IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කන්නංගර මහත්තයගෙ මී මුණුබුරාට තාම ඉස්කෝලයක් නෑ

නොමියෙන මතක

  • රාජ්‍ය සේවයේ ඉහළටම ගිය කන්නංගර මිනිපිරිය කියන කතාව   
  • සීය හිටිය නිල නිවසෙ තමයි දැන් මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමා ඉන්නෙ   
  • නාවික සෙබළා රජීව්ට ගහනවා මම අමාත්‍යාංශයේ ඉඳලා බලා හිටියා. 
  •  ​ගෙදර ගෘහභාණ්ඩවලටත් වඩා ගේ පිරිලා තියෙන්නේ පොත්වලින්.

 නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලිය ලත් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ මිණිපිරිය වන හසිතා බාලසූරිය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ධුරය ද දැරුවාය. එමෙන්ම රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස වසර ගණනාවක් රාජකාරි කළාය. තවත් ආයතන කීපයක මුල් පුටු හෙබවූ ඇය මෙවර ‘‘නොමියෙන මතක’’ හා එක් වේ.   


මේ කතාව පටන්ගන්න වෙන්නෙම ඔබේ සීයාගෙන්. ඒ කියන්නේ කන්නන්ගර මහත්තයාගෙන්...   
ඒක නම් ඇත්තටම ආඩම්බරයක්. පුංචි කාලේ අපි හිටියෙත් සීයත් එක්ක සීයගෙ ගෙදර. මම ඉපදුණෙත් සීයාට ඇමැතිවරයෙක් විදියට ලැබුණු නිල නිවසෙ ඉද්දි. ඒ ගෙදර තමයි දැන් ඔය මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමා ඉන්නෙ. දැන් විජේරාම මාවත කිව්වට ඉස්සර ඕකට කිව්වෙ මැකාති පාර කියලා. මගේ පොඩි කාලෙ ගෙවුණෙ ඒ ගෙදර. 1952 කැබිනට් එකේ සීයා පළාත් පාලන ඇමැති. මම උපන්නේ 1953. අපි ඔය ගෙදර හිටියා 1956 විතර වෙනකම්.   


අපේ සීයා ගැන විස්තර මම අමුතුවෙන් කියන්න දෙයක් නෑ මුළු රටම දන්නවනේ. රටට කොච්චර ලොකු චරිතයක් වුණත් අපිට ඉතින් සීයම තමයි. හරිම සරල ජීවිතයක් ගත කෙරුවෙ. අපිව වඩාගෙන හුරතල් කරනවා. සීයයි මායි හරිම එකතුයි. අපිට පුදුම ආදරයක් තිබුණෙ. කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කළත් අපි ගැන බලන්න කාලය වෙන් කර ගත්තා. කොච්චර ලොකු බලතල තනතුරු තිබුණත් හරිම සරල ජීවිතයක් තමයි සීයා ගත කළේ. අපේ පාර්ලිමේන්තුවටත් ඉස්සෙල්ලම රෙද්ද බැනියම ඇන්දෙ සීයා කියලනේ කියන්නේ.

   
සීයා ඇමැතිකම් කරන කාලේ මම ගොඩක් පොඩියි. දේශපාලනයෙන් කාර්යබහුල නොවුණට පස්සේ ඊට වඩා අපි කිට්ටු වුණා. සීයා තමයි මට පාඩම් කියා දෙන්නෙත්. ආච්චිත් ඒ වගේම අපිට ආදරෙයි. සීයාගෙ වැඩවලට ගොඩක්ම පිටිපස්සේ ඉඳලා සහාය දුන්නේ ආච්චි. සීයා වයසට ගියාම අපේ තාත්තා තමයි බලාකියා ගත්තේ. දැන් අපි ඉන්න තිඹිරිගස්යාය ගෙදර තාත්ත ගත්තේ අපි ඉස්කොලෙ දාන්න ඕනැ නිසා. විශාකා විද්‍යාලයට පයින් යන දුරනේ අපේ ගෙදර ඉඳලා. මම ගියේ විශාකා එකට.   


