ඇතැම් සැත්කම් සහ පරීක්ෂණ සඳහා 2029 තෙක් බලා සිටීමට සිදුවන ලකුණු

නිරෝෂාන් ප්‍රේමරත්න

රජයේ රෝහල්වලින් හදවත් සැත්කම් ඇතුළු ප්‍රධාන පෙළේ ශල්‍යකර්ම සහ විශේෂිත පරීක්ෂණ සිදු කරගැනීම සඳහා රෝගීන් 25,000කට අධික සංඛ්‍යාවක් පොරොත්තු ලේඛනවල රැඳී සිටින බව වාර්තා වේ.

2024 වසරේ සිට මේ දක්වා ලියාපදිංචි වූ රෝගීන් මෙලෙස පොරොත්තු ලේඛනවල රැඳී සිටින අතර, වත්මන් තත්ත්වය හමුවේ මෙම සැත්කම් සහ පරීක්ෂණ සියල්ල සිදු කර අවසන් කිරීමට 2029 වසර පමණ වන තෙක් අදාළ රෝගීන්ට බලා සිටීමට සිදුවනු ඇතැයි පැවසේ.

මෙලෙස පොරොත්තු ලේඛනගත වී ඇති ප්‍රධාන පෙළේ සෙසු සැත්කම් සහ පරීක්ෂණ අතරට වකුගඩු, අක්මා සහ අනෙකුත් අවයව බද්ධ කිරීමේ සැත්කම් ද, ඇන්ජියෝග්‍රෑම්, එම්.ආර්.අයි., සී.ටී. සහ පෙට් ස්කෑන් වැනි පරීක්ෂණ ද ඇතුළත් වේ.

මේ අතුරින් රෝගීන් 10,000කට අධික සංඛ්‍යාවක් හදවත් සැත්කම් සඳහා පමණක් පොරොත්තු ලේඛනයේ සිටින බවත්, අලු‍තින් එක්වන රෝගීන්ට සිය සැත්කම් සඳහා 2029 වසර දක්වා හෝ ඉන් පසුවත් බලා සිටීමට සිදුව ඇති බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසීය.

කෙසේ වෙතත්, මෙම දීර්ඝ පොරොත්තු ලේඛන කල් නොයවා ඉක්මනින් අවසන් කිරීම සඳහා පියවර කිහිපයක් ගත හැකි බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.

ජනාධිපති අරමුදලින් රෝගීන් වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණය වැඩි කර, නියමිත පාලන ගාස්තුවලට යටත්ව පෞද්ගලික අංශයෙන් මෙම ශල්‍යකර්ම සිදු කරවා ගැනීමට පහසුකම් සැලසීම එක් විසඳුමකි. එසේ නැතහොත්, රජයේ රෝහල්වල දිනකට සිදු කරන ශල්‍යකර්ම සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය සේවකයන්ට අමතර දීමනාවක් ලබා දී අමතර කාලයක් සේවයේ යෙදවීම තවත් විසඳුමකි.

එසේම, විදේශ රටවල මෙන් සමස්ත පුරවැසියන්ම ආවරණය වන පරිදි ජාතික රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම තුළින් රෝගීන්ට පහසුවෙන් පෞද්ගලික අංශය හරහා මෙම සැත්කම් සහ පරීක්ෂණ ඉටු කරගැනීමට අවස්ථාව සැලසෙන බව ද හෙතෙම සඳහන් කළේය.

මීට අමතරව, අදාළ විෂයයන් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම වැඩි කිරීම, රෝහල් යටිතල පහසුකම් නැංවීම, ශල්‍ය උපකරණ සහ පරීක්ෂණ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම ඉහළ නැංවීම මගින් ඉදිරි කාලයේදී මෙකී පොරොත්තු ලේඛනවල පවතින තදබදය සැලකිය යුතු ලෙස අඩු කරගත හැකි බව ද වෛද්‍ය සංජීව වැඩිදුරටත් පැවසීය.