උපවාසයට ජනපති දුන් විසඳුම

සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසය ඉකුත් සතියේ දී දේශපාලන අංශ අතර උණුසුමක් ඇති කළ එමෙන්ම රජයට එරෙහිව අභියෝගයක් මතු කළ අවස්ථාවක් විය. ගුරු සේවය සඳහා විසිතුන් දහසක් බඳවා ගැනීම වෙනුවෙන් තරග විභාගයක් පැවැත්වීමට එරෙහිව මෙම උපවාසය ආරම්භ කරන ලද්දේ පාසල්වලට අනුයුක්ත කර සිටි සංවර්ධන නිලධාරීන් විසිනි. ඔවුන් පෙන්වා දුන්නේ උපාධිධාරීන් වන තමන් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන පාසල්වලට අනුයුක්ත කළ පසු ගුරුවරුන් ලෙසද වසර හතක් පමණ සේවය කර ඇති බවත් එලෙස සේවය කළ තමන්ට විභාගයකට පෙනී සිටීමට නියෝග කිරීම අසාධාරණයක් බවත්ය. ඇතැම් සංවර්ධන නිලධාරීන්ට පාසල් දරුවන් දුටු තැන වැඳ ආචාර කරන තත්ත්වයක් තුළ යළිත් කාර්යාලවලට යොමු කිරීමෙන් ඔවුන්ගේ මානසිකත්වය ඇද වැටෙන බවත් ඔවුහු කීහ.

එහෙත් රජයේ ස්ථාවරය වූයේ අනිවාර්යයෙන්ම රජයේ ඕනෑම වෘත්තියකට බඳවා ගන්නා ක්‍රමවේදයට අනුව මිස ඉන් පරිබාහිරව ගුරුවරුන් බඳවාගත නොහැකි බවය. ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ද පවතී. සංවර්ධන නිලධාරීන් ලෙස යහපාලන ආණ්ඩු කාලයේ බඳවාගත් මෙම පිරිස ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පාසල්වලට අනුයුක්ත කෙරණි. ඒ අයගෙන් බහුතරයක් ගුරුවරුන් ලෙස ඉගැන්වීමෙහි ද යෙදුණහ. මේ නිසා තමන්ට ගුරු වෘත්තියට පිවිසීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටිමින් ඔවුහු මෙම උපවාසය ආරම්භ කළහ. එම ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපතිවරයා ඔවුන්ට සාකච්ඡාවක් වී තිබුණේ ඉකුත් අඟහරුවාදාය.

‘‘මේ අවුල ඔබතුමාගෙවත් අපේවත් වැරැද්දකින් සිදුවූ දෙයක් නොවෙයි. ඒත් අපි කැමතියි ගුරු සේවයට ඇතුළු වෙන්න. අපි අවුරුදු හයක් හතක් පාසල්වල ඉගැන්නුවා. අපිට ආපහු කළමනාකාර සේවයට යන්න බෑ...’’ ජනාධිපති සමග සාකච්ඡාවට ගිය නියෝජිතයෝ කියා සිටියහ.

‘‘ඒකට අපි එකඟයි. ඔය සියලු දෙනාගේම වෘත්තීය අභිමානය සහ ගරුත්වය ආරක්ෂා කිරීම තමා රජයේ අරමුණ. පාසල්වල උගන්වල තියෙන අය ගුරු සේවයට ඇතුළත් කර ගැනීම තමයි රජයේ අපේක්ෂාව. ඒ නිසා ගුරු ව්‍යවස්ථාවට අනුව විභාගය ලියන්න ඕනෑ...’’ ජනාධිපතිවරයා පැවසීය.

‘‘විභාගය අසමත් වුණොත්...’’ සංවර්ධන නිලධාරීහු විමසූහ. 

