• ගිනිපෙට්ටියක්  රුපියල් 40යි ගිනිපෙට්ටි හිඟයි
  • කුඩාම ඉටිපන්දමක් රුපියල් විස්සයි

 

‘එක ගිනිකූරයි මුළු ගෙදරම තිබුණේ 
ඒකෙන් කුප්පි ලාම්පුව දල්වා
ඔබට ලියන්නට ඉඳගත්තා’

ගෙවුණු හැට හැත්තෑව දශකවල ඇසුණු මේ ජනප්‍රිය ගීතය ගැන අද පරපුරට කිවහොත් ඔවුන් හිතනු ඇත්තේ ඊයේ පෙරේද‌ා දවසක නිර්මාණය කළ අලුත්ම ගීතයක් කියාය. මන්ද යත් අද පවතින වාතාවරණයට අනුව ගෙදරක ගිනිපෙට්ටියක්, ඉටිපන්දමක් වත් තිබෙන්නට බැරි නිසාය. 

 

දවසකට පැය තුන හතරක් විදුලිය විසන්ධි කර රට කළුවරේ තියන ආණ්ඩුවක් යටතේ ගිනිපෙට්ටියක් රුපියල් හතළිහකට වත් හොයාගන්නට බැරිව තිබේ. කෙට්ටුම කෙට්ටු හීන්දෑරී ඉටිපන්දමකුත් රුපියල් විස්සකට වැඩි වී තිබේ. එහෙව් එකේ ගෙදරක් හරියේ එක ගිනිකූරකට වඩා තිබෙන්නටද බැරිය. 


හැබැයි ප්‍රශ්න දෙකක් ද ඉතිරි වේ. පළමු වැන්න කුප්පි ලාම්පුවට භූමිතෙල් කොහෙන්ද යන්නය. අද අපේ රටේ පෙට්‍රල්, ඩීසල් මෙන්ම භූමිතෙල් ද හිඟ නිසාය. 


 අනෙක් ප්‍රශ්නය අද පරපුර පෙම් හසුනක් වත් ලියන්නේ නැති වීමය. 

 

අඳුරට ශාප නොකර එක ඉටිපන්දමක් හෝ දල්වන්න යැයි කව්දෝ පණ්ඩිතයකු දුන් උපදේශය මතක් වන්නේ මේ වෙලාවටය. එහෙත් අද ඉටිපන්දමක් ගිනි පෙට්ටියක් හිඟ වූ වාතාවරණයක ඉටිපන්දමක් දල්වා හෝ අඳුර නෙරපා හැරීමට නුපුළුවන. එසේ නම් අප ආයෙත් යා යුත්තේ ගල් යුගයටය. ගලක ගලක් අතුල්ලා ගින්දර නිපදවා ගන්නටය.


ඒ නිසා දැන් මුලින් ලියූ ගීතය අමතක කර දැමුවාට කමක් නැත. එහෙත් වත්මන් අපේ ලංකාවම තියෙන්නේ අඳුරක බව නම් කොහොමටවත් අමතක කරන්නට බැරිය. පෙට්‍රල් පෝලිමේ සිටියත් ගෑස් පොලිමේ සිටියත් එහෙම නැත්නම් වෙන පෝලිමක සිටියත් අද අප කරන්නේ අර කී අඳුරට ශාප කිරීමය. 


අඳුරට ශාප නොකර එක ඉටිපන්දමක් හෝ දල්වන්න යැයි කව්දෝ පණ්ඩිතයකු දුන් උපදේශය මතක් වන්නේ මේ වෙලාවටය. එහෙත් අද ඉටිපන්දමක් ගිනි පෙට්ටියක් හිඟ වූ වාතාවරණයක ඉටිපන්දමක් දල්වා හෝ අඳුර නෙරපා හැරීමට නුපුළුවන. එසේ නම් අප ආයෙත් යා යුත්තේ ගල් යුගයටය. ගලක ගලක් අතුල්ලා ගින්දර නිපදවා ගන්නටය. 


