අයවැයක් යනු රටේ ඉදිරි වර්ෂය සඳහා වන මාර්ග සිතියම වේ. එහිදී රට සතු වත්කම් ගණනය කෙරේ. එමෙන්ම ඉදිරි වර්ෂය සඳහා වන වියදම ද එම වියදම් පියවීමට ඇති ආදායම් මාර්ගද සොයා බැලේ. අවාසනාවකට  මෙන් අප රටේ ආදායම හා වියදම අතර පරතරය අතිවිශාලය. රටින් ණය ගැනීමට සිදුවන්නේත් රටේ පුරවැසියන්ට ණයකාරයන් බවට පත්වීමට සිදුවී තිබෙන්නේත් එහෙයිනි. එම පරිසරය තුළ අයවැය ලේඛනය දෙස ඉහළ නංවාගත් බලාපොරොත්තු සහිතව බැලීමට ඇති හැකියාව අපෙන් උදුරාගෙන බොහෝ කල්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඔහුගේ මංගල අයවැය පාර්ලිමේන්තුවට ඉකුත්දා ඉදිරිපත් කළේය. ඒ සම්බන්ධ මතවාද, විවේචන හා ප්‍රශංසා එක පෙළට ඉදිරිපත් වෙමින් තිබේ. අපේ අවධානය ඒ සම්බන්ධයෙන් නොවේ. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙහි සාධනීය යෝජනා අතර ඉතා වැදගත් යෝජනාවක් තිබේ. එම  සාධනීය යෝජනාව අප පුවත්පත සිරස්තලයක් මගින් ඉදිරිපත් කළේ ‘‘“සරසවි ප්‍රවේශ සියයට 10කින් ඉහළට’’ යනුවෙනි. කඳුළ මත  පය ගසා වඩාත් භාග්‍යවත් අනාගතයකට සිහින දකින ජාතියේ දුවා දරුවන් තුළ අලුත් බලාපොරොත්තු ජනිත කරවීමට එම යෝජනාව හේතුබල සම්පන්න වීම නිසැකය.

නිදහස් දිනයේ පටන් අප රට ගොඩනැගුණේ සුබසාධන රාජ්‍යයක් ලෙසය. එහිදී අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය විශේෂ තැනක් ගනී. බටහිර  රටක ඇසකින් බලනවිට එය නාස්තිකාර වියදමකි. එහෙයින් අප රටට ණය ලබාදීමේදී අධ්‍යාපනයට මෙන්ම සෞඛ්‍යයට කරනු ලබන වියදම් කප්පාදු කරන ලෙස බරපතළ පීඩනයක් එල්ල වේ. එහෙත් කවර අභියෝග මැද වුවද එම කොන්දේසිවලට යටත් නොවී එම තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට සෑම රජයක්ම කටයුතු කළේය.

ඩොලර් හිඟයෙන් ඔත්පළව රට හතරගාතෙන් වැටී ඇති මොහොතක අප රට ණය හා ආධාර දීමේදී සුබසාධන වියදම් කප්පාදු කරන ලෙස බලපෑම් එල්ලවන බවද දේශපාලන වේදිකාවල නිතර අසන්නට ලැබෙන්නකි. එබඳු භීම පරිසරයක  සරසවි ප්‍රවේශ සියයට 10කින් ඉහළට යන සිරස්තලය වුවද අස්වැසිල්ලකි.

 රටක අධ්‍යාපනයට වෙන් කරන මුදල් වියදම් නොව ආයෝජනයකි. එය  වියදමක් ලෙස දකින්නේ නම් එම තත්ත්වය ජාතික අපරාධයකි. ජනාධිපතිවරයා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අධ්‍යාපනය සම්බන්ධයෙන් පළ කළේ මෙබඳු අදහසකි.

‘‘රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී දැනට කලා  විෂය ධාරාවේ සියලු සිසුන් පමණක් දීපව්‍යාප්ත කුසලතා පදනම මත තෝරා ගැනීම සිදු කරනවා. එහෙත් වාණිජ, තාක්ෂණවේදය, විද්‍යා හා ගණිත විෂය ධාරා සඳහා ඇතුළත් කර ගැනීමේදී දීපව්‍යාප්ත කුසලතා පදනමින් බඳවාගනු ලබන්නේ සිසුන්ගෙන් සියයට 40ක ප්‍රමාණයකි.

මෙම තත්ත්වය තුළ ඉහළ කුසලතා දක්වන සිසුන් විශාල පිරිසකට විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට ඇති අවස්ථාව අහිමි වෙනවා.  තවද ඔවුන් දැඩි අපහසුතාවට මෙන්ම අසාධාරණයට ලක්වන අතරම රටෙහි සංවර්ධනය සඳහා දායකත්වය  ලබාදීමට  ඇති අවස්ථාව ඔවුන්ට අහිමි වෙනවා. එබැවින් එම තත්ත්වය මග හරවා ගැනීම සඳහා අවශ්‍ය පියවර හඳුන්වා දියයුතු වෙනවා. ඒ අනුව 2023/2024 අධ්‍යයන වර්ෂයේ සිට  පියවරෙන් පියවර ක්‍රියාත්මක වන පරිදි දැනට දීපව්‍යාප්ත කුසලතා පදනමින් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරගනු ලබන ප්‍රතිශතය සියයට 40  සිට සියයට  50 දක්වා ඉහළ දැමීමට යෝජනා කරනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුය.’’

ඇතැම් දේශපාලනඥයන් කියන පරිදි අයවැය ලේඛනයක් යනු අකුරු හරඹයක් පමණි. එක් දේශාපලනඥයකු ඉකුත් දිනක ප්‍රකාශ කළේ  අයවැය යෝජනාවලිය සියයට 10ක්වත් ක්‍රියාත්මක නොවන බවය. ඒකාන්ත සත්‍යයකි. මෑත කාලීන අයවැය ලේඛන දෙස බැලූ කල්හි වුවද එය ඔප්පු වේ. එහෙයින් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව සියයට 10කින් ඉහළ නංවාලීමේ යෝජනාවට එම ඉරණම අත් නොවිය යුතුය.

විශේෂයෙන්ම රජයෙන් රජයට පමණක් නොව එකම රජයේ වුවද ඇමතිවරුන් මාරුවී ගිය පසු ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග වෙනස් කරන අනුවේදනීය අත්දැකීම් ඇති රටක කවරාකාර හොඳ යෝජනාවක් සම්බන්ධයෙන් වුවද  සැක සංකා පහළවීම වැළැක්විය නොහැකිය.

එළැඹ ඇත්තේ වළක්වාගත නොහැකියැයි විශ්වාස කළ අනුමාන කළ බොහෝ දේ වෙනස් කළ යුතු පැයකි. රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට වෙනත් මාවතක් නොමැති බව අවිවාදාත්මකය. 

(***)