‘‘ඒ අයටත් අපිට පුළුවන් අවස්ථාවක් දෙන්න... විද්‍යා පීඨවල පුහුණුවට අදාළ හයමාසයකින් ඒ අයව ගුරු සේවයට ගන්න පුළුවන්... මාව විශ්වාස කරන්න...’’ එසේ කී ජනාධිපතිවරයා අධ්‍යාපන බලධාරීන්ට පවසා සිටියේ ඔයාලා කලින් කියපු ප්‍රකාශයයි දැන් මම කියන ප්‍රකාශයයි අතරින් “මොකක්ද කරන්න පුළුවන් දේ...?’’ ජනපති විමසීය. එහිදී අධ්‍යාපන බලධාරීන් පැවසුවේ ජනපති කළ ප්‍රකාශය අනුව කටයුතු කළ හැකි බවය.

‘‘හොඳයි... මාව විශ්වාස කරන්න... ඔබගේ උපවාසය අවසන් කර මේ ප්‍රශ්නය විසඳන්න එකතු වෙන්න...’’ ජනපතිවරයා කියා සිටියේය.

ඒ අනුව උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ උපවාසය අවසන් විය. ඒ අයුරින් එම ප්‍රශ්නය අවසන් වුව ද උපවාසය පැවැත්වෙන අතරතුර ආණ්ඩුවේ වගකිවයුතු ඇමැතිවරුන් පවා උපවාසකරුවන් මිය ගියත් පත්වීම් ස්ථිර නොකරන බවට කළ ප්‍රකාශ සමාජ මාධ්‍යයේ දැඩිව විවේචනය විය.

ටිල්වින්ට ඉන්දියාවෙන් කැඳවීමක්

ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා තිරය පිටුපස සිට ආණ්ඩුව මෙහෙයවන ප්‍රධාන චරිතය වෙයි. සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ ආරාධනාවකට අනුව ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දීය සංචාරයක් සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන නවදිල්ලි නුවර බලා පිටත්ව ගියහ. මෙම සංචාරයේ දී නවදිල්ලියේ පැවැත්වෙන වැඩසටහන්වලට අමතරව ගුජරාටි හා කේරල ප්‍රාන්තවලද සංචාරය කිරීමට නියමිතය. එම ප්‍රාන්තවල මහ ඇමැතිවරුන් මුණගැසීමටද කෘෂිකර්මාන්ත කාර්මික හා තාක්ෂණික සංවර්ධනයට අදාළ මධ්‍යස්ථාන කිහිපයක් නැරඹීමට ද කටයුතු යොදා ඇත. අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලන්කුමරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් ඇතුළු පිරිසක්ද මෙම සංචාරයට එක්ව සිටිති. ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසන්නේ ටිල්වින්ගේ මෙම සංචාරයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායකද ඉතාම නුදුරු දිනක ඉන්දීය සංචාරයක නියැළෙන බවය.

කතානායකට චෝදනාවක්

කතානායකවරයා දැඩි මතයක නියැළී සිටින බව විපක්ෂය නිතර චෝදනා කරයි. ඔවුන් පවසන්නේ විපක්ෂයට හිමි නිසි නීත්‍යනුකූල අවස්ථාව පවා කතානායකවරයා ඇතැම්විට අත්තනෝමතික ලෙස කපාහරින බවය. ඒ අතරතුර පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ වැඩ තහනම් කිරීමත් සමග ඔහු විසින් කතානායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පෙරළා පැමිණිල්ලක් සිදුකිරීම් ගැනද ඉකුත් දිනවල කතා බහට ලක්විය.