ගලක ගලක් අතුල්ලා ගින්දර නිපදවා ගත් කාලය අවසන් කළේ 1680 වසරේදී රොබට් කොයිල් විසින් ගිනිකූරක් නිපදවීමෙන් අනතුරුවය. සල්පියුරික් අම්ලයේ ගිල්වීමෙන් නිපදවුණු මේ ගිනිකූර ගෘහස්ත පාවිච්චියට අනාරක්ෂිත විය. ඒ නිසා ආරක්ෂිත ගිනිකූරක් නිපදවා ගැනීමට අවශ්‍ය විය. එහෙත් ඒ මහඟු අවස්ථාව උදාවූයේ තවත් සියවස් එක හමාරකට පමණ පසුවය. ඒ බ්‍රිතාන්‍ය ජාතික ජෝන් වෝකර් විසින් ආරක්ෂිත ගින්කූරක් නිපදවීමත් සමඟය. 


ඒ ගිනිකූර වඩාත් හුරුබුහුටි ලෙස හදා ගිනිපෙට්ටියක බහාලන ලද්දේ තවත් අවුරුදු 18 කට පසුව ස්වීඩනයේ මහාචාර්යවරයකු වූ බ්‍රස්ටාෆ් ෆැස්ට් විසිනි. 


ඉනික්බිති මේ ගිනිපෙට්ටිය බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලෝකයේ සෑම රටකම පාහේ ව්‍යාප්ත වූයේ ගෙදරකට නැතුවම බැරි මෙවලමක් වෙමිනි. ලී හෝ කඩද‌ාසි හෝ පුංචි කූරක කෙළවරේ පොටෑසියම් ක්ලෝරේට් සහ රතු පොස්පරස් මිශ්‍රණයක් ආලේප කිරීමෙන් හදාගත් ගිනිකූර ගින්දර බිංදුවක් ක්ෂණිකව උපද්දා ගැනීමට මඟ පෙන්නුවේය. 


 ඔය ගිනි පෙට්ටිය ලංකාවටද ගෙනාවේය. ඒ 1917 දී ආරම්භ කළ දොන් කරෝලිස්ගේ ‘ලංකා නිරාපද ගිනිකූරු සමාගම’ මගිනි. පිටරටකින් ආනයනය කළ මේ ගිනිකූරු ලංකාවේදී පෙට්ටි වල අසුරා වෙළෙඳපොළට නිකුත් කෙරිණි. හැබැයි 1934 දී ලංකා ලයිට් නමින් ගිනිකූරු කම්හලක් දොන් කරෝලිස්ලාම පටන් ගත්තේය. මොරටුවේ හැදූ මේ කම්හලේ නිෂ්පාදනය කළේ ලී ගිනිකූරුය. අලියා ගිනිපෙට්ටි ලෙස ජනතාව අතර ප්‍රචලිත වූ මේ ගිනිපෙට්ටියේ ලේබලයේ වූයේ නම් එකිනෙකා දෙස බලා ඉන්නා අලි දෙන්නෙකි. ලේබලයේ සඳහන් වූයේ ද ‘ටූ එලිපන්ට්ස්’ යන ඉංග්‍රීසි වචන දෙකයි. 


ඉන් කලකට පසු තවත් ගිනිපෙට්ටි කර්මාන්තශාලා ලංකාවේ බිහිවුණු අතර ඉන් එකක නම වූයේ ඇත්කඳ ලිහිණියාය. මෙහි ලේබලයේ වූයේ ඇත්කඳ ලිහිණියා අලියකු ඔසොවා ගෙන යන චිත්‍රයකි. ඒ කාලයේ තව තවත් ගිනිපෙට්ටි කම්හල් බිහිවුණු අතර ඉන් නිකුත් වූ සමහර ගිනිපෙට්ටි වල නම් මෙසේය. 
ටූ රැබිට්ස්, ත්‍රී ජෙම්ස්, ස්පෙෂල් ට්‍රේන්, ද නාග, ස්වස්තික. 


