික්‍රමසිංහ මහත්මියයි. අවිස්සාවේල්ල ශාන්ත මේරි විද්‍යාලයෙන් හා කොළඹ විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සුමිත්‍රා කුඩා කළ සිට විප්ලවකාරී චරිතයක් වූවාය. පිලිප් හා රොබට් බාප්පලා සමග දේශපාලන වේදිකාවේ කරක් ගැසූ යොවුන් වියේ ඇය පිලිප් බාප්පාගේ බිරිය වූ කුසුමා ගුණවර්ධන පුංචි අම්මාට ශක්තිය වූවාය. විවියන් ගුණවර්ධන නැන්දාට හා ලෙස්ලි ගුණවර්ධන මාමාට ශක්තියක් වූවාය.

විශාඛා විද්‍යාලයේදී ගුරුවරියන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නට බැරිවූ අවස්ථාවේ ඇය බැනුම් ඇසුවාය.
‘‘ඔයාට මොනව බැරි වුණත් සම සමාජය නම් කට පාඩම්. කාල්මාක්ස්ලා, ට්‍රොස්කිලා, ලෙනින් ගැන එහෙම.’’
ඉංග්‍රීසි සාහිත්‍යයට ඇලුම් කළ ඇයගේ ප්‍රියතම කවියා වී ඇත්තේ ඇමෙරිකාවේ ප්‍රකට කවියකු වූ ටී.එස්. එලියට්ය. විශාඛාවේ ඉංග්‍රීසි සාහිත්‍ය උගැන්වූ ගුරුතුමිය දිනක් ඇය කවි පන්තියක් කට පාඩමින් කියා ඒ ගැන රසවින්දනයක් කරන්න කීවාය. ඇය එලියට්ගේ කවියක් කියා ඇත.

‘‘වයසට වඩා උසස් කවි කටපාඩම්. වර්ඩ්ස්වත්, මිල්ටන්, ෂෙලිගේ කවි දන්නේ නැහැ නේද? නගිනවා බංකුව උඩට.’’
ඒ සිද්ධිය ඇය වරක් අපට පවසා තිබුණාය.

සුමිත්‍රාට සිනමාවට පෙම් බැඳීමට ඍජුව බලපෑවේ ගාමිණී අයියාය. ‘‘1953 පමණ කොළඹ එම්පයර් සිනමාහල අසල තිබූ නිපොන් සිනමාහලේ තිර ගත වූ මි.මී. 16 ප්‍රමාණයේ ලෝකයේ විශිෂ්ට චිත්‍රපට බලන්න මා රැගෙන ගියේ ගාමිණී අයියා. මට චිත්‍රපට රසවිඳින්න, චිත්‍ර අඳින්න යොමු කළේත් අයියා. මගේ ජීවිතයත් අයියා. හිටපු ගමන් මේ අයියා අතුරුදන් වුණා. වෙස්සන්තර රජ්ජුරුවෝ වගේ තමා සතු හැම දේම අපට ලියලා දීලා.

පස්සෙ ආරංචි වුණා ප්‍රංශ මිතුරන් සමග මෝල්ට් දූපතේ බෝට්ටුවක ජීවත් වෙනවා කියලා. එතකොට මගේ වයස අවුරුදු 20ක් විතර ඇති. මම අයියා ගැන තොරතුරු සොයාගෙන හිතුවක්කාර ගමනක් යන්න ලෑස්තිවෙනකොට පවුලේ අය ඇඬුවා. පුංචි කාලේ ඉඳලම මම හිතුවක්කාරයි, එඩිතරයි, විප්ලවකාරියි. හිතූ දේ කළා. ප්‍රංශයට යාමට ගමන් පත්‍රය සකස් කරගෙන ප්‍රංශයට ගිහින් එතැනින් ඉතාලියේ නේපල්ස් ගුවන්තොටුපළේදී අයියා හම්බ වුණා.’’