ආණ්ඩුව පවසන්නේ නියෝජ්‍ය මහලේකම්වරයා මෙම චෝදනා මතු කරන්නේ ඔහුගේ තනතුර අහිමි වූ පසු බවය. කතානායකයට එරෙහිව එවැනි චෝදනා තිබුණේ නම් ඔහු එම තනතුරේ සිටි අවස්ථාවේ අල්ලස් කොමිසමට පැමිණිලි කළ හැකිව තිබූ බවත් එසේ නොකළ බවත් රජයේ මතය වෙයි. රජයේ සමහරුන් කියන්නේ නියෝජ්‍ය මහ ලේකම්ගේ පත්වීම රාජපක්ෂ රජය සමයේ එම රජයේ උදව්වෙන් සිදුවූ බවය. දයාසිරි ජයසේකර, සුජීව සේනසිංහ, මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවේදීද හිටපු නියෝජ්‍ය මහලේකම්වරයා පසුපස සිටින බවත් රජයේ මතය වේ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිහිප දෙනකු අතරද කතාබහක් ඇතිවිය.

‘‘අල්ලස් කොමිසමට පැමිණිල්ල ආපු පලියට විමර්ශන පටන් ගන්නේ නෑ. ඒ පැමිණිල්ලේ කරුණු තහවුරු කරන්න පුළුවන් ද? මේ විමර්ශන ඉදිරියට ගෙනියන්න පුලුවන් ද කියලා අල්ලස් කොමිසම තීරණය කරා වි. ඒ වගේම පැමිණිල්ල දාපු කෙනා ඒවා සාක්ෂි සහිතව ඔප්පු කරන්න ඕනෑ...’’ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති නලින්ද ජයතිස්ස කියා සිටියේය. බිමල් රත්නායක ඇමැතිවරයා පැවසුවේ කතානායකවරයා රජයේ වරප්‍රසාද ගණනක්ම ප්‍රතික්ෂේප කළ අයකු බවය.

කලින් කතානායකතුමාට අසීමිත ඉන්ධන පහසුකමක් ලැබී තිබුණා. ඒත් මෙතුමා තමන්ටත් කැබිනට් ඇමැතිවරයකුට හිමි ඉන්ධන පහසුකම පමණක් ලබා දෙන්න කියලා ඉල්ලලා තිබෙනවා. ඒ පහසුකම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශන සභාවේ දී අනුමත වූයේ ගිය අවුරුද්දේ මැයි මාසෙ දෙවැනිදා. ඒ අනුව මාසයකට ඉන්ධන ලීටර් 900ක් පමණයි කතානායකට ලැබෙන්නේ. අපේ ආණ්ඩුවකින් පමණයි එහෙම දීමනා කප්පාදු කරගෙන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි කතානායකවරයාට හිමි නිල වාහන විතරයි එතුමා පාවිච්චි කරන්නේ. කාර්ය මණ්ඩල නිලධාරීන් සියලු දෙනාම රජයේ චක්‍රලේඛවලට අනුව ලැබෙන පහසුකම් විතරයි ලබා ගන්නේ. මීට කලින් කතානායකවරු තමන්ගේ පවුලේ අය තනතුරුවලට දාගෙන හිටියා. අපි ඒ සංස්කෘතිය වෙනස් කළා...’’ ඇමැති බිමල් රත්නායක දීර්ඝ විස්තරයක් කරමින් කියා සිටියේය.

කතානායකවරයා සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය. දයාසිරි කියා සිටියේ කතානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇති නිසා එම පැමිණිල්ල විභාග කර අවසන් කරනතුරු කතානායකවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා එම තනතුරුවල කටයුතු කිරීම සුදුසු නොවන බවය. පැමිණිල්ල විභාග කර අවසන් කරනතුරු එම දෙදෙනාම තනතුරුවලින් ඉවත්විය යුතු බවට තමා ජනපති සහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

