ලංකාවේ ආණ්ඩු වැඩිම බදු ගන්නේ අරක්කුවලින්

 

 

මදයට හෝ ප්‍රමාදයට හේතු වන දේ ගැනීම බොදු සමාජය විසින් ප්‍රතික්ෂේප කරන්නක් වුව ද බෞද්ධ සංස්කෘතික සභ්‍යත්වයක් තුළ ගොඩනැගුණු ශ්‍රී ලාංකීය සමාජයේ ඇත්තේ මත්පැන් සඳහා දැඩි ඉල්ලු‍මකි.   


කොරෝනා වසංගත කාලයේ වුව ද මත්පැන් අලෙවිසල් විවෘත කළ විගස, ඒ ඉල්ලු‍මේ තරම තේරුම්ගත හැකි විය. 
 


මත්පැන් යනු, මිනිස් සිරුරේ ස්නායු පද්ධතිය මත ක්‍රියාත්මක වන, ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍යයකි. ඇල්කොහොල් නමින් හඳුන්වන මේ රසායනිකය කාලයක් භාවිත කළ විට ඒ සඳහා ඇබ්බැහි වීමක් ද ඇති කරයි. මේ රසායනිකය සි‍රුරේ ස්නායු පද්ධතිය මත ක්‍රියා කිරීමෙන් සිරුරට සිදුවන වෙනස්කම් මත් වීමක් ලෙස තේරුම් ගන්නා බැවින්, එයට හේතු වන සියල්ල මත්පැන් ලෙස හැඳින්වේ.   

 

කරත්තවලට රා පටවමින්

රා එකතු කිරීමේ මධ්‍යස්ථානයක්

 

මත්පැන් යනු මිනිස් ශිෂ්ඨාචාරයේ ඉතා දුර අතීතයේ දී පවා භාවිත කළ දෙයකි. පලතුරු යුෂ, පැණි ආදිය යොදා ගනිමින් ඒවායින් මත්පැන් සකසා ඇති බවට අතීතයේ සාධක හමු වෙයි.   


ඊජිප්තු වැසියන් ද චීන ජාතිකයන් ද මත්පැන් භාවිත කිරීම පිළිබඳ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 7000ක් තරම් ඈතට දිව යයි. මත්පැන් යන්නට “සුරා” යන වචනය ව්‍යවහාර වෙයි. ශ්‍රී ලංකාවේ මත්පැන් අලෙවි කරන ස්ථාන “සුරාසල්” ලෙස ද හඳුන්වයි. මේ වචනය අපගේ භාෂාවට එක්වන්නට ඇත්තේ ඉන්දියාවෙනි. ක්‍රිස්තු පූර්ව 3000-2000 අතර කාලයේ දී ඉන්දියාවේ සහල්වලින් නිපද වූ මත්පැන් වර්ගයක් තිබූ අතර, එය හැඳින්වූයේ “සුරා” යන නමිනි. ක්‍රිස්තු පූර්ව 2700 දී පමණ බැබිලෝනියානුවන් “සුරා දෙව්දුව” වන්දනාවේ යෙදුණු බවට ද අතීත සාක්ෂි තිබේ.   


අතීත ශ්‍රී ලංකාවේ ද එලෙසම විවිධ මත්පැන් වර්ග භාවිත කළ බවත්, රජවරුන් පවා ඒවා පානය කර මත් වූ බවටත් ඕනෑ තරම් සාක්ෂි තිබේ.   


එසේ වුව ද අද ශ්‍රී ලංකාවේ දක්නට ඇති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය හා වෙළෙඳාම වඩාත් සංවිධානාත්මකව සමාජයේ මුල් බැස ගත්තේ යුරෝපීයයන්ගේ ආක්‍රමණවලින් පසුවය. පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් විසින් මත්පැන් මෙරට සමාජය තුළ ප්‍රචලිත කරන ලදී.   

 

පැරණි නිෂ්පාදනාගාරයක්

 

 

යුරෝපීයයන් මෙරට මත්ද්‍රව්‍ය නිෂ්පාදනය හා අලෙවිය වඩාත් විධිමත් කරන තුරු මෙරට තිබූ මත්පැන් වර්ග පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට මූලාශ්‍ර දක්නට නැත. ඇතැම් විට එය අදටත් අප ජන සමාජයේ ඇති කිතුල් සහ පොල් රා, කරිඤ්ඤං වැනි පානයක් පමණක් විය යුතුය.   
නමුත් යුරෝපීයයෝ වයින්, බීර සහ අරක්කු මෙරටට හඳුන්වා දුන්හ. ඇතැම්විට ඔවුන්ගේ පැමිණීමට පෙර ද වෙනත් රටවල වෙළෙඳුන් විසින් එවැනි පාන වර්ග මෙරටට හඳුන්වා දී තිබෙන්නට ඇතැයි සිතිය හැකි වුව ද ඒවා සාමාන්‍ය ජන සමාජයේ තිබූ බවට සාධක නැත. ඇතැම් විට වයින් සහ බීර පානය රජු ඇතුළු ප්‍රභූ පැළැන්තියට පමණක් ලැබුණු අත්දැකීමක් වන්නට ඇත.   


