මෙවර කිවිදා දැක්ම ලියන්නේ 2023ට අදාළ අය-වැය ලේඛනය පාර්ලිමේන්තුවේ විවාදයට ගනිමින් තිබෙන කාලයකය. රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔහුගේ පළමු වාර්ෂික අය-වැයක් ඉදිරිපත් කළේ මෙවරය. පසුගිය අගෝස්තු මාසයේ වික්‍රමසිංහ මහතා 2022 ඉතිරි කාර්තුව සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කළ බව සැබෑවක්ය.

එය සම්පූර්ණ වාර්ෂික අයවැයක් නොව හුදු මේ වසරේ මාස 04 සඳහාය. එසේම මෙහිදී සඳහන් කළ යුතු මගේ එක් නිරීක්ෂණයක් වන්නේ 2022 අගෝස්තුවේ ඉදිරිපත් කළ අතුරු අය-වැය හරහා යෝජනා කළ එක ව්‍යාපෘතියක්වත් 2023 වසරේ අය-වැය තුළ සඳහන් කරලාවත් නැති බවය. 2023 ට අය-වැය හැදූ පුද්ගලයා 2022 අතුරු අය-වැය ඇහෙන් දැක්කේ නැති අයකු යැයි සිතිය හැකි තරම් දුරස්භාවයක් මේ ලියවිලි දෙක අතර තිබෙන බව මගේ අදහසය.

එය කෙසේ වුවත් මේ අලුත් අය-වැය පිළිබඳව පළල් සංවාදයක් රටේ ඇති විය යුතුය. ඒ නිසාම මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ 2023ට ඉදිරිපත්වී ඇති අය-වැය පිළිබඳවය. මෙවර අයවැයෙන් රටේ ගමන් මගම යම් ආකාරයකින් වෙනස් කරන්නට උත්සාහ ගන්නා බවක් ද පෙනී යන නිසා මේ පිළිබඳව කථා කිරීම ඉතාමත් අවශ්‍යය. ඉතාමත් වැදගත්ය. 

රටට වැරදුණේ කොතැනද?

අයවැයේ ප්‍රවේශය සඳහා යොදා ගන්නා විමර්ශනය පිළිබඳව මුලින්ම අදහසක් පළ කිරීම වැදගත්ය. වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ ප්‍රවේශය තුළින් කියන්නේ 1970-77 සංවෘත ආර්ථික ක්‍රමය වගේම 1977 පසුව එන විවෘත ආර්ථික ක්‍රමය ද දැන් ෆේල් කියාය. අසමත් කියාය.

මෙහිදී තේරුම් ගත යුතු වැදගත්ම කාරණයක් වන්නේ 1977 ආරම්භ කළ විවෘත ආර්ථිකය සමහර රටවලට. විශාල ජයග්‍රහණ අත්කර දෙද්දී අපේ රටේ එය අසමත් වූයේ ඇයි ද කියාය. සිංගප්පූරුවේ, ජපානයේ සහ ඉන්දියාවේ එය සාර්ථක වෙන විට ශ්‍රී ලංකාවේ එය අසාර්ථක වූයේ ඇයි ? අනෙක් අතට 1977න් පසුව වැඩි කාලයක් බලයේ සිට ඇත්තේ වික්‍රමසිංහ මැතිතුමා නායකත්වය හොබවන එජාපයේ ආණ්ඩු හෝ එතුමා සමග සන්ධාන ගත වී සිටින රාජපක්ෂ පවුලේ දේශපාලනය මෙහෙය වූ ආණ්ඩුය. 1977-1994 දක්වා වසර 17ක් සහ 2001-2004 කාලයේ තිබුණේ තනිකරම එජාප ආණ්ඩුය.

2015-19 ආණ්ඩුවේත් අගමැතිවරයා එතුමාමය. එපමණක් ද නොවේ. 2005 සිට 2015 දක්වාත්, 2019 සිට 2022 දක්වාත් රට පාලනය කළේ වත්මන් වික්‍රමසිංහ ආණ්ඩුවේම පාර්ශ්වකාර රාජපක්ෂ ආණ්ඩු විසින්ය. මේ අනුව ‘අපට මෙහෙම වුණේ ඇයි?’ කියා වත්මන් ජනාධිපතිවරයා රටින් විමසීම තේරුම් ගත යුත්තේ කෙසේ දැයි මට තේරෙන්නේ නැත. ඒ කෙසේ වෙතත් දැන් රට තිබෙන්නේ බංකොළොත් තත්ත්වයේය. එක පැත්තකින් බංකොලොත් වූ රටය. තවත් පැත්තකින් රට බංකොලොත් වූයේ ඇයි කියා ජනතාවගෙන් විමසන නායකයෝය. අනෙක් පැත්තෙන් රට ගොඩ නගන්නට යැයි කියමින් යළිත් නැගිටින්නට උත්සාහ කරන බංකොලොත් දේශපාලන පක්ෂ හා කල්ලිය.

