‘‘ප්‍රයෝජනයට ගත හැකි දේ ඉගෙන ගත යුතුය. ඉගෙන ගත් දේ ප්‍රයෝජනයට ගත යුතුය’’ යන්න අධ්‍යාපනයට අදාළ සංකල්පයකි. ඉගෙනීම අර්ථවත් වන්නේ ඒ අනුව සිය ක්‍රියාකාරකම් සකස් කර ගැනීමෙනි. වැඩි ඈතකට යා යුතු නැත. ගාලු මුවදොර අරගලයෙන් ඉගෙන ගත යුතුය.

ගාලු මුවදොර අරගලය පසුකාලීනව ඇතැම් දේශපාලන කණ්ඩායම්වල හා බඩගෝස්තරවාදීන්ගේ ගොදුරක් බවට පත් වුවද, එම අරගලයෙන් ප්‍රදර්ශනය වූයේ සෑම ආකාරයකම විනාශකාරී වූත්, මජර වූත්, බලකාමී වූත් ජඩ හා ත්‍රාඩ ක්‍රියාකාරකම්වලට එරෙහිව සමාජයේ පතුල බිඳගෙන ආ නිර්පාක්ෂික පොදු මිනිසාගේ වේදනාව සහ විරෝධයයි. ඒ වේදනාවත් විරෝධයත් එයට හිමි ගැඹුරින්ම ග්‍රහණය කර ගැනීම සෑම පුද්ගලයකුගේම ඉක්ම යන පැයට අදාළ අත්හළ නොහැකි වගකීම වේ. එහෙත් එය එසේ නොවන බව පසක් කරවන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ පොලොන්නරුව, වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට මායිම්ව පිහිටි සූරියවැව රක්ෂිතය සංවිධානාත්මක පිරිසක් විසින් දින කිහිපයක සිට විනාශ කරමින් සිටින බවය. වනජීවී දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මෙම රක්ෂිතයේ ඉඩම් අක්කර 1500කට වඩා වැඩි ප්‍රමාණයක් බඩ ඉරිඟු වගාව සඳහා ආයෝජකයන්ට ලබාදී ඇති බවත්, ඔවුන් රක්ෂිතය හිතුමනාපයෙන් වනසා විශාල ජාවාරමක් කරන බවත් ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ සූරියවැව ගොවි නියෝජිතයන් පවසන බව එම ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

නවතම ජාවාරම් ක්‍රමයක් ක්‍රියාත්මක වේ. කොළඹ සිටින මහ ධන කුවේරයෝ රට වටා යමින් වැඩි වටිනාකමින් යුතු ඉඩම් සොයා ගනිති. එහි ඇති රූස්ස ගස් කොළන් ටික පමණක් කපා දැමූව ද පරම්පරා ගණනකට සෑහෙන්න මුදලක් උපයා ගත හැකි බව ඔවුහු දනිති.

ඇතැම් විට එසේ තෝරා ගන්නා ඉඩම් පුරාවිද්‍යාත්මක භූමි හෝ රක්ෂිතවලට ආසන්න ඒවා වීම ස්ථිරය. එසේ ඉඩම් තෝරා ගැනීමෙන් අනතුරුව එයට අදාළ ව්‍යාපෘති වාර්තාවක් සකස් කර එම ව්‍යාපෘති වාර්තාව අනුමත කර ගැනීමේ දී දේශපාලන සබඳතා මෙන්ම නිලධාරි සබඳතා අතිශයින්ම වැදගත් වේ. ව්‍යාපෘතිය බොහෝ විට ආකර්ශනීය බවින් මෙන්ම නිවැරැදි දත්ත මත පදනම්ව සකස් කෙරෙන හෙයින් අනුමැතිය ලැබීමට විශේෂිත වූ බාධාවක් මතුවන්නේ ද නැත. ඉන්පසු සියල්ල ක්‍රියාත්මක වන්නේ ජාවාරමට ඇවැසි පරිදිය.