ජවිපෙ ආණ්ඩුව ගැන පෙරටුගාමීන් කියන දේ

පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිවුණේ ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වීමෙනි. එම පක්ෂය රටතුළ මෙන්ම ලෝක මට්ටමෙන් ද වාමාංශික හවුල්කාරීත්වයක් බිහිකර ගැනීම ගැන වරින් වර අදහස් දක්වා ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වැනි ජාතික සම්මේලනය මාර්තු මස 1 වැනිදාට යොදාගෙන ඇත. පංතියට බලය – බලයට පක්ෂය යන තේමාවෙන් එම සමුළුව පැවැත්වේ. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම සමුළුවේ දී ආණ්ඩුව සහ විපක්ෂය කරගෙන යන දේශපාලනයට විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ආකාරය ගැන මාස තුනක පමණ කාලයක සිට එක්සත් සාමාජිකයන් අතර සංවාදයක් පවත්වාගෙන යයි. එම වැඩ පිළිවෙළ පොතක් ලෙස සමුළුවේ දී ජනගත කිරීමට නියමිතය. එම සාකච්ඡා අතරතුර වර්තමාන ජවිපෙ ආණ්ඩුව ගැන ද අවස්ථා ගණනාවකදීම කතාබහට ලක්වූයේ ජවිපෙ පෙරටුගාමීන්ගේ ද මව් පක්ෂය නිසාය.

එහිදී කියැවුණේ කරුණු තුනක් ගැන විශාල කලකිරීමක් ජවිපෙ තුළ  පවතින බවය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශාල විරෝධයක් ජවිපෙ තුළ සිටින පැරණි සාමාජිකයන් අතර පවතින බව මෙහිදී කියැවිණි. දෙවැනි කලකිරීම ඇත්තේ දැනට පවතින ත්‍රස්තවාදය මර්දන පනත වෙනුවට ගෙන එන නව ත්‍රස්ත පනත ගැනය. පළමු ත්‍රස්ත පනතින් ජවිපෙ විනාශ කිරීමට සමත් වූ අතර  එවැනි පක්ෂයක් බලයේ සිටින විට එම පනතටත් වඩා බරපතළ පනතක්  ගෙන ඒමට සූදානම් වීම පිළිබඳව පැරණි ජවිපෙ  සාමාජිකයන් කලකිරීමට පත්ව සිටින බව පෙරටුගාමි පක්ෂයේ මෙම අභ්‍යන්තර සාකච්ඡාවල දී කතා බහට ලක්විය. තුන්වැනි කරුණු  වන්නේ ගල් අඟුරු ප්‍රශ්නයය. පෙරටුගාමීන් මෙම ගල් අඟුරු ප්‍රශ්නයේ දී ආණ්ඩුව සොරකමක් කළ බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවත් එහෙත් තමන් සමග කතා කළ තම පැරැණි හිතවතුන් වංචාවක් ගැන සැකයකින් පසුවන බවත් පෙරටුගාමී සාමාජිකයෝ කියා සිටියහ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන රජය සංවිධානය කරන වැඩසටහන්වලට ජවිපෙ සාමාජිකයන් සහභාගිවීම අවම මට්ටමක පවතින බවද පෙරටුගාමීන් අතර සාකච්ඡාවට ලක්විය. 