පෘතුගීසීන් මත්පැන් වෙළෙඳාමක් සිදු කළ බවට පැහැදිලි සාක්ෂියක් නැත. නමුත් ලන්දේසීන් නොකඩවා මෙරට අරක්කු නිෂ්පාදනය සිදු කර තිබේ. එය ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල නියත වෙළෙඳාමක් බවට පත්කිරීමට ලන්දේසීහු සමත්ව සිටියහ. ලන්දේසීන් 1660 වර්ෂයේ දී රික්ස් ඩොලර් 6ක් වූ බලපත්‍ර ගාස්තුවක් අයකර ගාල්ල සහ යාපනය දක්වා තැබෑරුම් කරගෙන යාමට ඉතා සීමිත පිරිසකට අවසර දී තිබිණි. නමුත් කොළඹ නගරයේ ඔවුන් අවසර දී තිබුණේ, ලන්දේසි ජාතිකයන් 4 දෙනකුට පමණි.   
උඩරට රජු යටතේ පාලනය වූ ප්‍රදේශවල අනවසර අරක්කු වෙළෙඳාම කිරීමට ද ඔවුන් පසුබට වූයේ නැත.   
1796 දී ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලා ගැනීමෙන් පසු අරක්කු පෙරීම සහ සිල්ලර වෙළෙඳාම යන දෙකම මෙරට දේශීය ජනතාවට භාර දීම එය වඩාත්‍ වේගයෙන් ව්‍යාප්ත වීමටත් රජයට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වීමටත් හේතු විය.   


ඉඩම් සොයාගෙන වසර ගණනක් වෙහෙස වී වගා කටයුතු කිරීමට වඩා අරක්කු නිෂ්පාදනය හා අලෙවිය සුළු ප්‍රාග්ධනයකින් ආරම්භ කළ හැකි අධික ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් විය. අරක්කු රේන්දයක් ලබාගැනීම සඳහා තැන්පත් කළ යුතු මුදල පවා වෙනත් අයකුගෙන් ණයට ලබාගත හැකි වීමත්, මාසික ලැබීම් තුළින් එය ගෙවා දැමිය හැකි වීමත් හේතුවෙන් යමක් කළ හැකි වූ බොහෝ දේශීය ජනතාව අරක්කු කර්මාන්තයට යොමු වූහ.   


නමුත් ලාභයෙන් වැඩි කොටසක් ලැබී ඇත්තේ තොග වෙළෙඳුන්ට සහ සිල්ලර වෙළෙඳුන්ට බවත්, නිෂ්පාදකයා හැමදාමත් අඩු ආදායම්ලාභියකූ වූ බවත් පැවැසේ. ඔවුන් හැමදාමත් යැපුණේ තොග වෙළෙඳුන්ගෙන් ගන්නා අත්තිකාරම් මුදලකින් බව 1832 දී කළුතර පෙරන්නන් හතර දෙනකු විසින් ඉදිරිපත් කළ පෙත්සමකින් සනාථ වෙයි. ඔවුන් එම පෙත්සමෙන් අරක්කු පෙරන්නන්ට සිදු වූ පාඩු පිළිබඳ පෙන්වා දී ඇති අතර, ආණ්ඩුවේ සහයෝගය ද ඉල්ලා තිබේ.

   
බ්‍රිතාන්‍යයන් අරක්කු නිෂ්පාදනය, තොග වෙළෙඳාම සහ සිල්ලර වෙළෙඳාම දේශීය ජනතාවට පවරද්දී විශේෂත්වයක් වන්නේ, ඒ සඳහා අවස්ථාව රාජ්‍ය සේවකයන්ට ද හිමි කර දීමයි. කළුතර දොමිංගු මෙස්ත්‍රිගේ දොන් ලොරෙන්සෝ අරක්කු නිෂ්පාදකයෙකි. එමෙන්ම ඔහු කළුතර පොලිස් විදානේ ද වූවේය.   
1834 දී අම්බලන්ගොඩ සිටි ජසෙන්ති ලියන සැමුවෙල් සිල්වා, බූස්සේ මම්මල්දොරේ රපියෙල් ද සිල්වා සහ අම්බලන්ගොඩ සල්මන් ද සොයිසා යන රේන්දකරුවෝ ද තමන්ගේ ප්‍රදේශවල පොලිස් විදානේවරු වූහ. අන්දිරිස් ද සොයිසා වැලිතොට පාසලේ දෙවැනි ගුරුවරයාය.   


