ෂේන් සෙනෙවිරත්න

රටට සහ ජනතාවට සේවය කිරීම සඳහා දේශපාලනය කිරීම හෝ පාර්ලිමේන්තුවට යාම අනිවාර්ය අවශ්‍යතාවක් නොවන බවත්, ඉදිරියේදී ඇතැම් විට ජනාධිපතිවරයා වෙනස් වුව ද වත්මන් ආණ්ඩුව දිගටම රට පාලනය කරනු ඇති බවත්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කරයි.

මහනුවරදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මින් ඉදිරියට තමන් කිසිදු දිනෙක මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවයි. මෙවර මහනුවරින් මැතිවරණයට ඉදිරිපත් වූයේ ද ජනාධිපතිවරයා ඒ සඳහා තමන්ට බලකර සිටි බැවින් බව හෙතෙම සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කිසි දිනෙක ඡන්ද ඉල්ලා නොමැති වුව ද, පක්ෂයේ මෙන්ම රටේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන ආකාරය පෙන්වා දුන් අමාත්‍යවරයා, තමන් ද ඉදිරියට එම මග යමින් පක්ෂය වෙනුවෙන් කැපවෙන බව ප්‍රකාශ කළේය.

තමන් කිසිදු දිනෙක පක්ෂය අතහැර නොයන බව තහවුරු කළ ඒ මහතා, පසුගිය කාලයේ පක්ෂය කඩාගෙන කිහිප දෙනෙකු වෙන්ව ගිය ද ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය සලිත කිරීමට ඔවුන්ට නොහැකි වූ බව ද පෙන්වා දුන්නේය.

ගොවි ජනතාවගේ වී අලෙවි කිරීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ලාල්කාන්ත අවධාරණය කළේ, රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද වී මිලදී ගැනීමේ සහතික මිල කිසිසේත්ම වෙනස් නොකරන බවයි.

ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවලින් අනතුරුව මහා පරිමාණ වී මෝල් හිමියන් ද රජයේ සහතික මිලට වී මිලදී ගැනීම සඳහා දැනටමත් කැමැත්ත පළ කර තිබෙන බව පැවසූ අමාත්‍යවරයා, කවුරුන් කොතෙක් උද්ඝෝෂණ කළ ද, කෑකෝ ගැසුව ද රජය තීන්දු කළ වී මිල වෙනස් නොවන බව ද අවසන් වශයෙන් සඳහන් කළේය.