සුජිත් හේවාජුලිගේ

රට පුරා අනවසර ගිනි අවි හැට දහසක් පමණ ඇතැයි ආරක්ෂක අංශ ප්‍රධානීහු අනුමාන කරති. රටේ අපරාධ වැඩිවීමට මෙම අනවසර ගිනි අවි ප්‍රධාන හේතුවක් වන හෙයින් ඒවා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් වේගවත් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

අනවසර ගිනි අවිවලින් වැඩි ප්‍රමාණයක් පාතාල කල්ලි සහ වෙනත් සංවිධානාත්මක කල්ලි සන්තකයේ පවතින බව ආරක්ෂක අංශ  නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

අසූ අට අසූ නවය කාලයේදී සහ යුද්ධයෙන් පසු අනවසර ගිනි අවි සැලකිය යුතු ප්‍රමාණයක් සාමාන්‍ය ජනතාව අතරට පැමිණ ඇති බව විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.

මේ අතර අනවසර ගිනි අවි සම්බන්ධයෙන් අදහස් දක්වන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර පවසන්නේ බලපත්‍ර සහිත ගිනි අවි රාශියක් සම්බන්ධයෙන්  කිසිදු තොරතුරක් නැති බවයි.

මේවා පසුගිය කාලයේදී දේශපාලඥයන් ඇතුළු විවිධ පිරිස් සඳහා  නිකුත් කර තිබූ ඒවා බවද ඔහු සඳහන් කළේය. ගිනි අවි පරිපාලනය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් එහිදී විදේශයන්හි ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් පිළිබඳවද අධ්‍යයනය කරගෙන යන බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

මේ අතර ගිනි අවි පාලනය විධිමත් කිරීම සඳහා ගිනි අවි ආඥා  පනත සංශෝධනය කිරීමටද රජය කටයුතු කරගෙන යයි.

වගා සහ දේපළ ආරක්ෂාව සඳහා 1995 සිට 2024 දක්වා කාලයේදී බලපත්‍ර සහිත ගිනිඅවි 25064ක් නිකුත් කර තිබූ බව අලු‍ත්ම විගණන වාර්තාවක සඳහන් වේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල කාර්තු වාර්තා සැසඳීමේදී මින් බලපත්‍ර දොළොස්දහස් නවසිය අසූ එකක  වෙනසක් පැවතුණ බවද එහි දැක්වෙයි.