1985 දී ඉටියෙන් නිෂ්පාදිත ගිනිකූරු වෙළෙඳපොළට නිකුත් වූ අතර එහි වෙළෙඳ නාම වූයේ සූර්යාය. ඊටත් පසුව ශක්ති, ජෙට්, ඩයමන්ඩ්, පැන්ඩා, ඇලඩින් වැනි නම් වලින්ද ඉටි ගිනිපෙට්ටි වෙළෙඳපොළට නිකුත් විය. 
සාමාන්‍යයෙන් මෙකල ගිනි පෙට්ටියක මිල වූයේ රුපියල් දෙකකි. හැබැයි යුද්ධ කාලයේ උතුරේ ගිනි පෙට්ටිය, කළුනික වැනි විය. හේතුව ගිනි පෙට්ටිය තහනම් භාණ්ඩයක් වීමය. එහෙත් හොර රහසේ උතුරට ගිනිපෙට්ටි ගෙන ගිය අතර ගිනිපෙට්ටියක් රුපියල් 20 ක් තරම් මිල විය. 


2018 අවුරුද්දේ ලංකාවේ ගිනිපෙට්ටි හිඟයක් ඇතිවිය. ඒ වන විට ගිනිපෙට්ටි කම්හල් එකොළහක් ලංකාවේ පැවතිණි. ඒ සියල්ලේම සේවකයන් අටදහසක් පමණ සේවය කළ බව ද වාර්තා විණි. ගිනිපෙට්ටි නිෂ්පාදකයන් එකතුව සංගමයක් ද පිහිටුවා ගෙන තිබූ අතර එයට භාවිත කළ නම වූයේ ලංකා ආරක්ෂිත ගිනිපෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමය යන්නයි. මේ සංගමයට අනුව 2018 හිඟයට හේතුව පොටෑසියම් ක්ලෝරේට් සහ රතු පොස්පරස් හිඟයයි. මේ ද්‍රව්‍ය ලබාගත යුතු වූයේ ආරක්ෂක අංශ හරහා වූ බැවිනි. 


ගිනිපෙට්ටිය ගැන ඔවැනි කතා අහන අතරවාරයේ අපූරු ගිනිපෙට්ටි ලෝලියකු ගැන පුවතක් ද අසන්නට ලැබිණි. සංචාරක මඟපෙන්වන්නකු වූ ඔහු යාපනයේ පදිංචි යෝගලනාදන්ය. ඔහු ළඟ රටවල් 53 ක ගිනිපෙට්ටි එකතුවක් තිබිණි. ඔහුට හමුවන හැම සංචාරකයකුගෙන්ම ඔහු ගිනිපෙට්ටියක් ඉල්ලා ගත්තේය. 
අඳුර බිඳ දමන්නට ගිනි කූරක් දැල්වීමෙන් පුළුවන. එහෙත් ඒ ආලෝකය මිනිත්තුවක්වත් තිබෙන්නේ නැත. ගිනිකූර සැනෙන් දැල්වෙන නිසාය. එබැවින් දල්වන ගිනිකූරෙන් ඉටිපන්දමක් පත්තුකර නොගත්තොත් හැමද‌ාමත් අඳුරට සාප කරමින් සිටින්නට සිදුවේ. මේ නිසාම ගිනිපෙට්ටියේ සහෝදරයා වන්නේ ඉටිපන්දමය. ගිනි පෙට්ටියත් සමගම ඉටිපන්ද​ෙම්ත් මිල ගණන් එකටම ඉහළ යන්නේද සහෝදරත්වය නිසා විය හැකිය. ඒ නිසා ගිනිපෙට්ටිය ගැන කතාකළ අපට ඉටිපන්දම ගැන ද කතා නොකර සිටින්නට නොහැකිය. 
ඉතිහාසයේ කාල වකවානු පිරික්සීමේදී අවබෝධ වන දෙය නම් ඉටිපන්දම, ගිනිපෙට්ටියට වඩා වයසින් වැඩි බවය. ලෝකයේ පළමු වැනි ඉටිපන්දම හදා ඇත්තේ ක්‍රිස්තු පූර්ව 200 දී පමණය. ඒ ද චීන ජාතිකයන් අතිනි. ඔවුන් එය නිෂ්පාදනය කළේ තල්මසුන්ගේ මේදයෙනි. ක්‍රිස්තු පූර්ව 500 දී පමණ රෝමානුවන්ද ඉටිපන්දම් හදන්නට පටන් ගෙන තිබේ. ස්වභාවික මේද මී ඉටි ආදිය ඔවුන් මේ පන්දම හදන්නට යොදා ගත්හ. 
එදා ඔවුන් ඉටි පන්දම හැදුවත් එය භාවිතයට ගැනුණේ ඉඳහිටය. ඉටිපන්දම මහාපරිමාණයෙන් භාවිත වූයේ මධ්‍යකාලීන යුගයේ පටන්ය. 13 වන සියවසේදී එංගලන්තය මෙන්ම ප්‍රංශය ද ඉටිපන්දම් හදන්නට පටන් ගෙන තිබිණි. එකල පැවැති පල්ලියේ උත්සව වලදී ඉටිපන්දමට ලොකු ඉල්ලුමක් ඇතිවිය. නමුත් ඉටිපන්දමට හොඳ වෙළෙඳපොළක් ලැබුණේ 19 වැනි සියවසේත් මැදක් වූවාට පසුවය. 1834 දී එංගලන්තයේ ජෝසෆ් මෝගන් ඉටිපන්දම් හදන්නට යන්ත්‍රයක් හැදුවේය. එමගින් ඔහු පැයකදී ඉටිපන්දම් 1500 පමණ නිෂ්පාදනය කළේය. 1850 දී පමණ ජේම්ස් යන්ග් ගල්අඟුරු හා තෙල් වලින් පැරෆින් ඉටි ආසවනය කරන ශිල්පය ඉගෙන ගත්තේය. එමගින් ඉටිපන්දමට අමුතු ආලෝකයක් ලැබිණි. 19 වැනි සියවසේ අන්තිම හරියේදී ලෝකයෙ ප්‍රමුඛ පෙළේ ඉටිපන්දම් නිෂ්පාදකයා වූයේ ලන්ඩනයේ ප්‍රයිස් කර්මාන්ත ශාලාවයි.

