ලංකාගම ගම්මානයට දිස්වන සංචාරක නිකේතන 

 

 

ලෝක උරුම සිංහරාජ වනාන්තරයට මැදිව ලංකාව නමින් පිහිටි එකම ගම්මානය ලංකාගමය. ගාල්ල මාතර දිසාවන්ට මායිම්ව ගිංගඟ මිටියාවතේ ලංකාගම ගම්මානය පිහිටා ඇත. උතුර දෙසින් සිංහරාජ වනපෙතටත් දකුණින් දෙල්ලව රක්ෂිතයටත් මායිම්ව පිහිටි ලංකාගම නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්වේ. 


සොබා දහමේ දායාදයක් බඳු ලංකාගම සුවිශේෂ ගම්මානයකි. අතීතයේ සිටම උරුම වූ ස්වභාවික පරිසරය තුළ දිවිගෙවන ලංකාගම ගැමියෝ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වූහ. යුගයෙන් යුගයට ඔවුනට තිබුණු අවම පහසුකම් මධ්‍යයේ වුවද එදාසිටි පරම්පරාගත ගැමියන් මෙන්ම වත්මන් පරපුර නියෝජනය කරන නව තරුණ පරපුරද රටේ ආර්ථිකයට දායක වනුයේ ඔවුනට මේ දක්වා ලබාදී ඇති අවම පහසුකම් ගැන නොසිතමිනි. 


සිංහරාජ මායිමේ පිහිටි මෙම ගම්මානය තුළ ලංකාගම ඇතුළු ගම්මාන හතක් පවතී. වතුගල, නිල්වැල්ල, කොලොන්තොටුව, පිටදෙණිය, මේදේරිපිටිය, පොද්දන ඒ ගම්මාන අතර ප්‍රධාන වේ. සිංහරාජය තුළ පිහිටි මනරම් දිය ඇළි 17ක් මෙම ගම්මාන මැදින් ගිංගඟට ගලා බසින අතර සංචාරක පරාදීසයක් ලෙස ලංකාගම හඳුන්වනු ලැබේ. 

 

සංවර්ධනය කර ඇති නෙළුව ලංකාගම ප්‍රධාන මාර්ගය 

 


අතීතයේ කිතුල්පැණි හකුරු කර්මාන්තයෙන් ජීවනසටන ආරම්භ කළ ලංකාගම වැසියෝ පසුකාලීනව තේ, කුරුඳු, ගම්මිරිස් වැනි ආර්ථික වගාවන්ට නැඹුරුවීමත් සමගම ඔවුන් ක්‍රමානුකූලව දියුණු සමාජ ක්‍රමයට අනුගත වූහ. මෙලෙස දියුණු සමාජ ක්‍රමයට අනුගත වුවද ගම්මානයට ලබාදී තිබුණු අවම පහසුකම් මැද කටුක දිවි පෙවතක් ගත කිරීමට සිදුවිය. ලංකාගමේ නිෂ්පාදන ද්‍රව්‍ය සහ ලංකාගම ගැමියන්ගේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට කිලෝමීටර් 18-20 දුර ගෙවමින් දෙණියාය නගරයට හෝ නෙළුව නගරයට යෑමට සිදුවිය. මේ අනුව ලංකාගම වැසියන්ට දිස්ත්‍රික් මායිම් දෙකකට මැදිවීමෙන් පරිපාලන කටයුතු සඳහා නෙළුව නගරයටද ගමේ නිෂ්පාදන ද්‍රව්‍යයන් අලෙවි කර ගැනීමට දෙණියාය නගරයට යෑමට සිදුවිය. තම වගා ඇස්වැන්න නගරයට ගෙන යෑමේදී මෙන්ම හදිසියකදි මේ ගම්වල අසනීප වන අයෙකු නෙළුව උඩුගම හා කරාපිටිය රෝහල් වෙත ගෙන යාමටද මේ ප්‍රදේශවල පැවැතී දැඩි මාර්ග දුෂ්කරතාවය නිසා. ඒ ජනතාව විවිධ අපහසුතාවලට ලක්වූහ. ඒ අනුව ඔවුන්ට ඒ අවස්ථාවල සිදුවූයේ ඉඳහිට හමුවන ට්‍රැක්ටරයක හෝ තේ දළු ගෙන යන ලොරියක නැගී තම අවශ්‍යතා ඉටුකර ගැනීමටය. ඒ මාර්ග අපහසුතා නිසා ඔවුනට නෙළුව හෝ දෙණියාය නගරවලට යෑමට පැය 3-4ක් ගතවිය. ඇතැම් උදවියට සැතපුම් 18-20 පා ගමනින්ම යෑමට සිදුවිය. 
වළවල් හෑරී සෝදා පාළුවට ලක්වී තිබූ කටුක මාර්ගයේ මෝටර් සයිකලයක්වත් යාමට බැරි ස්ථානද විය. ඒ සමහර ස්ථානවල ට්‍රැක්ටර් පවා ධාවනය වූයේ ඉතා අපහසුවෙනි. මීට අමතරව දරුවන්ට උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නෙළුව හා දෙණියාය නගරවලට යාමද මාර්ග දුෂ්කරතා නිසා අපහසුවිය. ඒ දරු පරපුර අතර කෙතරම් දක්ෂ දරුවන් සිටියද ඔවුන්ට සිදුවූයේ ලංකාගම පාසලෙන් පමණක් උසස් අධ්‍යාපනය අවසන් කර ගැනීමටය. 


