• අද කඩදාසි  නැතිව හඬන්නේ  ඒ මෝඩකම්වල ප්‍රතිඵලයක් ලෙසයි
  • වාලච්චේන කඩදාසි හැදුවේ  ඉවතලන  පිදුරුවලින් 
  • වාර්ෂිකව කඩදාසි ටොන් හතළිස්දාහක්  මේ කම්හල් දෙකෙන්  නිෂ්පාදනය කළා
  • ඇඹිලිපිටියේ කඩදාසි කම්හල  බිහි කළේ  වාලච්චේන  කම්හලෙන් ලද  ලාභයෙන් 
  • ෆයිල් කඩදාසි,  පත්තර කඩදාසි,  රෝනියෝ කඩදාසි  නිපදවූයේ ලංකාවේමයි

 

 නාගරික සමාජය අද විවිධ කටයුතු සඳහා යොදාගත් කඩදාසි භාවිතය අඩු කළ ද අර්ධ නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල එහි අඩුවක් නොපෙනේ. රාජ්‍ය සේවය ද කඩදාසි භාවිතය අවම කිරීමට උත්සාහ ගන්නා නමුත් එය තවමත් සම්පූර්ණ වී නැත. පෞද්ගලික අංශය ද සිය පාරිභෝගිකයන් වෙත යවනු ලබන බිල්පත් ආදිය ඊමේල්, වට්ස්ඇප් ආදී තාක්‍ෂණයෙන් යැවීමේ ප්‍රයත්නයක යෙදෙන්නේ වියදම් දෙකක් අඩු කරගන්නටය.   

 

 

 

ඉන් එකක් පවතින කඩදාසි හිඟයයි. දෙවැන්න තැපැල් ගාස්තු ඉහළ යාමයි. කඩදාසි හිඟය ගැන කතා කරද්දී හිඟයට අමතරව කඩදාසි මිල අද අහස උසට නැග තිබේ. ලොකු පොඩි, නාගරික, ග්‍රාමීය ආදී කිසිදු වෙනසකින් තොරව භාවිතයට ගැනෙන ඡායා පිටපත්කරණ ක්‍රියාවලියට මේ කඩදාසිවල මිල ඉහළ යාම තදින්ම බලපා තිබේ.   


පාසල් අභ්‍යාස පොතේ සිට සියලු වර්ගයේ කඩදාසිවල මිල මේ වන විට 500%ත් 600%ත් අතර මිලකින් ඉහළ ගොස් තිබේ. මිල ඉහළ යාමට සමගාමීව ඒවායේ හිඟයක් ද පවතී. ඊට හේතුව අද වන විට ලංකාවේ භාවිත කරන කඩදාසි ගෙන්වන්නේ පිටරටින් නිසායි0. 2014 දී කඩදාසි ගෙන්වීමට රුපියල් මිලියන 9,900ක් වැය කර තිබුණි.   


කඩදාසි හිඟයත් ඉන්ධන සහ ආහාර හිඟයට සමානය. විකල්ප ලෙස අපේ අතීතයේ තිබූ කඩදාසි කම්හල්වල යළි නිෂ්පාදනය ඇති කර මේ කඩදාසි අර්බුදයට පිළියම් යෙදිය නොහැකිදැයි සමාජයේ බොහෝ දෙනෙක් කතා කරන්නට පෙලඹී සිටිති.   


පහහේ දශකයේ ලංකාවේ කඩදාසි නිෂ්පාදනය ආරම්භ වී එය දියුණුවෙන් ඉදිරියට ආ මග සොයා බලා ඒ නිෂ්පාදනය නැවතී ලංකාවේ එම ලොකුම කඩදාසි කම්හල් දෙකට සිදු වූයේ කුමක්දැයි සොයා බලන්නට උත්සාහ කළෙමි.   


නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයේ වාලච්චේනෙහි ලංකාවේ ප්‍රථම කඩදාසි කම්හල 1956 දී විවෘත කෙරුණේ රජයට අයත් ව්‍යාපාරයක් ලෙසිනි. එකල මේ සඳහා වැය කර තිබුණේ රුපියල් මිලියන 32කි. මෙහි යන්ත්‍රෝපකරණ සැපැයීම සහ සවි කිරිම බටහිර ජර්මනියේ ජේ.එම්. වොයිත් සමාගමෙනි. උපදේශකයින් වූයේ කැනඩාවේ වෑන්කුවර් හි සීමාසහිත සැන්ඩිවල් සහ සමාගමයි. ඉදිකිරීම් කටයුතු ලංකා කාර්මික නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබීය. ජේ.එම්. වොයිත් සමාගම අදටත් ජර්මනියේ ක්‍රියාත්මකය. වොයිත් සමාගම ආරම්භ වී මේ වන විට වසර 155කි. බලශක්ති, කඩදාසි, කඩදාසි අමුද්‍රව්‍ය, ප්‍රවාහන සහ මෝටර් රථ වෙළෙඳපොළ තුළ ප්‍රමිතීන් සැකසීම මෙම සමාගම අදටත් සිදු කරනු ලබයි. සමාගම ආරම්භ කර ඇත්තේ 1867දීය. යුරෝපයේ ප්‍රබල පවුලකට අයත් මෙම සමාගම රටවල් 60කට අධික සංඛ්‍යාවක සිය නිෂ්පාදන ස්ථානගත කර ඇත. 2017 වන විට එම සමාගමේ සේවක සංඛ්‍යාව 20,000 ඉක්මවීය.   


1958 දී වාලච්චේන කඩදාසි කම්හල නැගෙනහිර කඩදාසි කර්මාන්ත සංයුක්ත මණ්ඩලය ලෙස නම් කෙරුණි. 1970 වන විට එහි සේවක සංඛ්‍යාව 3,000ක් පමණ විය. කඩදාසි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගත්තේ එම ප්‍රදේශයෙනි. වී අස්වනු නෙළීමෙන් පසු ඉතිරි වන පිදුරු අමුද්‍රව්‍ය ලෙස භාවිත කර තිබුණි.   
මෙම කම්හලේ වාර්ෂික කඩදාසි නිෂ්පාදන ධාරිතාව ටොන් 22,500 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් එහි තවත් කඩදාසි නිෂ්පාදන යන්ත්‍රයක් ස්ථාපිත කිරීමේ කටයුතු 1968 ජුලි 18 වැනි දින ආරම්භ විය. ඒ එවක කර්මාන්ත සහ ධීවර කටයුතු ඇමැති ලෙස කටයුතු කළ පිලිප් ගුණවර්ධන මහතා විසිනි. 1972 පෙබරවාරි මස 25 දින එවකට පැවැති සමගි පෙරමුණු ආණ්ඩුවේ වාරිමාර්ග, විදුලිබල සහ මහාමාර්ග ඇමැති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සේනානායක මහතා විසින් එකී යන්ත්‍රය ක්‍රියාමක කරන ලදී.   


රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස මෙම කඩදාසි කම්හලෙන් ලද ලාභයෙන් 1976 දී එවකට පැවැති සමගි පෙරමණු ආණ්ඩුව විසින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ දෙවැනි කඩදාසි කම්හල ද ස්ථාපිත කරනු ලැබීය. එම කම්හල් දෙක රට තුළ ස්ථාපිත කර නිෂ්පාදනය ආරම්භ වීමත් සමග වාර්ෂිකව කඩදාසි ටොන් 40,000කට ආසන්න ප්‍රමාණය රට තුළ නිපදවිණි. හැත්තෑව දශකය ​ෙවන විට රටට අවශ්‍ය කඩදාසිවලින් 70%ක ප්‍රමාණයක් නිපදවීමට මේ කම්හල් දෙක සමත්ව තිබුණි. 1976 ​ෙවන විට කඩදාසි සංයුක්ත මණ්ඩලය ජාතික කඩදාසි සංස්ථාව බවට පත්කෙරුණි.   