ප්‍රංශයේදී ප්‍රංශ භාෂාව හදාරන ලතින් ඇමෙරිකානු තරුණයකුට සුමිත්‍රා ආදරය කළාය. කවියකු, සෞන්දර්යවාදියකු වූ ඔහු චිත්‍රපට ලෝලියෙකි. පිළිකා රෝගයෙන් ඔහු මියයාම නිසා ඇයට ජීවිතය තිත්ත වී ඇත. ප්‍රංශ බස ඉගෙන ගත් ඇය ස්විට්සර්ලන්තයේ සිට ප්‍රංශයට දුම්රියෙන් ගිහින් ප්‍රංශ තානාපති කාර්යාලයට ගොස් ඇත්තේ ලංකාවෙන් එවන ලද මුදල් ගැන සොයා බැලීමටය. එකල ප්‍රංශයේ ලංකා තානාපති වූ වර්ණන් මෙන්ඩිස් මහතා ඇගේ ඥාතියෙක් විය. තානාපති නිවසේ නවාතැන්ගෙන සිටියදී ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග ටයිටස් තොටවත්ත ප්‍රංශයට ගොස් තිබුණේත් 1957 කෑන්ස් චිත්‍රපට උළෙලට සහභාගි වීමටය. මේ දෙදෙනා ප්‍රංශයේ ලංකා තානාපති කාර්යාලයට පැමිණියහ. ලෙස්ටර් හා සුමිත්‍රාගේ ඇස් මුල්වරට යොමු වන්නේ මේ අවස්ථාවේදීය. ඒ ගැන කියන කතාව මේ.

‘‘මට ඒ දිනය අද වගේ මතකයි. ඔහු හැඳ සිටියේ තද පැහැති වෙල්වට් කබායක්. ඔහු තරමක් තරබාරුයි. සිත් ඇදගන්නා රූපයකින් යුතු පුරුෂයෙක්. ඒ පෙනුම ඔහු ලාංකිකයකු බවට ඉඟි තිබුණා. එදා රෑ තානාපති නිවසේ පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයේදී මා හට ලෙස්ටර් හා ටයිටස් හඳුන්වා දෙනු ලැබුවා. ලෙස්ටර් මට අතට අත දී ආචාර කළා. ඔහු මගේ අත සදහටම අල්ලා ගනී කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. මම සිනමාවට කැමති කියලා කිව්වා.

‘‘ඔයා සිනමාව ගැන ඉගෙන ගන්නට නං එංගලන්තය තමයි හොඳම රට’’ ඔහු කීවා.
‘‘මම කැමති නෑ අධිරාජ්‍යවාදී රටකට යන්න’’ මම කිව්වා.
සුමිත්‍රාගේ අයියා ලෙස්ටර් ලංකාවේදී හඳුනාගෙන තිබුණා. ඇය ලෙස්ටර් හමු වූ අයුරු අයියාට ලියා තිබුණි. අයියා ලියා එවා තිබුණේ සිනමාව ගැන ලෙස්ටර්ගෙන් උපදෙස් ගන්න ලෙසය. ඇය ලෙස්ටර්ගේ ඉල්ලීමට අනුව ලන්ඩන් ස්කූල් ඔෆ් ෆිල්ම් ආයතනයට බැඳීමට තීරණය කළාය.

‘‘සුමිත්‍රා මේක අපේ අන්තිම හමුවීම නොවෙයි නේද?’’ ලෙස්ටර් සුමිත්‍රාගෙන් ඇසුවේය.
‘‘සමහර විට....’’ ඇය කීවාය.
සුමිත්‍රා එංගලන්තයේ දී සිනමාව ගැන හදාරා නිම කළ පසු ලෙස්ටර් ලංකාවට පැමිණ තමා අධ්‍යක්ෂණය කරන ‘‘සන්දේශය’’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නයි ආරාධනා කළේය.