ඔබ විශාකා විද්‍යාලයට ඇතුළත් කරන්න ඔබේ සීයා, ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා වෙච්ච කන්නන්ගර මහත්තයා ඔබත් එක්ක පෝලිමේ හිටියලු නේද?   


ඔව්, මං ඉස්කෝලෙට ඇතුළත් කරපු දවසෙ සීයා තමයි මාව එක්ක ගියේ. මම තාත්තත් එක්ක තමයි ඉස්කෝලෙට ඇතුළත් වෙන්න යන්න ඉඳලා තියෙන්නෙ. අම්මල දැන් වගේ ළමයි එක්ක ඉස්කෝල ගානෙ යන්නෙ නෑනේ ඉස්සර අපේ තාත්ත එතකොට ගාල්ල කඩවත්සතරෙ ඩී.ආර්.ඕ. තාත්තට නොගිහින් බැරි රාජකාරියක් නිසා තාත්තා සීයට කියල තියෙනවා මාව එක්ක ගිහින් ඉස්කෝලෙට ඇතුළත් කරන්න කියලා. සීයයි මමයි පෝලිමේ ඉන්නව දැකලා ප්‍රින්සිපල් ටීචර් කෙනෙකුට කිව්වලු දන්නවද අර ඉන්නේ කවුද කියලා. එන්න කියලා පුටුවක් දීලා වාඩි කරවන්න කියලා. එතකොට ප්‍රින්සිපල් හිටියේ ඉන්දියාවෙ නෝනා කෙනෙක් නම පුලිමුඩ්     . සීයල කවදාවත් තමන්ගේ ප්‍රසිද්ධිය හෝ බලය පාවිච්චි කරල කිසිම දෙයක් කරගන්න ගියේ නෑ. කන්නන්ගර මහත්තයගෙ දරු මුණුපුරෙක් කියලා අපිට ඉස්කෝලවලිනුත් විශේෂ සැලකිල්ලක් තිබුණේ නෑ. අපි ඒවා බලාපොරොත්තු වුණෙත් නෑ. අපි කිසිම අවස්ථාවක සීයගෙ නම පාව්චිචි කරල කිසිම දෙයක් කරගෙනත් නෑ මේ වන තුරු. අද අපේ ගෙදර හතර වටේම ඉස්කෝල තිබිලත් මගේ දුවගෙ පුතාට තාම ඉස්කෝලයක් ලැබුණෙ නෑ. ගිය ඉස්කෝල තුනකින්ම කිව්වෙ අපිට අහුවෙන්නෙ නෑ කියලා. ළඟම තියෙන ඒවට අපි ගියේ. අපි අපේ විස්තර කියන්න ගියෙත් නෑ. කොහොමහරි අද කන්නන්ගර මහත්තයගේ මී මුණුපුරාට ඉස්කෝලයක් නෑ යන්න. ඒ කාලෙ අපිට කෝටා එකක් තිබුණා අපේ දරුවෙක් ලංකාවේ ඕනෑම ඉස්කෝලෙකට දාන්න. අපි කවදාවත් ඒක අරගත්තෙ නෑ.   


අපේ අම්මලත් සීයට අගෞරවයක් වෙන කිසිම දෙයක් කෙරුවේ නෑ. අපේ අම්ම කන්නන්ගර මහත්තයගෙ එකම දුවනෙ. අම්මා කුසුමා සෙනෙවිරත්න. අම්මට මල්ලි කෙනෙක් හිටියා. කසාද බඳිනකම් මාමත් අපේ ගෙදර හිටියේ.   


පාරිපාලන සේවයට ඔබ එකතු වෙන්නේ කොහොමද?   