 


එදා අද මෙන් ඡායා පිටපත් යන්ත්‍ර නොතිබූ අතර පිටපත් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය විටකදී රෝනියෝ යන්ත්‍ර භාවිත කර පිටපත් ලබා ගැනුණි. ඒ සඳහා අවශ්‍ය රෝනියෝ කඩදාසි මේ කම්හල්වල නිපදවිණි. අද පරිගණකයේ තැන එදා තිබුණේ යතුරු ලියනයටය. ටයිප් රයිටරය යැයි කීවේ ද යතුරු ලියනයටමය. ඊට අවශ්‍ය කඩදාසි ද මේ කම්හල් දෙකේ නිපදවිණි. ඊට අමතරව රජයේ සහ පෞද්ගලික අංශවලට අවශ්‍ය ෆයිල් කඩදාසි, පත්තර කඩදාසි නිපදවූයේ ද මේ කම්හල් දෙකේය. කොටින්ම කියතොත් ඝන කඩදාසි සහ තුනී කඩදාසි යන දෙවර්ගයම මෙම කම්හල් දෙකේ නිපදවිණි.   


එදා නිපදවුණු කඩදාසි කාලයේ හැටියට ප්‍රමිතියෙන් යුක්ත ඒවා විය. සියුම් කටයුතු සඳහා අවශ්‍ය වන කඩදාසි විදෙස් රටවල්වලින් එදාත් ගෙනෙනු ලැබිණි. එහෙත් ඒ රටට අවශ්‍ය මුළු කඩදාසි අවශ්‍යතාවෙන් 30%කි. වාලච්චේන කඩදාසි කම්හල එකල රටේ ආර්ථිකයට කළ බලපෑම අනුව නැගෙනහිර දුම්රිය මාර්ගයේ කඩදාසි නගරය යනුවෙන් දුම්රිය ස්ථානයක් ද සේවකයන්ගේ පහසුව තකා ස්ථාපිත කළේය.   


1977 දී බලයට පත් ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමග මේ කඩදාසි කම්හල් දෙකට කණ කොකා හැඬුවේය. කඩදාසි ආනයනය සම්බන්‍ධයෙන් රජයේ වෙළෙඳපොළ ප්‍රතිපත්ති වෙනස් විය. මේ කඩදාසි කම්හල් දෙකේ නිෂ්පාදනය කාලයට ඔබින ලෙස යාවත්කාලීන කිරීමක් සිදු නොවීය. වඩාත් ප්‍රමිතියෙන් යුත් කඩදාසි විදෙස් රටවලින් ගෙන්වන්නට විය. වාලච්චේන සහ ඇඹිලිපිටිය කඩදාසි කම්හල් දෙකේ කඩදාසි විදේශයන්ගෙන් ආනයනය කළ කඩදාසි හමුවේ බාල කඩදාසි විය. එන්න එන්නම ඒ කඩදාසි සඳහා ඉල්ලුම් අඩු වන්නට විය.   


කාලයට ඔබින ආකාරයට කඩදාසිවල නිෂ්පාදනය දියුණු කිරීම වෙනුවට කම්හල් දෙක වැසී යන තැනට වැඩ කෙරුණි. කම්හල් දෙකේම සේවය කළ සේවයකන් ගණන 5,000කට ආසන්න විය. සේවකයන්ට ද එන්න එන්නම රස්සා ද අහිමිව ගියේය. ඔය අතරවාරයේ දී 1990 දී නිෂ්පාදනය 6%ත් 7%ත් දක්වා පහළට වැටීම හේතුවෙන් වාලච්චේන සහ ඇඹිලිපිටිය කඩදාසි කම්හල් වැසී ගියේය. වාලච්චේන සුළු පරිමාණයෙන් යළි නිෂ්පාදන ඇරැඹුණ ද එය විසඳුමක් නොවේ.   


වාලච්චේන කඩදාසි කම්හලේ බිම් ප්‍රමාණය අක්කර 332ක් විය. ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ ඉඩම අක්කර 144ක් විය. මේ කම්හල් ආරම්භ කළ වකවානුවේ බලශක්තිය පිළිබඳ ගැටලු නොතිබුණු අතර යන්ත්‍ර සූත්‍ර වොට් 400 ධාරිතාවෙන් යුතු ඒවා විය.   