 

අඳුර බිඳ දමන්නට ගිනි කූරක් දැල්වීමෙන් පුළුවන. එහෙත් ඒ ආලෝකය මිනිත්තුවක්වත් තිබෙන්නේ නැත. ගිනිකූර සැනෙන් දැල්වෙන නිසාය. එබැවින් දල්වන ගිනිකූරෙන් ඉටිපන්දමක් පත්තුකර නොගත්තොත් හැමද‌ාමත් අඳුරට සාප කරමින් සිටින්නට සිදුවේ


අද ඉටිපන්දම ලෝකයේ කොයිකාටත් නැතුවම බැරි දෙයක් වී තිබේ. විශේෂයෙන් උපන්දින කේක් ගෙඩියකට ඉටිපන්දම් බර ගණනාවක් ගසයි. සමහරු උපන්දිනයේදී සැමරෙන අවුරුදු ගණනට ඉටිපන්දම් දල්වයි. හැබැයි කේක් ගෙඩිය කපන්නට කලින් උපන් දින සමරන්නා සියලු ඉටිපන්දම් නිවා දමයි. 


විදුලිය ලැබෙන්නට කලින් දුර බැහැර ගම්වල උදවිය රෑ පානේ ගමන් බිමන් ගියේ පොල් කටුවකට ඉටිපන්දමක් සවිකර ගෙන ඒ ආලෝකයෙනි. වෙසක් දාට බකට් පත්තු කළේද ඉටිපන්දම් වලිනි. ඉටිපන්දම සවිකරන්නටම කොටසක් හැම ‘බකට්’ එකකටම තිබිණි. ඉතින් ඉටිපන්දම සවිකර බකට් එක එල්ලිය යුතු වූයේ හරිම පරිස්සමටය. ඉටිපන්දම චුට්ටක් හෝ ඇල වුණොත් බකට් එකට ගිනි ඇවිළෙන නිසාය. 
කෙසේ වෙතත් අද නම් අපි ඉටිපන්දම පත්තු කරන්නේ රෑට ‘ලයිට්’ කැපූ විටය. ඉටිපන්දමත් ගිනිපෙට්ටියත් දෙන්නාම අද ගණන් උස්සා ඇත්තේ අද රෑට රෑට ‘ලයිට්’ කපන නිසාය. ඒ දෙන්නාගේ මේ ‘බොරු ගණන්’ කවදා බහී දැයි දන්නවා නම් ඒ ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය’ පමණි. 

 

 

සටහන
ශාන්ත කුමාර විතාන