රනිල්-සජිත් අතිනත අල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම එජාප වෘත්තීය සමිති නායකයකු වන සමන් රත්නප්‍රියගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය ඉකුත් සතියේ පැවැත්වුණු අතර සජබ නායක සජිත් ප්‍රේමදාස සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ අතර හමුවක්ද එහිදී සිදුවිය. සමන් රත්නප්‍රිය සජිත් හා රනිල් දෙදෙනාටම එම උත්සවයට ආරාධනා කර තිබුණි. දෙදෙනාටම  අසුන් පනවා තිබුණේ එකම මේසයකය. එම මේසයේ රනිල් සමග චාමර සම්පත්, රාජිත සේනාරත්න, වජිර අබේවර්ධන, මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් වාඩිවී සිටියහ. ඒ ළඟම මේසයක වාඩිවී සිටියේ සාගල රත්නායක, මනුෂ නානායක්කාර ඇතුළු පිරිසකි. සජිත් පළමුව එම මේසයේ වාඩිවී සාගල ඇතුළු පිරිස සමග සුහද සාකච්ඡාවක යෙදු​ෙණ්ය. සජිත් එම මේසයේ වාඩිවනු දුටු රනිල් නැගිට  එහි ආවේය. ‘‘යාළුවො ටිකක් එක්ක කතා කරලා ඔයා අර මේසෙට එන්න. ඔයාගේ සීට් එක එතන......’’ රනිල් සජිත්ට කීවේය.’’ඔව්.... ඔයාල දෙන්න හමුවෙන එකනෙ වැදගත්.... යන්ඩ ඒ මේසෙට.....’’එහි සිටි මනුෂ ද සජිත්ට කීවේය. ටික වේලාවක් එහි සිටි සජිත් ඉන් පසු රනිල් සිටි මේසයෙන් වාඩි ගත්තේය. පිරිස යම් යම් කතාබහක යෙදුනත් කතා කළේ මොනවාදැයි  වැඩි දෙනකුට ඇසුණේ නැත. තව ටික වේලාවකින් සජිත්ගේ මිතුරා ලක්ෂ්මන්  ෆොන්සේකා එජාප මහ ලේකම් තලතා අතුකෝරල එහි කැඳවාගෙන ආවේය.

‘‘හැංඟි හැංගි ඉඳලා හරි යන්නේ නැහැ.... ඕන්න ඔතනින් වාඩිවෙන්න.’’ලක්ෂ්මන් තලතා ද එම මේසයෙන්ම වාඩි කළාය.

සජිත් සහ රනිල් කතා කරමින් සිටියදී නාමල් රාජපක්ෂ ද එහි පැමිණියේය. නාමල් වාඩි ගත්තේ රාජිත අසලය.’’ කොහොමද නාමල් ?-’’ රාජිත විමසීය.

‘‘හොඳයි සර්.. සර් දාපු කතාව අරගෙන මාත් දුන්නා....’’ නාමල් කීවේ රාජිත එජාපය රාජපක්ෂවරුන්ට  පහර දෙන්න ජවිපෙට මුදල් දුන් බවට කළ ප්‍රකාශයක් ගැනය.’’ ඔව්.... ඔයාට ඩෑෂ් පාරක් ගහන්න තමයි මම බෝලේ උස්සලා දුන්නේ.....’’රාජිත කීවේ නාමල් ඇතුළු පිරිස සිනා ගන්වමිනි. රනිල් සහ සජිත් පක්ෂ දෙක එකතුවීම ගැන යම් කතාබහක නියැලුණි. ඒ අතර අනික් පිරිස වෙනත් දේශපාලන කතාවල යෙදුණාහ. චාමර සම්පත් කීවේ තමා සමන්  ඒකනායකට දිවා ආහාරය යැවූ  බවය.

තිස්ස අත්තනායකගෙන් යෝජනාවලියක්

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් සතියේ දින කිහිපයක් ගත කළේ සිංගප්පූරුවේය. එම සංචාරය නිමකර සජිත් ලංකාවට පැමිණි පසු සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සජිත් හමුවී දිගු වේලාවක් සාකච්ඡා කළේ මේ වසරට අදාළව පක්ෂයේ කටයුතු වෙනස්කම් ගැනය.

‘‘අපේ බිම් මට්ටමේ සංවිධාන ජාලය යළි ප්‍රතිසංවිධානය කරන්න ඕනෑ... ජනාධිපතිවරණයෙන් පසු අපේ බිම්  මට්ටමේ නෙට්වර්ක් එක බිඳ වැටිලා තියෙන්නේ. ඔබතුමා නම් පක්ෂයේ නායකයා හැටියට සමාජසත්කාරක වැඩ සටහන්... මීඩියා කටයුතු හොඳට කරගෙන යනවා. ඒ ඔක්කොම හරි.. ඒත් පක්ෂයේ නෙට්වර්ක් එක සාර්ථක මදි.. ඒක වැඩි කරන්න පියවර ගොඩක් ගන්න වෙනවා. ආණ්ඩුව මේ අවුරුද්දෙ ඡන්ද තියන එකක් නෑ. අපි මේ අවුරුද්ද අපේ නෙට්වර්ක් එක හදන අවුරුද්ද බවට පත් කරමු. ‘‘තිස්ස යෝජනා කළේය.