ලාංකිකයන් වැඩිම ලාභයක් ලැබුවේ අරක්කු සිල්ලර වෙළෙඳාමෙනි. නමුත් වැඩ කරන දුප්පත් ජනතාව අතර ඒ සඳහා වෙළෙඳපොළක් තිබුණේ නැත. ග්‍රාමීය ප්‍රදේශවල ඒ සඳහා වෙළෙඳපොළක් තිබුණේ නැත. වෙළෙඳපොළ තිබුණේ කොළඹ ප්‍රමුඛ බස්නාහිර, මහනුවර ප්‍රධාන වූ මධ්‍යම, ගාල්ල සහ යාපනය, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවලය.   


අරක්කු වෙළෙඳාම සඳහා අවශ්‍ය රේන්දය ලබාදීම සිදු කෙරුණේ, ආණ්ඩුවේ ඒජන්ත හෙවත් දිසාපති විසිනි. ඒ, වෙන්දේසියකිනි. මේ වෙන්දේසියේ දී ඉදිරිපත් වන ලංසු අධීක්ෂණය කර කොළඹ යටත් විජිත ලේකම්ගේ අනුමැතිය සඳහා වාර්තා කරන ලදී.   


තැබෑරුම් කුලී මාසික වාරිකවලින් කච්චේරියට ගෙවිය යුතුය. එබැවින් මූලික ප්‍රාග්ධනයක් නොමැතිව වුව ද අරක්කු ව්‍යාපාරයේ යෙදීමට ඕනෑම අයකුට හැකියාව ලැබිණි.   


අරක්කු කර්මාන්තය මුළුමනින්ම පාලනය කළේ ආණ්ඩුවයි. පෙරන්නන් ආණ්ඩුවෙන් වාර්ෂික බලපත් ලබාගත යුතු අතර, මත්පැන් තොග පෙරන්නන් සහ තොග වෙළෙඳුන් තම සියලු‍ නිෂ්පාදන ආණ්ඩුවට විකිණිය යුතුය. ඉන් පසු රජය දැඩි ආරක්ෂාවකින් යුතුව ගබඩා කරන අතර, ඒවා අලෙවිසල් වෙත ප්‍රවාහනය කරයි. එම අරක්කු හොරෙන් ප්‍රවාහනය කිරීම වැළැක්වීම සඳහා නගරයේ මර්මස්ථානවල ආරක්ෂකයෝ ද රැඳී සිටියහ. ඉන් පසු ඒ ඒ ප්‍රදේශවල ආණ්ඩුවේ ඒජන්තවරුන් විසින් තම ප්‍රදේශයට අවශ්‍ය අරක්කු ප්‍රමාණය රැගෙන ඒවා ප්‍රාදේශීය විකුණුම් රේන්ද හිමිකරුවන් වෙත බෙදා දෙන ලදී.   
රේන්දකරුවන් පොලිසිය සහ උසාවිය වැනි ආණ්ඩුවේ ආයතන සමඟ ඍජු සම්බන්ධතා පැවැත්වූ අතර, වෙළෙඳාම පරිපාලනය කිරීම හා නීති විරෝධී අලෙවිය වැළැක්වීම සඳහා රජයේ සහාය ද ලබාගන්නා ලදී. මේ හේතුවෙන් රටේ විදේශීය පාලකයන්ගේම යටත් පුරවැසි ධනපතියන් පිරිසක් නිර්මාණය විය. ඔවුන්ට ස්වාධීනත්වයක් තිබුණේ නැත. මේ නිසා බිහි වූ ස්වදේශීය ධනපතියන් ද බ්‍රිතාන්‍ය පාලකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේම අතකොළු බවට පත්වූයේ එකිනෙක ජාලගත වෙමිනි.   