මෙවර අයවැයේ ප්‍රවේශයේ තිබෙන එක කාරණයක් නිවැරැදිය. ඒ කාරණය වන්නේ ‘1977 නිර්මාණය කළ ආර්ථික පදනම දැන් වලංගු නැත’ යන්නය. එය සත්‍යයක්ය. එහෙත් දැන් වලංගු වෙන ආර්ථික පදනම ලෙසින් වත්මන් රජය සිතන්නේ කුමක්ද? යන්න විශාල ගැටලුවක්ය.

රජයේ ආර්ථිකය ද? රටේ ආර්ථිකය ද?

අපේ ආර්ථිකය සම්බන්ධ කථා කරන බොහෝ අය කියන්නේ ආර්ථිකය ගොඩ නගන්නට නම් බදු ගැසිය යුතු බවය. එහෙත් මෙහිදී තේරුම් ගත යුතු කාරණය වන්නේ රටක ආර්ථිකය සංවර්ධනය කිරීම යනු රජයේ ආර්ථිකය ශක්තිමත් කිරීම පමණක් නොවන බවයි. රටක ආර්ථික ක්‍රියා මාර්ග වේගවත්ව සිදු කිරීම මිස රජයේ ආදායම ගැන පමණක් සිතා බදු ගැසීම මගින් පමණක් ලබා ගත හැකි ආර්ථික සංවර්ධනයක් නැත.

සමහරුන් ලාබෙට කියන්නේ බදු ගැහීමෙන් ආර්ථික ස්ථාවර කරනවා කියාය. රජයේ අයවැය හිඟය පියවා ගැනීම මෙන්ම ආර්ථික ක්‍රියාවලියේ වැදගත් කාරණයක් වන්නේ ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීමයි. රටේ විදේශීය මූල්‍ය සංචිත නිසි ක්‍රමවේද හරහා වර්ධනය කර ගැනීම අවශ්‍ය වන්නේ මේ හේතුව නිසාය.

1977 ජයවර්ධන රජයේ එක් ධනාත්මක ක්‍රියාවක් වූයේ රටේ ආර්ථික ක්‍රියාවලිය (Economic Activities) ශක්තිමත් කිරීමය. ඒ හරහා රාජ්‍යය නොවන පළල් සමාජයේ ආර්ථික වර්ධනයක් ඇති කිරීම හෙවත් මෙවර අයවැයෙන් මූලික අය පැත්ත වර්ධනය කිරීමට බදු ගහනවා හැරෙන්නට අලුතින් යෝජනා කර ඇති දේවල් අල්පය.

2023 අය-වැය

මෙවර අය-වැයේ මගේ සිත් ගත් කොටස වන්නේ එහි ප්‍රවේශය ලෙසින් ඉදිරිපත් කරන අදහස් ටිකය. අයවැයේ අනෙක් හරිය එක පැත්තකින් භයානකය. තවත් පැත්තකින් විශාල ව්‍යසනයක් කැඳවන සුළුය.

අයවැයේ ඉදිරිපත් කරන්නේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පැති දෙකකින් සමන්විත වන බවය. එකක් වන්නේ ආර්ථික ප්‍රතිසංවිධානය වන අතර අනෙක වන්නේ ආර්ථික නවීකරණය වේ. මේ වචන මුදල් ඇමැතිවරයාම යොදන ඒවාය. එහෙත් අයවැයේ අභ්‍යන්තරයේ එවැනි ප්‍රතිසංවිධානයක් හෝ නවීකරණයක් (Economic reorganization and Economic Modernization) මේ අය වැයේ නැත. අයවැය සම්බන්ධව ගත් විට විශේෂයෙන් අවධානයට ගත යුතු නිරීක්ෂණ කීපයක් තිබෙන බව මගේ අදහසය.

පළමුව මෙවර අයවැය 2023 වර්ෂය සඳහා ඉදිරිපත්වන එකක් නිසා 2022 දී අතුරු අයවැය ලෙසින් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ පත්‍රිකාවේ තිබූ සමහර යෝජනා ඉදිරි වර්ෂය සඳහා ගෙන යා යුතුව තිබිණි. එහෙත් එවැන්නක් සිදුවී නොමැති වා පමණක් නොව මෙවර ඉදිරිපත් කර ඇති අයවැය ලියූ පුද්ගලයා මීට මාස 04 පෙර ඉදිරිපත් කළ අයවැය දැකලාවත් නැති ගානට එයින් ඉවත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය.

