නිරෝෂණ කුමාර

කොළඹ මහ නගර සභාව සතු රථ වාහන ගාල් කරන ස්ථානවලින් ලැබිය යුතු රුපියල් කෝටි 27 කට ආසන්න මුදලක් අදාළ සමාගම් විසින් කොළඹ මහ නගර සභාවට ගෙවා නැතැයි අනාවරණය වෙයි.

එම රථ වාහන ගාල් කිරීම සඳහා මුදල් ලබාගැනීමට ටෙන්ඩර් ලබාගත් ආයතන විසින් 2024 වසරේ සිට මෙම මුදල් ගෙවීම් පැහැර හරිනු ලැබ ඇතැයි අල්ලස, දූෂණයට හා නාස්තියට එරෙහි පුරවැසි බළකාය විසින් අනාවරණය කරගෙන ඇත. ඒ අනුව 2024 සිට මේ දක්වා කොළඹ මහ නගර සභාවට ගෙවිය යුතු මුළු මුදල රුපියල් විසි හය කෝටි හතළිස් අට ලක්ෂ පනස් හතර දහස් හාර සිය හැත්තෑ එකක් බව එම බළකායේ සභාපති ජාමුනි කමන්ත තුෂාර ඉරිදා ලංකාදීපයට පැවසීය.

මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හා නගර සභාව සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසමට ද පැමිණිලි කළ බව හෙතෙම පැවසීය. මෙලෙස පැහැර හැර ඇත්තේ රථ වාහන ගාල් කිරීමේ දී ජනතාවගෙන් අය කර ගන්නා මුදල් බව ද ඔහු කීය. මෙම මුදල් නගර සභාවට අය කර ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හා විශේෂ ජනාධිපති කොමිසමට පැමිණිලි කළ බව ජාමුනි කමන්ත තුෂාර පැවසීය.