මෙලෙස අනේකවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් දිවි ගෙවූ ලංකාගම ගැමියන්ට ඔවුන් මෙතෙක් මුහුණ පෑ සියලු කම්කටොළු නිමා කරමින් සැනසුම් සුසුමන් හෙළමින් යහපත් දිවි පෙවතක් ගත කිරීමට මං පෙත් විවර වී ඇත. කිලෝමීටර් 20ක් වූ නෙළුව ලංකාගම දෙණියාය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමෙන් ලංකාගම ගම්මානය නවලංකා ගමක් බවට පත් වී ගමේ සංවර්ධනය නව මානයකට යොමුවී ඇත. සංවර්ධනයේ අරුණලු තුළින් උදාවූ ලංකාගම අව්‍යාජ ගැමියන් ඔවුන්ගේ ගමට පායා ඇති සංවර්ධනයේ හිරුකිරණ ඔවුන් දකින අයුරු බලා ගැනීමේ අදහසින් පසුගිය දිනක ‘ඉරිදා ලංකාදීප’ය වෙනුවෙන් ලංකාගමට ගියෙමි. 


සැබැවින්ම එදා අප දුටු රත්පැහැ ගැන්වී ගලින් ගලට පැනගිය මඩවලවල් සහිත ගුරු පාර කළුපැහැ ගැන්වූ කාපට් මාවතක් බවට පත්වී ඇත. එදා පැය 3-4කින් නෙළුව නගරයට සහ දෙණියාය නගරයට යෑමට ගත වුවද අද වනවිට විනාඩි 45ක් වැනි කෙටි කාලයකට සීමාවී ඇත. සෑම ගැමියෙකුම මුවගෙයි සතුටු පිරි සිනහවකි. ගමේ තරුණ තරුණියන් යතුරු පැදිවලින් ඔබමොබ ගමන් කරනුයේ ඉපිළී යන ප්‍රීතියෙනි. වෙනදා ගලින් ගලට පැන පැන දෙපා බිමට තබා යතුරු පැදිය ධාවනය කළ තරුණයෝ අද බාධාවකින් තොරව සුවපහසුවෙන් ගමන් කරති. ගමේ පොදු වාහනය වූ ත්‍රිරෝද රථය වංගු ගසමින් ධාවනය කළ අද ඔවුන් රිසි අයුරින් බාධාවලින් තොරව ගමන් ගනී. අද ඒ ගැමියන්ගේ එදා ගත කළ කාලයට වඩා අඩු කාල පරාසයකින් තම දෛනික වැඩකටයුතු සිදුකර ගැනීමට හැකි බව ගැමියෝ අප සමග පැවැසූහ. 

 

සංවර්ධනය කර ඇති නෙළුව ලංකාගම ප්‍රධාන මාර්ගය 

 


සංවර්ධනයේදී ගමේ මාර්ග පද්ධතිය පමණක් නොව ලංකාගම නිල්වැල්ල ගම්මානයට ගමන් කිරීමට ගිංගඟ හරහා නව යකඩ පාලමක් ඉදිකිරීම සහ කිසිදු සන්නිවේදන පහසුකම් නොතිබූ ලංකාගමට සන්නිවේදන පහසුකම් ලබාදීමෙන් ​ලෝකයත් සමගම සබඳතා ඇති කරලීමට සමත් වූ අතර ලංකාගම වත්මන් මෙන්ම අනාගත පරපුරම නවීන ලෝකයට විවර කිරීමට මෙම සංවර්ධන ක්‍රියාවලිය හේතු වූ බව ජනතාව කියති. 
මාර්ගය ඉදිකිරීමට පෙර දෙණියාය නගරයට යෑමට පැවැති දුෂ්කරතාවය හේතුවෙන් ඔවුනට දිනපතා මෙන්ම දවසේ ඕනෑම මොහොතක නගරයට යෑමට දුෂ්කර ගමනක් විය. නව මාර්ගය ඉදිවීමත් සමගම දවසේ ඕනෑම වේලාවක විනාඩි 20ක් වැනි කෙටි කාලයක් තුළ දෙණියායට ගොස් තම අවශ්‍යතාවයන් ඉටුකර ගත හැකි බවද ඔවුහු පැවැසූහ. 


අපට හමුවූ ලංකාගම ගැමියෝ මෙසේ අදහස් දැක්වූහ. 