ලංකාවේ ජනගහනයෙන් විස්සෙන් පංගුවක කොටසකට ඍජු සහ වක්‍රව ජීවිකාව සැපැයූ ඇඹිලිපිටිය සහ වාලච්චේන කඩදාසි කම්හල් දෙකේ පාලකයන්ගේ දුර්වලතා නිසා ඒවායේ නිෂ්පාදනය නැවතී අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය කිරීමේ මධ්‍යස්ථාන බවට පත්විය. විදෙස් රටවල්වලින් ගෙනෙන ලද කසළ මේවායේ ගබඩා කර ප්‍රතිචක්‍රීය කිරීමේ ව්‍යාපාරයක් ද කරගෙන ගියේය. ඒ වන විට රැකියා අහිමි වූ සේවකයින් වන්දි නොමැතිව අරගල කරද්දී දේශපාලන සම්බන්‍ධකම් ඇති සමහරු මේ කම්හල් දෙකේ යන්ත්‍ර යකඩවලට ගලවා විකුණූහ.   
එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පරාද වී 1994 දී ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ රජය යළි මේ කඩදාසි කම්හල්වල නිෂ්පාදන ආරම්භ කරන බව පවසමින් විවිධ ව්‍යාපාරිකයන් අතට පත් කළේය. ඔවුන් හැම කෙනෙක්ම එහි වූ දේපළ විකුණා දැමීමට පිඹුරුපත් සකස් කළේය. තවත් සමහරු කම්හල් දෙකේ ඉඩම් අත්පත් කරගැනීමට කටයුතු කළහ. කම්හල් ආරම්භ කරන විට තිබුණ ඉඩම් ප්‍රමාණයෙන් අඩක්වත් අද වන විට වාලච්චේන හෝ ඇඹිලිපිටිය කඩදාසි කම්හල් දෙකට නැත. පසුකාලීනව බලයට පත්වූ සෑම දේශපාලනඥයෙක්ම පාහේ මේ කම්හල් දෙකේ ඉතුරු කොටස් විකුණුවේ හෝ ගලවාගෙන ගියේ අලුතින් නිෂ්පාදනය ආරම්භ කරන බවට වහසි බස් දොඩවමිනි.   


මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ සමයේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ද ආයෝජකයකු ගෙනැවිත් ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බවට භික්‍ෂුන් වහන්සේලා වැඩම කරවා සෙත් පිරිත් සජ්ඣායනාවන් කර රට්ටු රැවැට්ටුවේය. ඒ වන විටත් මේ කම්හලේ යන්ත්‍ර සූත්‍ර මෙන්ම පාලන මැදිරි මුළුමනින්ම විනාශ කර ඒවායේ තිබූ තඹ කම්බි පැහැරගෙන ගොස් තිබුණි. ඉතිරි දේපළවලින් කොටසක් එසේ පැමිණි කණ්ඩායම් විසින් අතුරුදන් කර තිබුණි.   

 


මේ කම්හල් දෙකේම නිෂ්පාදන යන්ත්‍ර තුනටම ජීවිත කාලයට වගකීම් සහතිකයක් (Lifetime warranty) ඇති බව 2017 දී අනාවරණය විය. කෙසේ වෙතත් 1994න් පසු මැතිවරණ සමයන්හිදී නැගෙනහිර පළාතේ මඩකළපුව සහ සබරගමු හා දකුණු පළාත්වල රත්නපුර, හම්බන්තොට දිස්ත්‍රික්කවල දේශපාලන වේදිකාවල මේ වැසී ගිය කඩදාසි කම්හල් යළි නිෂ්පාදන කටයුතු අරඹා විරැකියාවට විසඳුම් ලබා දී රටට අවශ්‍ය කඩදාසි රට තුළම නිෂ්පාදනය කරන බව කියමින් ඡන්ද පොරොන්දු දුන්නේය. බලය ලබාගත් පාලකයන් පසුව හිතවතුන්ට මේ කම්හල්වල අයිතිය ලබා දී බැංකු ණය දුන්නේය. 2017 වන විට ඇඹිලිපිටිය කඩදාසි කම්හල පෞද්ගලික බැංකුවකට රුපියල් මිලියන 500ක සහ වාලච්චේන කම්හල රුපියල් මිලියන 800ක ණය වී තිබුණේ කම්හල් දෙකේ දේපළ ඇපයට තබා ණය දීම නිසාවෙනි. එපමණක් ද නොවේ කම්හල් දෙකේ ඉඩම් සිය හිතවතුන්ට දුන්නේය. අද මේ කම්හල් දෙකේම ඉඩම් විශාල ලෙස අන්සතුව පවතී.   