කොළඹ මෙන්ම රට පුරා ස්ථාපිත කර තිබූ බලකොටු සහ වෙනත් මර්මස්ථානවල රඳවා සිටි භට පිරිස්වලට ද මේ අරක්කු සැපැයීම සිදු කෙරිණි. 1820න් පසු මහනුවර ප්‍රදේශයේ ද මත්පැන් අලෙවි රේන්ද ලබාදුන් බැවින්, මහනුවර අනවසර මත්පැන් වෙළෙඳාම නතර වී නීත්‍යනුකූල වෙ‍ළෙඳාම ස්ථාවර විය.   
බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී මත්පැන් ප්‍රථමයෙන් ප්‍රචලිත වූයේ, මහාමාර්ග තැනූ කම්කරුවන් සහ දේශීය ගොවීන් අතරය. ඉන් පසු කෝපි වගාකරුවෝ ද මත්පැන් ගැනුම්කරුවන් අතර ප්‍රධාන වූහ. වැවිලි ආර්ථිකය රට පුරාම ව්‍යාප්ත කළ බ්‍රිතාන්‍ය පාලකයන් සංවිධානාත්මක සහ කාර්යක්ෂම මත්පැන් වෙළෙඳාමක් මෙරට සම්ප්‍රදායික සමාජය මත ආ‍රෝපණය කළේ, නව රටාවේ ජීවිතයට එය ද අත්‍යවශ්‍ය අංගයක් බවට පත්කරමිනි.   


ශ්‍රී ලංකාවේ අරක්කු ප්‍රවාහනය ගැන ද විවිධ වාර්තා හමු වෙයි. 1820 දී පමණ මහනුවර සිට බදුල්ල දක්වා ගොන් බැඳි කරත්ත 25ක් සහිතව ආරක්ෂක භට පිරිසක් ද ඇතිව බදුල්ල කච්චේරියට ගැලු‍ම් 195ක් සහිත පීප්ප 50ක් ගෙන යාම ගැන කියවෙයි. එමෙන්ම 1827 දී මහනුවර සිට රුවන්වැල්ලට යවන ලද ගැලු‍ම් 77ක තොගයක් මග දී අතුරුදන් වීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බව ද ඉංග්‍රීසි පාලන වාර්තාවල දක්නට ලැබේ.   


එකල දකුණු පළාතේ ‍අරක්කු රේන්ද පවත්වාගෙන ගිය බොහෝ දෙනෙක් රජයේ සුළු නිලධාරීහු සහ පාසල් ගුරුවරු වූහ. 1834 දී ගාල්ල නගරයේ හමුදා ආපනශාලාවේ සහ අනෙක් තැබෑරුම්වල අයිතිකරුවා වූයේ, කුඹල්වැල්ලේ පදිංචි ඇහැලියගොඩ ගමගේ බස්තියන් ද සිල්වා නමැති අයෙකි. එකල හොර අරක්කු වෙළෙඳාමේ යෙදුණු පුද්ගලයන් පිළිබඳ නිවැරැදි ඔත්තුවක් දුන් ඇහැලියගොඩ ගමගේ දොන් සැමුවෙල් ද සිල්වාට වැරැදිකරුවන්ගෙන් අය කරගන්නා ලද දඩ මුදලින් හරි අඩක් ද ලැබී තිබිණි.   
මධ්‍යම පළාතේ මත්පැන් වෙළෙඳාමට උඩරට වැසියන් කැමැත්තක් දැක්වූයේ නැත. ස්වභාවයෙන්ම වෙළෙඳාමට අකැමැති සහ අදක්ෂ වූ ඔවුහු රේන්ද සිල්ලර වෙළෙඳාමට ඉල්ලු‍ම් නොකළහ. මේ නිසාම පහතරටින් පැමිණි වෙළෙන්දෝ අරක්කු රේන්ද පවත්වාගෙන ගියහ. 1850 දී බදුල්ලේ උප දිසාපතිවරයා මෙසේ කියා ඇත.   


“උඩරැටියන් අරක්කු වෙළෙඳාමට අකැමැති නිසා ද තැබෑරුම් රේන්දය මිලදී ගන්නේ පහත රැටියන් වන නිසා ද අරක්කු රේන්දය තැබෑරුම් වශයෙන් හෝ දිස්ත්‍රික් වශයෙන් විකුණුව ද ඒවාට ඉදිරිපත් වන්නේ පහත රැටියන් පමණි.”   