ලංකාගම ග්‍රාම නිලධාරී එල්.ජී. සෝමරත්න මහතා අදහස් දක්වමින්: 


ලංකාගම ග්‍රාම නිලධාරී ලෙස වසර 25 සිට සේවය කරනවා. වසර 25ක කාලය තුළ ගම ගැන හොඳ අත්දැකීම් මෙන්ම අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණදී තිබෙනවා. 80 දශකයේ ගමට යන්න එන්න හරිහැටි පාරක් තිබුණේ නැහැ. ගමට විදුලිය තිබුණේ නැහැ. ලංකාගම දෙණියාය සහ නෙළුව නගරයට මැදිව තිබෙන්නේ. මේ නගර දෙකටම 18km-20km දුරක් ගෙවා ​ ගෙන යන්න ඕනෑ. ගංවතුරට නිරන්තර ලක්වෙන ගමක්. ඒ කාලයට ගමේ උදවිය කොටුවෙනවා. ආධාර පතා කොහේටවත් යන්න බැහැ. ඒ කාලයට ගමට අවශ්‍ය ආධාර ගුවනින් තමයි ගෙන එන්නේ. ගමට වසර ගණනාවක සිට යතලට පහසුකම් නොමැතිකමින් ගමේ උදවිය දුෂ්කරව ජීවත් වුණේ. ගමේ සිදුවූ සංවර්ධනය නිසා ලංකාගම වැසියන් සතුටින් ජීවත් වෙනවා. 


ලංකාගම පදිංචි සුමිත් චන්දන මහතා (අවු. 48): අපේ ගම පැරණි ගම්මානයක්. එදා හේන් ගොවිතැන් කරලා ජීවත් වුණේ. මේ ගමේ උදවිය පා ගමනින් තමයි ගමන් බිමන් ගියේ. හේන් ගොවිතැනට අමතරව කිතුල් පැණි හකුරු කර්මාන්තය තිබුණා. ඒ දවස්වල ගමේ උදවිය නිෂ්පාදනය කළ කිතුල් පැණි හකුරු කද බැඳගෙන නෙළුවට හෝ දෙණියායට ගිහින් තමයි විකුණා ගෙන එන්නේ. සැතපුම් 18-20 වගේ පා ගමනින් තමයි ගියේ. 1970 වසරේදී ලංකාගමට මුලින්ම පාර කපන්න ආරම්භ වුණා. එදා අඩි පාරක් ලෙස කපාපු පාර තමයි අද මේ කාපට් පාර වුණේ. අපි වින්ද දුක් අපමණයි. අපේ ගම්මාන හැම අතින්ම ස්වයං​පෝෂිතයි. පරිසරය, ආර්ථිකය බෝග, වතාශ්‍රය, දියඇලි, ස්වභාවික පරිසරය හැම අතින්ම ස්වයංපෝෂිත ගම්මානයක් තමයි ලංකාගම. මේ වගේ ගම්මානවල යටිතල පහසුකම් වැඩි දියුණු කර නවීන තාක්ෂණික ලොවට විවෘත කළ යුතුයි. 


ලංකාගම ගංගාරාම විහාරාධිපති ඇල්ලේ ආරියධම්ම හිමි මෙසේ අදහස් දැක්වූහ. 


ලංකාගම ගමේ ජීවත් වෙන්නේ කෘෂි ආර්ථිකයක් ඇති ගැමි උදවිය. මේ ගැමියෝ වසර ගණනාවක සිට අවම පහසුකම් මත තමයි ජීවත් වුණේ. රටේ ජාතික ආර්ථිකයට දායක වන මේ ගැමියන්ට පහසුකම් ලබාදීමෙන් ඔවුන්ගේ ජීවිත මෙන්ම රටේ ආර්ථිකයටද ශක්තිමත් කිරීමට උරදෙන මේ වගේ ගම්මාන සංවර්ධනය කිරීම ගැන අපි සතුටු වෙනවා. අද ලංකාගම ගැමියන් අද කිසිම අඩුපාඩුවක් නොමැතිව තම ජීවන රටාව ගෙන යනවා. 

 


නෙළුව ප්‍රාදේශීය ලේකම් ශාන්ත ප්‍රියදර්ශන මහතා අදහස් දක්වමින්: 


නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙලවර පිහිටි ගම්මානය ලංකාගමයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ආදායම් මාර්ග රැසක් ගෙන එන ප්‍රධාන ගම්මානයක් මේක. ලංකාගම කිතුල් කර්මාන්තය තේ වගාව සුළු අපනයන බෝග, සංචාරක කර්මාන්ය සහ ආදායම් උත්පාදන කරන ගම්මානයක් තමයි ලංකාගම. මේ ගම්මානය දිස්ත්‍රික් දෙකකට මායිම්ව තිබීමත් දෙණියාය නෙළුව යන නගර දෙකට කේන්ද්‍රගත ගම්මානයක්. ස්වභාවික පිහිටීම අනුව සංචාරක කලාපයක් තුළ මෙම ගම්මානය පිහිටීම නිසා මේ ගම සංචාරක ගම්මානයක් බවට පත් කිරීමට ප්‍රමාණවත් පහසුකම් සපයා තිබෙනවා.

 

 

සටහන හා ඡායාරූප
නෙළුව පියරත්න ජයවික්‍රම