බඩඉරිඟු වගාව සඳහා ආයෝජකයන්ට ලබාදී ඇති අක්කර 1500කට වැඩි ඉඩම්වලට ඩෝසර් ඇතුළු යන්ත්‍ර සූත්‍ර රැගෙන ඇතුළු වී එහි ඇති වීර, පළු, බුරුත වටිනා ගස්කොළන් කපා පෙරළා රක්ෂිතය ඩෝසර් කරන බව ආගමික නායකයන් මෙන්ම පරිසරවේදීන් චෝදනා කරන බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

රක්ෂිතය විනාශ කිරීමත් සමග එහි සිටින අලින්, මුවන්, ගෝනුන් ආදී සතුන් ගම්වැදී තමන්ගේ දේපොළවලට අලාභහානි කරන බව ප්‍රදේශවාසීන් චෝදනා කරන බව ද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
මෙහි ඇති තවත් එක් සුවිශේෂී කාරණයක් වන්නේ විනාශ කරන මෙම රක්ෂිතය අලි කොරිඩෝවක් ලෙස නම් කර ඇති සෝමාවතී සහ මාදුරුඔය අතර අලින් එහා මෙහා ගමන් කරන්නේ මෙම රක්ෂිතය මැදින් වීමය.

අලි මිනිස් ගැටුම ජාතික ප්‍රශ්නයකි. මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා මෙම ප්‍රශ්නය උග්‍ර වී තිබේ. අලින් ගම්වදින බව කීව ද සත්‍ය වශයෙන්ම සිදු වී තිබෙන්නේ අලි වාස භූමි මත ජනාවාස ඉදිවීමය. ත්‍රිකෝණමඩුව රක්ෂිතය ඩෝසර් කළ විට අලි ඇතුන් කළ යුත්තේ කුමක්ද? ඒ සතුන්ට වෙනත් විකල්පයක් නැත.

ගම්වදින්නේ එහෙයිනි. සංචාරක ආකර්ශනයෙන් අනූන අප රටේ වන අලි සම්පත රට සතු මහරු සම්පතකි. එහෙත් මිනිසුන් අතින් අලි මැරෙන ප්‍රධානම රටක් බවට අප රට පත්ව තිබේ. වන අලින්ට ගොදුරු වන අහිංසක පුරවැසියන් යම්බන්ධ දුක් මුසු පුවත් එකක් පසුපස එකක් වශයෙනි. දරු පවුල් රක්ෂා කළ මිනිසුන් අහිමි වීමෙන් ඒ දරු පවුල් අපා දුකට වැටෙති. මේ මහා ව්‍යසනයට වනාන්තර, රක්ෂිත ඩෝසර් කරන ජාවාරම්කාර ආයෝජකයන් ඍජුවම වග කිව යුතුය.

වනජීවී දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා වනජීවී නිලධාරීන්ගේ වෘත්තීය සංගමයේ සභාපති අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන් මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ‘‘විනාශ වෙමින් පවතින්නේ අලි සංක්‍රමණය වන රක්ෂිතයක් බැවින් මෙයින් අලි-මිනිස් ගැටුම උග්‍රවීමේ විශාල අවදානමක් තිබෙන බවය.

එම රක්ෂිතය ඩෝසර් දමා එළිපෙහෙළි කරන ආයෝජකයකු පවසන්නේ බඩ ඉරිඟු වගාව සඳහා මෙම ඉඩම් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හරහා තමන් ඇතුළු 29 දෙනකුට හෙක්ටයාර් 49 බැගින් ලබා දී ඇති බවය. එය නතර කිරීමට නම් දේශපාලන අධිකාරිය, ප්‍රදේශයේ ජනතාව මෙන්ම ආයෝජකයන් අතර සාකච්ඡාවක් අවශ්‍ය බවය.

රටකට සංවර්ධන ව්‍යාපෘති අවශ්‍යය. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. එහෙත් ඒවා ජාවාරම්වලින් මුළුමනින්ම වෙනස් විය යුතුය.

(***)