මම කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි පෙළ ඉහළ උපාධියක් ලැබුවා. සංවර්ධන අධ්‍යයනවේදී විශේෂවේදී උපාධිය කියලා එකක්. දැන් ඒක නෑ. 74-78 කාලෙ අපි හිටියේ. මගේ මහත්තයත් මගේ බැච් එකේමයි. පස්සෙ අපි කසාද බැන්ද‌ා. මඟුලට අත්සන් කෙරුවෙ ජේ.ආර්. ජයවර්ධන මහත්තයයි. ලලිත් ඇතුලත්මුදලි මහත්තයයි. ඒ පවුලෙ හිතවත්කමට.   


මම ශ්‍රී ලංකා පරිපාලන සේවා විවෘත විභාගය කෙරුවේ 1981 දී පත්වීම හම්බවුණේ 1983 අවුරුද්දේ.

   
පළවෙනි රාජකාරිය වුණේ මොකක්ද?   


මුල්ම රාජකාරිය කරන්න අවස්ථාව හම්බවුණෙ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් හැටියට. එතකොට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් විදියට හිටියේ කර්නල් සී.ඒ. ධර්මපාල. එතුමාගෙන් පස්සෙ ජනරල් සේපාල ආටිගල මහත්තයා ලේකම් වුණා. 82 ඉඳල 89 වෙනකම් මම ආරක්‍ෂක අමාත්‍යාංශයේ වැඩ කළා. කිසිම කරදරයක් තිබුණෙ නෑ වැඩ කරන්න. දේශපාලන බලපෑම් එහෙම ආවෙත් නෑ. අපි අපේ රාජකාරිය කෙරුවා. ජනාධිපති, අගමැති හා ඇමැතිවරු එයාලගෙ රාජකාරිය කෙරුවා.   


සෙන්සර් බෝඩ් එකෙත් කාලයක් ඔබ හිටියා නේද?   


ඔය කාලෙම තමයි ඒකත් මට ලැබුණේ. 

 
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලේ ලේකම් තනතුරටත් මාව පත් කළා. ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ කරන අතරෙම රැඟුම් පාලක මණ්ඩලේ තිබුණෙත් අපේ අමාත්‍යංශයේ යටතේමයි.   


ඒ කාලෙන් පස්සේ ඒක ගියා ප්‍රවෘත්ති අමාත්‍යංශය යටතට.   


මගේ පරිපාලන සේවා රාජකාරි ජීවිතෙන් වැඩිම කාලයක් හිටියේ ආරක්ෂක ආමත්‍යංශයේ. අවුරුදු දහඅටක් හිටියා දෙපාරකට.   


83 ඉඳලා 89 වෙනකම් හිටියා. ඊට පස්සේ වතාවක් ආපහු ඇවිත් 2013 දී මම විශ්‍රාම යනකම්ම හිටියා.   
රැඟුම් පාලක මණ්ඩලේ රාජකාරිය ආශ්වාදජනකයි. චිත්‍රපටි බලනවා, වේදිකා නාට්‍ය බලනවා. හැම එකම අපේ අත්සනින් තමයි ප්‍රදර්ශනයට නිර්දේශ වෙන්නේ. එතකොට මගේ අත්සන නැතුව චිත්‍රපටයක ෂෝ කාඩ් එකක්වත් ප්‍රදර්ශනය කරන්න බෑ. අපේ සාමාජිකයෝ හිටිගමන් චිත්‍රපටි හෝල්වලට කඩා පනිනවා. අපි වේදිකා නාට්‍ය බැලුවේ සුදර්ශියෙ හරිම ආසාවෙන් අපි ඒ රාජකාරිය කෙරුවෙ. මම අවුරුදු පහක් විතර සෙන්සර් බෝඩ් එකේ හිටියා.   


ආරක්‍ෂක අමාත්‍යාංශයේ පළවෙනි සේවා මුරේදි අපේ රටේ පැවතුණු යුද්දෙ පටන් ගන්නවා දැකපු ඔබ දෙවනි සේවා මුරේදී යුද්දෙ නිමා වෙනවා දැක්කා. ඒක විශේෂ අවස්ථාවක් නේද?   