2017 අගදී එවකට පැවැති යහපාලන ආණ්ඩුව පැවැසුවේ, ඇඹිලිපිටිය සහ වාලච්චේන කඩදාසි කම්හල් දෙකට පණ දීමට සූදානම් බවය. ඇමෙරිකානු ඩොලර් මිලියන විස්සක් හෙවත් එවක රුපියල් ලක්‍ෂ තිස් දහසක් යෙදීමට කොරියානු ආයෝජකයෙක් ඉදිරිපත්ව සිටින බව යහපාලන ආණ්ඩුව නිවේදනය කළේය.   
මෙම කම්හල් දෙක නැවත ස්ථාපිත කිරීමෙන් පසු එක් කම්හලකින් ඍජු රැකියා අවස්ථා දෙසීය බැගින් හාර සියයක් ද වක්‍ර රැකියා අවස්ථා හාර සියය බැගින් අට සියයක් ද සමග 1,200 දෙනකුට රැකියා හිමි වන බව ද කීවේය. රටේ වාර්ෂික කඩදාසි අවශ්‍යතාවෙන් 10%ක් මෙම කම්හල් දෙක තුළින් පසුරා ගැනීමට හැකි බව ද සඳහන් විය.   


කඩදාසි නිෂ්පාදනය කළ ජර්මානු සුපිරි VOITH යන්ත්‍ර තුන නවීකරණයට එම සමාගම කැමැත්ත පළකර තිබුණි. යහපාලන ආණ්ඩුවේ අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ පැවැති ආර්ථික හා කළමනාකරණ කමිටුව (OCEM) ඊට පූර්ණ අනුමැතිය ද ලබා දුන්නේය. VOITH සමාගමේ ඉන්දියාවේ පිහිටි ශාඛාවේ ඉංජිනේරුවරු ඒ සම්බන්‍ධයෙන් මූලික පියවර ගෙන ඇති බව යහපාලන රජය අනාවරණය කළේය.   
කඩදාසි කම්හල් දෙක යළි නිෂ්පාදන ආරම්භ කිරීමේ ක්‍රියවලියට ලංකාවේ රජය මුදල් ආයෝජනයක් සිදු නොකරන අතර මුළු මුදලම කොරියානු ආයෝජනය යටතේ සිදුවන බව ද මහජනතාවට දැනුම් දුන්නේය. ඒ අනුව මුල් වසර විස්ස තුළ කොරියානු සමාගම එහි පාලනය අධීක්‍ෂණය කරනු ලබන බවත්, වසර විස්ස අවසානයේ කම්හල් දෙකම ශ්‍රී ලංකා රජයට හිමිවන බවත් නිවේදනය කළේය.   


ඇඹිලිපිටිය කම්හල මුළුමනින්ම ඡායා පිටපත් කඩදාසි නිපදවීමට වෙන් කෙරෙන අතර වාලච්චේන කම්හලේ ඝනකම කඩදාසි ද පුවත්පත් මුද්‍රණ කඩදාසි ද නිපදවන බව මේ සම්න්‍ධව දැනුවත් කිරීම්වලදී රජය පෙන්වා දුන්නේය. කම්හල් දෙකෙන්ම මසකට කඩදාසි ටොන් 4,500ක් නිපදවීම අපේක්‍ෂාව විය. ඒ වන විට කඩදාසි ටොන් එකක් ලෝක වෙළෙඳපොළේ රුපියල් හැට දහසක් විය.   


කම්හල් දෙක ඉදිකිරීමට අමතරව කිරුලපන පිහිටි ජාතික කඩදාසි සංස්ථා මූලස්ථානය ද රුපියල් ලක්‍ෂ 650ක වියදමින් අලුතින් ඉදිකිරීම එහි සැලසුමක් විය.   