ඔව් ඒක කරන්න ඕනෑ.....’’ පක්ෂ නායක  සජිත් ද කීවේය.

‘‘අපේ බිම් මට්ටමේ කාන්තා තරුණ.... ගොවි.... වෘත්තිය සමිති.... සංවිධාන හැටියට.... මේ ටික හොඳටම හදල පක්ෂයේ  බිම් මට්ටම මේ අවුරුද්දෙ ශක්තිමත් කරමු...’’ ජාතික සංවිධායක තිස්ස අත්තනායක තවදුරටත් කීවේය.

මම මේ ගැන සියයට සීයයක්ම එකඟ වෙනවා. මේ ගැන ඉදිරියේ දී වර්කිං කට්ටි එකේ සාකච්ඡා කරල තීන්දුවක් ගනිමු... මේ යෝජනා ගැන පොඩි ඩ්‍රාෆ්ට් එකක් දෙන්න.....’’එසේ කී සජිත් තම සිංගප්පූරු සංචාරයේ දී එරටේ රාජ්‍ය පරිපාලනය වෙන ආකාරය හා කාර්යක්ෂමතාව ගැන ලැබූ අත්දැකීම් ද තිස්ස සමග හුවමාරු කර ගත්තේය. 

රනිල්-රාජිත කතා කළේ මොනවාද?

ඉදිරි දේශපාලන කටයුතු ගැන රනිල් හා රාජිත ඇතුළු කිහිප දෙනකු අතර සාකච්ඡාවක් ද ඉකුත් සතියේ පැවැත්විණි. ‘‘අපි එකතු වෙන අදහසින් සජබත් සමග දිගටම කතා කරගෙන යනවා. සන්ධානයක් හැදෙයි. අපි එකතුවෙලා වැඩ කරන්න ඕනෑ. ඒ එක්කම අනික් පක්ෂ සමගත් කතා කරගෙන යනවා.. හැමෝම එකට එකතුවෙලා මැතිවරණයකට මුහුණ දෙන්න’’රනිල් වික්‍රමසිංහ කීවේය.

අර දිලිත් ජයවීර කිව්ව වගේ මැයි පළමුවැනිදා එනවනෙ...එදා

එක වේදිකාවකට විපක්ෂයේ ඔක්කොම එකතු කරගන්න පුළුවන්නම් අන්න ඒක තමයි හොඳම’’ රාජිත කීවේය.’’ දැනටම පාටිවල මිනිස්සු පෙන්වල දීල තියෙනව හැම පක්ෂයම එකතුවෙලා සමුපකාර ඡන්ද දිනලා.. ප්‍රාදේශීය සභා ගණනාවකත් බලය අත්පත් කරගන්තේ මුළු විපක්ෂයම එකතුවෙලා.. ඕක තමා ෆෝමියුලා එක.. මේ ආණ්ඩුව  පරදවන ඕනෑම මැතිවරණයකට පොදු අපේක්ෂක ලැයිස්තුවක් දැම්ම නම් හරි.. මැතිනි 1970 දිනුවෙත් එහෙම.... ඉදිරියේදී ලොකු ආර්ථික අර්බුදයකට යනවා.. ඒකත් බලාගෙනම තමයි ඉදිරි දේශපාලනය කරන්න ඕන....’’ රාජිත තවදුරටත් කීවේය.

සජබ සංවත්සරය කතරගම

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් සඳුදා පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේදීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ එම රැස්වීමට පැමිණ සිටියහ. 