මම හිතන විදියට ඒ දවස් දෙකේම අමාත්‍යාංශයේ රාජකාරි කරපු එකම නිලධාරියා මම. 1983 ජූලි 23ත් මම හිටියා. 2009 මැයි 18ත් හිටියා. පටන් ගත්තේ සහකාර ලේකම් විදියට යුද්දෙ ඉවර වෙනකොට මම අතිරේක ලේකම්. යුද්දෙ ගැන හොඳ අවබෝධයක් ඒ නිසා මට තියෙනවා. ඒක කොහොමද ඇති වුණෙ කොහොමද ව්‍යාප්ත වුණේ කොහොමද ඉවර වුණේ කියලා. ත්‍රිවිධ හමුදාව සම්බන්ධ විවිධ වැඩ කරන්න සිද්ධ වුණා අපිට. හමුදා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල රාජකාරියෙ ඉඳල නොයෙක් වැඩ කළා. සේවා වනිතා ඒකකය පටන් ගත්තෙත් මම ඉද්දි. ඒකෙන් සමාජ සුබසාධන වැඩ ගොඩාක් අපි කෙරුවා.   


යුද්දෙ පටන් ගත්ත කාලෙ අපේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ මහත්තුරු මාව ආරක්‍ෂාකාරීව ගෙදරට ගෙනත් බස්සනවා. 1983 ජූලි කලබල දවස්වල එහෙම බොහොම බයෙන් සැකෙන් තමයි රාජකාරි කළේ.   


ඉන්දු-ලංකා ගිවිසුමට රජිව් ගාන්ධි ආපු වෙලාවේ පෙරඩ් එකේ ඉඳපු සෙබළෙක් රජීව් ගාන්ධිට බයිනෙත්තුවෙන් පහර දීපු සිද්ධිය මම ඇස් දෙකෙන් දැක්කා. අපි අපේ කාර්යාලෙ ජනෙල්වලින් ඒක දිහා බලාගෙන හිටියේ. මම එතකොට සහකාර ලේකම්. ඒ සිද්ධිය මට හොඳට මතකයි. අපිටත් හිතාගන්න බැරි වුණා. ඒ උත්සවේ ගොඩක් වාගේ අපේ අමාත්‍යාංශය තමයි සංවිධානය කෙරුවේ.   


89 දී මම ශිෂ්‍යත්වයක් ලැබිලා කැනඩාවට ගියා. කාල්ටන් යුනිවර්සිටි එකට තමයි තේරුණේ. ඒත් ඒ වෙනකොට අපේ රටේ තිබුණු භීෂණ වාතාවරණය නිසා මම ඒ වැඩේ අතරමග නතර කරලා දාලා ආවා. අපේ දුවත් පොඩියි ඒ වෙද්දී. 

 
ඒ ඇවිත් කොහාටද ගියේ?   