ඒ සැලසුම අනුව ඉන්දියාවේ යෙස්වී (Yesvee) සමාගමේ විශේෂඥ ඉංජිනේරුවන් වූ පී. පලනිඅප්පන්, එම්. විජේකුමාර්, එස්. සීනිමුරුගන්, එම්. කන්දසාමි සහ කේ. කනකරාජ් යන විශේෂඥවරු මේ කම්හල් දෙකම ඔවුන්ගේ නිරීක්‍ෂණයට ලක් කිරීමෙන් පසු මෙම කම්හල් දෙකේ නිෂ්පාදන නැවත ආරම්භ කළ හැකි බවට සහතිකයක් ද ලබා දුන්හ. වසර එක හමාරක් තුළ එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළහ. බලශක්තිය අඩුවෙන් වැය වන ආකාරයට නවීන තාක්‍ෂණික උපකරණ සවිකර නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමටත් පරිසර හිතකාමී ලෙස සියලු කාර්යයන් සිදු කිරීමටත් එම නියෝජිතයන්ගේ සැලැස්ම විය.   


ඒ වන විට විදෙස් රටකින් ආනයනය කළ කන්ටේනර් කිහිපයකින් යුතු කසළ තොගයක් ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ ගබඩාවක ගොඩගසා තිබුණි. දැනගන්නට ලැබුණේ කසළ ප්‍රතිචක්‍රීයකරණයට මෙම කම්හල පෞද්ගලික තැනැත්තකුට දී තිබූ නිසා ඔහු ඒවා ආනයනය කර තිබුණ බවයි.   


මෙම කම්හල් දෙකේ සේවක නිල නිවාස ඇතුළු කෝටි ගණනක භෞතික සම්පත් ජාවාරම්කරුවන් විසින් ගෙනගොස් ඇත. Voith සමාගම අවුරුදු 155ක් වයස වුවත් ඔවුන් අදටත් පවතින්නේ කාලානුරූපව යාවත්කාලීන වීම නිසාය. රටවල් හැටක සිය ව්‍යාපාර ඇති ඔවුන් ඩිජිටල් තාක්‍ෂණයට අනුවර්තනය වී තිබේ. කම්හල් දෙකේම නිෂ්පාදන යන්ත්‍ර තුනටම ජීවිත කාලයට වගකීම් සහතිකයක් (Lifetime warranty) ඇති නිසා වර්තමානයට ගැළපෙන ලෙස මේ කම්හල් නවීකරණය කළ හැකි බවට සහතික ද ඇත්නම් ඒ සැලසුම් හමස් පෙට්ටියට යවන්නේ කාගේ වුවමනාවට දැයි ගැටලුවක් මතු වෙයි.   


දැන් අපේ රටේ පවතින මේ කඩදාසි අර්බුදයෙන් මිදෙන්නට ඇඹිලිපිටිය සහ වාලච්චේන කම්හල් දෙකෙන් පිටිවහලක් ගත නොහැකි ද? එකට පස් හය ගුණයකින් වැඩි වී ඇති කඩදාසි මිල අඩු කරගැනීමට කෙටි සහ දිගු කාලීන විසඳුම් සොයා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ. ඩොලර් නැති රටේ ඩොලර් නොමැතිව රටේ සම්පත්වලින් කඩදාසි අවශ්‍යතාව පසුරා ගැනීමට හැකියාවක් තිබියදී එවැන්නකට නොගිහින් තවදුරටත් මේ දේපළ කොල්ලකන්නට හදන්නේ ඇයි ද යන්න ජනතාවට ඇති ගැටලුවයි.   
දැන් අගමැතිව සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. ලංකාවේ ආර්ථිකයට බරක් නොවී කඩදාසි නිෂ්පාදනයත්, එමගින් විරැකියාවට විසඳුම් ද සහිත වූ සැලැස්ම යළි ක්‍රියාවට නැංවීමට අවස්ථාව පැමිණ තිබේ. වත්මන් ආණ්ඩුව පත්වූ පසු වියත්මගේ ඇත්තෝ මේ කඩදාසි කම්හල් දෙක ගොඩ ගන්නා බවට වහසි බස් දෙඩවූහ. ජනතාව බලාපොරොත්තු ඇති කරගත්හ. නමුත් වියත්මග යනු ද ඉදිරි මගක් නැති අතරමග මංමුලා වූ පිරිසක් බව වර්තමානයේ ඔවුන්ගේ ක්‍රියාවෙන් පසක් කර දෙන විට රටේම ජනතාව රැවටී අවසානය.   

 

 

 

සටහන - ඡායාරූප   
අජිත්ලාල් ශාන්තඋදය