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පක්ෂයේ සංවත්සරය වෙනුවෙන් මෙම 7 වැනිදා කතරගමදි පැවැත්වීමට නියමිත පිංකම්මාලාව පිළිබඳවය. මහදේවාලය, කිරිවෙහෙර, වැඩිහිටි කන්ද සහ ඒ අවට සියලු දේවාලවල පූජා පැවැත්වීමට එම සාකච්ඡාවේ දී තීන්දු විය. පක්ෂයේ සංවත්සරය කතරගම දී පැවැත්වීමට යෝජනා කළේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාය. ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුවේ කථිකයන්ට මාතෘකා බෙදාදීමද මෙහිදී සිදුවිය. විපක්ෂය මතු කරන ගල් අඟුරු පිළිබඳ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ දී කතා කිරීම භාර වූයේ අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයාටය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  ප්‍රශ්නය ගැන කැමති මන්ත්‍රීවරයකුට කතා කළ හැකි බවද එහිදි තීන්දු කෙරිණි. ‘‘මේ දිනවල මහා සංඝරත්නයට හරියට අපහාස කරන බව පේනවා.. මම ඒ ගැන පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරනවා....’’ පක්ෂ නායක සජිත් එහිදී කීවේය.

ශ්‍රීලනිපයේ බුලත්සිංහල හිටපු සංවිධායකවරයකු සහ ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීනව තරග කර මන්ත්‍රීවරුන් හය දෙනකු පත් කරගත් තුසිත කුලරත්න සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ළඟට කැඳවාගෙන යාමට ජගත් විතාන මන්ත්‍රීවරයා ඉකුත් බ්‍රහස්පතින්දා පියවර ගත්තේය. බුලත්සිංහල සජබ සංවිධායකධූරය තුසිත කුලරත්න වෙත ලබාදීමට කටයුතු කරන බව සජබ නායක සජිත් එහිදී කියා සිටියේය. 

රාජපක්ෂ පවුලම පොලිසියේ

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් දෙදෙනකු ඉකුත් අඟහරුවාදා මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ රහස් පොලිසියෙන් කැඳවා තිබිණි. ශිරන්ති රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ එසේ කැඳවා තිබිණි. ශිරන්ති රාජපක්ෂ මහත්මිය කැටුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද පැමිණියේය. මහින්දගේ අතින් අල්ලා වාහනයෙන් බැස ශිරන්ති රාජපක්ෂ මුල්‍ය අපරාධ කොට්ඨාසයට ගිය අතර මහින්ද ටික වේලාවක් එහි බලා සිට වාහනයෙන් නැගී වෙනත් ස්ථානයකට ගොස් ශිරන්ති එනතුරු රැඳී සිටියේය. ශිරන්ති සහ නාමල් වෙනුවෙන් පාක්ෂිකයෝ විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියහ. ජානක වක්කුඹුර, ඉන්දික අනුරුද්ද, ශාන්ත බණ්ඩාර, රමේෂ් පතිරණ, ඩී.වී. චානක, සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ, ජානක මාදුගොඩ ඇතුළු හිටපු මැති ඇමැතිවරු විශාල පිරිසක්ද එහි පැමිණ සිටියහ.

එහිදී පොලිසිය ශාන්ත  බණ්ඩාර ඇතුළු පිරිසට කතාකර පැවසුවේ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් එහි පැමිණ සිටි පිරිස පාලනය කරගන්නා ලෙසය. ශාන්ත මන්ත්‍රීවරුන් සමග කතා කර එකිනෙකාගේ අතින් අත අල්ලා මහින්ද රාජපක්ෂ මහතා  සිටි වාහනයට ළංවීමට ඉඩ නොදි පිරිස පාලනය කර ගත්තේය. ශිරන්ති රාජපක්ෂ මහත්මිය නික්ම යාමෙන් පසු පාක්ෂිකයන් සහ මන්ත්‍රී පිරිස නාමල් කැඳවා තිබූ රහස් පොලිසිය අසලට ගොස් තම සහාය පළ කළහ. මැදගොඩ රාජමහා විහාරාධිපති වේගොල්ලේ රතනසාර හිමියන් ඉකුත් සතියේ අපවත් වූ අතර එම ආදාහන පුජෝත්සවයේ දී මහින්ද රාජපක්ෂ  නිකුත් කළ ශෝක ප්‍රකාශය කියවූයේ ද ශාන්ත බණ්ඩාර හිටපු මන්ත්‍රීවරයාය.