අපහු හිටපු තැනටමයි ගියේ. මට වෙනත් අංශයක් බාර දෙන්නම් කියලා ලේකම් මට කිව්වා. ඔය අතරේ යූ.බී. විජේකෝන් එක්ක මම කතා කරපු වෙලාවක එයා මාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැම්මා. එයා අපේ තාත්තගෙ හිතවතෙක්. ඒ ගොල්ලො ඩී.ආර්.ඕ. ලනේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති අංශය පටන් ගත්තේ අපි කීප දෙනෙක් එතන ටික කාලයක් වැඩ කරලා. මම මරුවක් හදාගත්තා ඉඩම්, වාරිමාර්ග හා මහවැලි අමාත්‍යාංශයට. ඇමැති සිටියේ ගාමිණී දිසානායක, ලොකු අමාත්‍යාංශයක්. එතන සහකාර ලේකම් විදියට පත්වුණා. එතනත් අවුරුද්දක් විතර ඉඳලා මැනුම් දෙපාර්තමේන්තුවෙ දෙවෙනියා වෙලා එතෙනට ගියා. එතනත් අවුරුදු දෙක තුනක් වැඩ කළා. විශාල දෙපාර්තමේන්තුවක් ඒක. 10564ක් හිටියා කාඩර් එක. ඒකෙ පාලන පැත්ත තමයි මට බාරව තිබුණේ. එතනත් ටිකක් වැඩ කරද්දී මට හිතුණා තවත් අංශයක් ගැන අවධානය යොමු කළොත් හොඳයි කියලා. ඒ අතරේ ආරංචි වුණා සංස්කෘතික අමාත්‍යාංශයේ සහකාර ලේකම් තනතුරක වේකන්සියක් තියෙනවා. මම ඒක ගැන හොයලා බලලා එතෙනට ගියා. එතන වැඩ කරගෙන ඉද්දී දවසක් වි.ජ.මු. ලොකු බණ්ඩාර මැතිතුමා ටෙලිෆෝන් එකෙන් කතා කෙරුවා. මොකද එතුමා අපේ සීයට ගොඩක් ගරු කරනවා. මම ඒ වෙද්දී නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෙලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංයට යන්න සූදානමින් හිටියේ. ඒක ආරංචිවෙලා තමයි වි.ජ.මු ලොකු බණ්ඩාර මහත්තයා මට කතා කළේ. කතා කරලා මෙහෙමයි කිව්වේ. ‘‘අනේ ළමයෝ කොහේද ඔය ළමයා අපිව දාල මේ යන්න හදන්නේ. මෙන්න මේ දැරණියගලට ටිකක් උදවු කරන්නකො’’ කියලා. මට බාරගන්න කිව්වෙ නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පරිපාලන. ඒකෙ හිටියේ ශිරාන් දැරණියගල ඒ කාලෙ. අමාත්‍යාංශයේ ඉන්න අතරෙම පුරාවිද්‍යා එකෙත් වැඩ කෙරුවා. උදේ අමාත්‍යාංශයේ වැඩ කරලා හවස පුරා විද්‍යා එකේ වැඩ කරනවා. මම ඒක ආසාවෙන් කරපු වැඩක්. මොකද මම ආසයි ඉතිහාසයට. ඒකෙ තියෙනවා පුරා විද්‍යා උපදේශක සභාව කියලා එකක්. ඒක රැස් වෙන්නේ සභාපති විදියට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්ගේ මූලිකත්වයෙන්. සභාපති නැති වාර තුනකදී මම ඒකේ මූලිකත්වය ගත්තා. එක දවසක් ඔය රැස්වීමේ සභාපතිත්වය දරද්දී සාමාජිකයෝ අතරේ මට පොඩි විරුද්ධත්වයක් ආවා. ඒකෙ හිටියේ සද්ධාමංගල කරුණාරත්න, සේනක බණ්ඩාරනායක, ගුණපාල සේනාධීර, පණ්ඩිත් වෙ.වි අබේගුණවර්ධන වගේ අය. එතකොට සද්ධාමංගල කරුණාරත්නගෙ දුවයි ගුණපාල සේනාධීරගෙ දුවයි මගේ ක්ලාස්මේට්ලා විශාකා එකේ. ඒ නිසා ඒ අයගෙ දරුවෙක් වගේනෙ මම. ඒ අතරින් සමහරෙකුට මගේ මූලිකත්වයෙන් රැස්වෙන එක හරි මදි වගේ වුණා. මම එයාලට රැස්වීම් කාලයේ තිබුණු බෙල් මහත්තයගෙ පිංතූරේ පෙන්නලා කිව්වා බෙල් මහත්තයත් සිවිල් සර්වන්ට් කෙනෙක් මමත් සිවිල් සර්වන්ට් කෙනෙක්. මේ තනතුර මට ලැබුණේ ඒ නිසා. ඒක හන්දා ඉන්න කෙනෙක් ඉන්න යන කෙනෙක් යන්න මම රැස්වීම පවත්වනවා කියලා. එදා රෑ වෙ.වි. අබේගුණවර්ධන මහත්තයා කතා කරලා මට කියනවා ‘‘ඔයා හරි හොඳ වැඩක් තමයි උදේ කෙරුවේ’’ කියලා. එතුමා කියනවා මාව කන්නන්ගර මහත්තයගෙ මිණිපිරිය කියලා පෙන්නුවා කියලා. මට එ් කතාවට ආඩම්බරයක් ඇති වුණා.   