ලංකාවට පැමිණි සුමිත්‍රා ජීප් රථයකින් බෙලිහුල්ඔය සන්දේශය දර්ශන තලයට ගියාය.
ඇය කොණ්ඩය කපා කසිකබල් කලිසමකින් හා ටීෂර්ට් එකකින් සැරසී බෙලිහුල්ඔය දර්ශන තලයේදී චිත්‍රපටයේ දර්ශන සම්බන්ධතා ලිවීම බාර ගත්තාය. සංදේශයේ සහාය අධ්‍යක්ෂවරයකු වූ විජය අබේදේව හා තිස්ස ලියනසූරියට සහාය වූ සුමිත්‍රා අතේ කැමරාවක්ද තිබුණි.

සුමිත්‍රාවන් අපට කියා තිබුණේ ලෙස්ටර් එංගලන්තයේදී මාග්‍රට් නම් ඉංග්‍රීසි ජාතික කාන්තාවක් හා විවාහ වී සිටියත් එය දෙවසරකට සීමා වූ බවය. මේ තොරතුරු අනාවරණය වනුයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියූ ‘‘ලෙස්ටර් ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සිනමාවේදියා’’ කෘතියෙනි.

සුමිත්‍රා සිනමාවට එක් වන්නේ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ සංස්කරණ ශිල්පිනිය ලෙසිනි. එහිදී ඇයගේ උපදේශකයා වී ඇත්තේ ටයිටස් තොටවත්තය. ලෙස්ටර්ට සුමිත්‍රාගේ ඇති ආදරය නිසා ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ නිෂ්පාදනය සඳහා තමාට අයත් වී තිබූ සිතාවක තානායම අසල තිබූ ඉඩම විකුණා රු. 25,000ක් ලබා දුන්නාය. 1964 පළමු සරසවි සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන රැසක් සමග සංස්කරණ ශිල්පිනිය ලෙස ඇය සරසවි සම්මානය දිනා ගත්තාය.

1964 ජුනි 14 වැනිදා ලෙස්ටර් සහ සුමිත්‍රා විවාහ වූහ. මේ ගැන සුමිත්‍රා අපට මෙසේ විස්තර කළාය. මම ලෙස්ටර් සමග විවාහ වෙනකොට වයස අවුරුදු 29 යි. ලෙස්ටර්ට අවුරුදු 45 යි. අපේ වයස පරතරය අවුරුදු 16ක්. මම බෞද්ධ. ඔහු රෝමානු කතෝලික. මේ විවාහය හිතුවක්කාර, විප්ලවකාරී එකක්.

අපි බම්බලපිටියේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී විවාහ වුණා. ලෙස්ටර්ගේ පැත්තෙන් ඇන්ටන් වික්‍රමසිංහත් මගේ පැත්තෙන් ගාමිණී අයියත් අත්සන් කළා. පැමිණි සුළු පිරිස අතර සිනමාව පැත්තෙන් හිටියේ තිස්ස අබේසේකර විතරයි. මංගල ඡායරූපය ගත්තේ විල් බ්ලේක්ය.

සුමිත්‍රා පීරිස් මුලින්ම අධ්‍යක්ෂණය කළ ‘‘ගැහැනු ළමයි’’ චිත්‍රපටයයි. ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, යහළුවෝ, වෛෂ්ණාවි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඇය 1995 සිට 1999 දක්වා ප්‍රංශයේ ලංකා තානාපතිනියද වූවාය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලැබූ සුමිත්‍රා පීරිස් මැතිනිය ‘‘සිංහල සිනමාවේ කිවිඳිය’’ නමින් ආචාර්ය තිස්ස අබේසේකර හැඳින්විය.

අපෙන් සමුගත් ‘‘සිංහල සිනමාවේ කිවිඳිය’’ ඔබතුමියට අපේ ආචාරය.

ඒ.ඩී. රංජිත් කුමාර