වැවිලි කර්මාන්ත ආරම්භ වීමත් සමග අරක්කු වෙළෙඳාම වඩාත් විධිමත් ස්වභාවයක් ගෙන තිබේ. වතු කම්කරුවන් ගණන ඉහළ යාම, මෙන්ම නාගරික කම්කරුවන් වැඩි වීම ද මත්පැන් වෙළෙඳපොළ තවත් පුළුල් වීමට හේතුවක් වී තිබේ. ඒ නිසාම අරක්කු වෙළෙන්දෝ වඩාත් වේගයෙන් ධනවතුන් බවට පත්වූහ.   
වතුකරයේ පමණක් නොව, ඉදිකිරීම් ස්ථානවල ද මිනිරන් පතල් කම්කරුවන් අතර ද මහාමාර්ග හා දුම්රිය මාර්ග තනන්නන් අතර ද මත්පැන් බෙහෙවින් පැතිර ගියේය. ගැමි ප්‍රදේශවල ජීවත් වූ ගොවි ජනතාව පවා මත්පැන් බීමට පුරුදු වූහ. ජනතාව මත්පැන්වලට පුරුදු වෙද්දී, ඔවුන් බොන ප්‍රමාණය ද වැඩි විය. ක්‍රමයෙන් ඔවුහු ඊට ඇබ්බැහි වූහ. මේ නිසා මත්පැන් සිල්ලර වෙළෙඳාම වඩාත් වැඩි වූ බව දක්නට ලැබෙයි.   
ජනගහනයේ ඉතා දිළිඳු කොටසක් මෙලෙස මත්පැනට ඇබ්බැහි වෙද්දී රජය සහ ධනපතියෝ ඔවුන් සූරා කෑහ.   

අතීතයේ මත්පැන් නිස්සාරණය කරමින්

පැරණි තැබෑරුමක්

 

පොල් මලේ සාරයෙන් නිෂ්පාදනය කරන අරක්කු නිසාම මෙරට ධනපති පන්තියක් බිහි වූ අතර, ශ්‍රී ලංකාවේ අරක්කු ලෝකය පුරාම ප්‍රචලිත වීම ද සිදු විය. 

 
අතීතයේ දී ද ලංකාවේ අරක්කු ඉන්දියාව වැනි රටවලට අලෙවි කර ඇතත්, ඒ සඳහා නිශ්චිත වෙළෙඳපො‍ළක් තිබී නැත. එය, මෙරට තුළ පවා හැඳින්වෙන්නේ පහළ මට්ටමේ මත්පැන් වර්ගයක් ලෙසිනි. රට පාලනය කළ ප්‍රභූන් අතර මෙම අරක්කු එතරම් ජනප්‍රිය නොවූ බැවින් එය අපනයනයට ද උනන්දුවක් වූයේ නැත. මේ වන විට Ceylon Arrack සඳහා විදේශ වෙළෙඳපොළක් ද නිර්මාණය වී තිබේ. සිංගප්පූරුව, එංගලන්තය, ජර්මනිය සහ ජපානය ඒවා මිලදී ගනී.   


වසරකට මෙරට නිපදවන අරක්කු ප්‍රමාණය ලීටර මිලියන 60ක් පමණ වන බව සංඛ්‍යාලේඛන දත්ත අනුව තහවරු වෙයි.   


ශ්‍රී ලංකාවේ රජයකට වැඩිම ආදායමක් ලැබෙන ක්ෂේත්‍රයක් ලෙස ද අරක්කු වෙළෙඳාම හැඳින්වේ. 2018 වර්ෂයේ දී පමණක් රජයට මත්පැන්වලින් ලැබුණු බදු ආදායම රුපියල් බිලියන 72.6කි.   


මෙරට මත්පැන් වෙළෙඳපොළෙන් සියයට 50ක පමණ ප්‍රමාණයක් අනවසර මත්පැන්වලින් සමන්විත බව ද පර්​ෙ‌ය්ෂකයෝ කියති. ඉන් වැඩිම ප්‍රමාණයක් සඳහා වගකියන්නේ ගම් මට්ටමින් සිදුවන කසිප්පු නිෂ්පාදනයයි.   
බදු ආදායම් වැඩිපුර අවශ්‍ය වන විට සියලු‍ රජයන් සිදු කරන්නේ අරක්කු ඇතුළු මත්ද්‍රව්‍යවල බදු මුදල් ඉහළ දැමීමයි. එසේ වුව ද මෙරට මත්පැන් පරිභෝජනය අඩු වන බවක් නම් පෙනෙන්නට නැත. සිදුවන්නේ ජනතාව මේ කෙරෙහි ඇති ඇබ්බැහි වීම හේතුවෙන්ම අධික මිලක් ගෙවා හෝ මත්පැන් මිලදී ගැනීමයි. එමගින් රජයේ ආදායම ද සරු වෙයි.   

 

 

සටහන සහ ඡායාරූප
සජීව විජේවීර