ඊට පස්සෙ කොහේද වැඩ කරන්න ලැබුණේ?   


දවසක් අහම්බෙන් වගේ ලලිත් ඇතුලත්මුදලි ළඟ වැඩ කරපු දමිත් සිල්වා කියන පුද්ගලයා හම්බවෙලා මට කිව්වා අන්න ඇතුලත්මුදලි මැඩම් ඔබතුමියව හොයනවා ඉක්මනට ගිහින් හම්බවෙන්න කියලා. එතකොට ශ්‍රීමතී, චන්ද්‍රිකා රජයේ ප්‍රවාහන ඇමැති විදියට පත්වෙලා. එයා මාව හොඳට දන්නවා. මොකද අපි සේවා වනිතා එකේ එකට වැඩ කළානේ. මාව එතෙන්ට ගත්තා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් විදියට. එතකොට ශ්‍රීමතී ඇතුලත්මුදලි යටතේ ප්‍රවාහන, පරිසර, වනිතා කටයුතු කියන විෂයන් තුනම තිබුණා. මගේ බැච් එකේ ඉස්සෙල්ලම ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වුණේ මම. අපි බොහොම හොඳට වැඩ කළා. ප්‍රශ්න එහෙමත් ආවා. ප්‍රවාහන අමාත්‍යංශයේ යුනියන් ප්‍රශ්න එහෙම හරියට ආව ඒ කාලෙ. ඒත් අපි ඒවට මුහුණ දුන්නා. ශ්‍රීමතීගෙන් පස්සේ ආවේ ෆවුසි ඇමැතිතුමා.   


ඔබ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිගෙ ළඟට යන්නේ කොහොමද?   


ජනාධිපතිතුමිය ළඟ වැඩ කරපු ගනේගල කියන මගේ හිතවත් මහත්තයෙක් මට කතා කරලා කිව්වා චන්ද්‍රිකා ජනාධිපතිතුමිය හොයනවා හොඳට වැඩ කරන්න පුළුවන් දෙතුන් දෙනෙක්, ඔයත් බයෝඩේට එක එවන්න කියලා. මම යැව්වා. ඉන්ටර්විව් එකට දිනයක් ආවා. මම ඒකටත් ගියා. මම හිතුවෙ ජනාධිපති ලේකම් බාලපටබැඳි වගේ කවුරුහරි වෙන්න ඇති සම්මුඛ පරීක්‍ෂණය කරන්නේ කියලා. ඒත් මාව ඉන්ටර්වීව් කළේ චන්ද්‍රිකා ජනාධිපතිතුමියමයි. ඊට කලින් එතුමිය හමුවෙලා දැන හැඳුනුම්කමක් තිබුණෙවත් නෑ මාව තේරුණා ඒකෙන්. මැඩම් බාලපටබැඳි මහත්තයට මං ගැන කියල තිබුණා. ‘‘බාලා ඔන්න මම නෝනා කෙනෙක් එවනවා අදම එයාව ගන්න. නැත්නම් එයාව අපිට නැතිවෙයි. කියල චන්ද්‍රිකා මැඩම් කියලා තිබුණා එදා ඉඳන් එතුමියගෙ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් විදියට මම වැඩ කරන්න පටන්ගත්තා. මට පැවරුණ ලොකු වගකීමක් අමාත්‍යංශ නවයක් මම සම්බන්ධීකරණය කළා. චන්ද්‍රිකා මැඩම්ගෙ මේසේ එහා පැත්තේ මේසේ තමයි මට වැඩ කරන්න ලැබුණෙ. ආණ්ඩු පෙරළියත් එක්ක ඒ රාජකාරි වෙනස් වුණා. යූ.එන්.පී. ආණ්ඩුව ආවනේ ඊට පස්සේ අපේ අංශවල වැඩ එහෙමම ඇණ හිටියා.   