දෙවනුව මෙවර අයවැයේ යෝජනාවී තිබෙන සමහර පනත් සංශෝධන වැනි දේවල් ප්‍රායෝගිකව සිදුකළ නොහැකි ඒවා බව මගේ අදහසය. ඒ සමහර ඒවා ඔහේ කඩදාසි පිරෙන්න ටයිප් කරන වචන මිස සිදුකළ හැකි ඒවා නොවේ. 2022 ඉදිරිපත් කළ අතුරු අයවැයේද මෙවැනිම හිස් පොරොන්දු විශාල ගණනක් ඉදිරිපත් කළේය. එහිදී නව නීති ලෙසින් අලුත් පනත් 09ක් ගෙන එන බව කිවේය. අතුරු අයවැය 20 වැනි පිටුවේ දක්වන පරිදි පහත සඳහන් නීති අලුතින් ගෙන එන බව පොරොන්දුවී ඇත. එනම්, ආහාර සුරක්ෂිතතා පනත ආර්ථික ස්ථායිකරණ පනත, රාජ්‍ය සේවා නියුක්ති පනත, දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදල් පනත වැනි පනත් 09ක් එහිදී ගෙන ඒමට පොරොන්දුවී ඇත. එම පනත් ගැන කිසිදු ආරංචියක් නැතුවා පමණක් නොවේ.

මේ එකක්වත් ගැන මෙවර අයවැයේ සඳහනක්වත් නැත. ඒ වෙනුවට අලුතින් තවත් ලැයිස්තුවක් මෙවර ඉදිරිපත් කර ඇත. ඒ අනුව නව කම්කරු නීති, කුරුඳු දෙපාර්තමේන්තු පනත, දත්ත ආරක්ෂණ අධිකාරි පනත වැනි අලුත් ආයතන සඳහා නීති ගෙන ඒමටත් තවත් නොයෙක් නම්වලින් යුත් කොමිෂන් සභා සහ කාර්යාංශ ඇති කිරීමට යෝජනා කර ඇත. මේවාට සාමාන්‍යයෙන් කියන්නේ ‘නම් දමා ගැසීම’ (Name droping) කියාය. ඔහේ විවිධ නම්වලින් යුත් නීති හදනවා කියා අයවැයේ පිටු පුරවනවා මිස හැදූ නීතියක් හෝ හදන නීතියක් නැත.

තුන් වෙනුව මෙවර අයවැයේ ඇති බරපතළම කාරණයක් වන්නේ සමහර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් සිදුකර ඇති යෝජනාය. ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව සැබෑවක්ය. එහෙත් ටෙලිකොම් ආයතනයේ රජයට අයත් සියයට 46 කොටස් විකිණීමට යෝජනා කරන්නේ කුමන පදනමකින් ද? යන්න කාටවත් පැහැදිලි නැත. එසේම රක්ෂණ සංස්ථාව සහ එයට අයත් ලිට්රෝ ගෑස්, ලිට්රෝ ටර්මිනල් සමාගම් වැනි දේ ප්‍රතිව්‍යුහගත කරන්නේ කුමන අවශ්‍යතාව මතද? යන්න ඉතාමත් අපැහැදිලිය.

2015 ආණ්ඩුවේ හම්බන්තොට වරාය නැවත චීනයට පවරා දීමට මුල් වූ එවකට සිටි ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයාත් නැවත ඡායාරූපවල පෙනෙන්නට පටන්ගෙන ඇති තත්ත්වයක මේ අයවැය යෝජනා පිළිබඳව බරපතළ සැකයක් මතුවන බව මගේ අදහසය.
එසේම LRC යටතේ ඇති ඉඩම් සහ මහවැලිය යටතේ ඇති ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා බෙදන්නට අවශ්‍ය නෛතික අවසරයත් මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

මගේ යෝජනාව වන්නේ මෙවර අයවැයේ 12.1, 13.1 සහ 41.2 වගන්ති අනිවාර්යයෙන් සංශෝධනය කළ යුතු බවය. මේ වගන්තිවලින් කියන්නේ ඉඩම් බැහැර කිරීම සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම යන කරුණු ඇතුළත් යෝජනාය.
එවැනි සංශෝධනයකින් තොරව මෙවර අයවැය සම්මත කිරීම යනු අනතුර පෙන්නා රාජ්‍ය සම්පත් ගජ මිතුරන් අතර බෙදා ගැනීමට හවුල්වීමය.


මහාචාර්ය චරිත හේරත්