එතකොට මොකද කළේ?   


ආපහු මම රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට ගියා. ඒක මට සුපුරුදු තැනනේ. එකට වැඩ කරපු පරණ කට්ටියත් මුණ ගැසුණා. රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය මගෙ දෙවැනි ගෙදර වගේ. විශ්‍රාම යන තුරුම මම එතන තමයි හිටියේ. 2013 අවුරුද්දේ තමයි මම විශ්‍රාම ගියේ. එතකොට අපේ ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහත්තය. මම විශ්‍රාම යද්දී ලේකම්තුමා ඇතුළු කට්ටිය මට හොඳ සමුගැනීමේ උත්සවයක් සූදානම් කළා. යුද්ධය ඉවරයක් වෙනවා දකින්න ලැබීම ලොකු සතුටක්. පරිපාලන පැත්තෙන් හරි ඒකට දායක වෙන්න ලැබීමත් ලොකු දෙයක්. යුද්දෙ ආරම්භ වෙද්දිත් ආරක්ෂක අමාත්‍යාංශයේ ඉඳලා යුද්දෙ ඉවරවෙනකොටත් එතන ඉඳලා ඒක දකින්න ලැබීම ලොකු දෙයක්නෙ. ඉතින් අපේ ළඟ ජාති භේද ආගම් භේද නෑ. ඒත් රට සාමයෙන් පවතින්න ඕනැනේ. මගේ බෑණා දෙමළ ජාතික කෙනෙක්. එයා දෙමළ හින්දා අපි එක ගෙදර සතුටින් ඉන්නවා. යුද්දෙ ඉවර වුණේ නැත්නම් මේ වෙද්දී මිනිස්සු කී දෙනෙක් අහිමි වෙලාද?   
2013 මාර්තු මාසේ මගේ හැටවෙනි උපන් දිනය දවසේ තමයි මම දීර්ඝ පරිපාලන ජීවිතේට සමුදුන්නේ එදා එඳලා ගෙදරට වෙලා පොත්පත් එක්ක ගත කරනවා. පොතපතට ලොකු ඇබ්බැහියක් තියෙන්නේ. අපේ ගෙදර ගෘහ භාණ්ඩවලටත් වඩා ගේ පිරිලා තියෙන්නේ පොත්වලින්.

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (4)

කන්නංගර මහත්තයගෙ මී මුණුබුරාට තාම ඉස්කෝලයක් නෑ

y.aruna chandima Saturday, 22 January 2022 05:15 PM

අනිවාර්යෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී එම දරුවන්ට කිට්ටුවෙන් හොඳම පාසලක් දිය යුතුය.

:       0       18

Pr.M.A.Ranasinghe Monday, 24 January 2022 01:14 PM

වත්මන් නායකයින් දරුවාට සුදුසු පාසලක් ලබා දිය යුතුය. එසේ කිරීමෙන් දිවංගත ගෞරවනීය විශිෂ්ඨ අමාත්‍යවරයාට ජාතියක් වශයෙන් ගරු කළ හැකිය. දෙවි පිහිටයි හැමෝටම.

:       0       11

Yugantha yukthika Monday, 24 January 2022 01:33 PM

මගේ ලමයාටත් තවම පාසලක් හොයා ගන්න බැරිව දුක් විඳිනවා .කවුරු හරි සහයෝගය දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් කියන්න

:       0       5

ජෝසප් පෙරේරා Friday, 11 February 2022 07:25 AM

පාසැලට ලමයෙක් දාගන්ඩ තියන හොඳම ක්‍රමයත් මෙතන කියලා දීල තියනවා. "පාසැල ලඟින් ගෙයක් මිලදී ගන්ඩ". ඒකෙන්ම පෙන්නන්නෙ නිදහස් අධ්‍යාපනය අසාර්ථකයි කියන එක නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3721 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 37 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1471 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 169 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1552 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site