එකතුවෙන්න කලින් හොඳ හිත පෙන්වන්න

දිගු ගමන් යන්නට සියල්ලන්ටම එකතු වෙන්නැයි  ආණ්ඩුව ආරාධනා කරන අතර හිටපු ජනපති මෛත්‍රීලාගෙන් පළිගන්නට හදන්නේ ඇයිදැයි විපක්ෂ මන්ත්‍රීවරු විමසති.

"එකතු වෙන යෝජනා කරන්න කලින් එයාගේ හොඳ හිත පෙන්නන්න කියන්න. අනෙක අපි දැන් දන්නවා එයාට මේක කරගන්න බෑ කියලා.අයි.එම්.එෆ් එක්ක ගියත් දැන් රට හිරවෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා ව්‍යාපාරිකයන් දාලා රට ගොඩ ගන්නවා කිව්වා. 

දැන් මාස දෙකක් ගිහින්.ව්‍යාපාරිකයොත් නෑ. ගොඩගන්න එකත් නෑ.ව්‍යාපාරිකයොත් මහවැලි වතුර වගේ හේදීගෙන ගිහින්" රනිල් පවතින තත්ත්වය ගැන කෙටියෙන් අදහස් පළ කළේ එසේය.

"පැලවත්තේ ගමන අසාර්ථක වෙලා තියෙන්නේ. දැන් හරිනිගෙ ගමන අත්හදා බලනවා වගේ" හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කළේ සමාජ තත්ත්වයන් ගැන  විමර්ශනාත්මකව බලමින් කළ විවේචනයකි.

"ඇත්තටම දැන් මේ මිනිස්සු බුද්ධාගම අදහන්න යන්නේ අපේ පන්සලට. ඒ කියන්නේ ගංගාරාමෙට. ඒක කාගේ පන්සලද? තව එක පියවරයි තියෙන්නේ. ඒක තමයි සිරිකොතට යන එක" රනිල් කීවේ සියලු දෙනාගේ මුවඟට සිනා රැල්ලක් මතු කරමිනි.

අලුතින් බිහි වූ මේ බෞද්ධ මහෝපාසක පිරිසගේ ඉලක්කය ආගම කර මතින් තබාගෙන දකුණේ මිනිස්සු අලුතින් ඇන්දීම බව පැහැදිලිය.

ඒ වගේම පැලවත්තේ එකම කල්ලිය විවිධ අවස්ථාවලදී හැසිරෙන වෙනස් විදි ගැන සමාජයේ කතාබහක් මතුව තිබේ.

අනුර ජනාධිපති කියන දේට පරස්පර දෙයක් දිලීප පීරිස්  කියයි. ශානි අබේසේකර තව එකක් කරයි.
"වේගෙන් යන්න පුළුවන් එකා වේගෙන් යන්න ඕන නේද? එදා ජේ.ආර් ජයවර්ධනට හයෙන් පහක බලයක් තිබුනා.කොච්චර වේගවත් ගමනක් දීලා ගියේ.ඒ වගේම ඒ ගමන දිගුයි" රනිල් කීවේය.

එජාපය ඩිජිටල් වෙයි

එජාපය ඩිජිටල් කරන උත්සවය නිදහස් දවසේ හවස නායක රනිල්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මූස්ථානයේදී මහා ඉහළින් පැවැත්විණි. එජාප නායකයෝ සියල්ලෝම ඊට සහභාගී වූහ.

මෙහිදී ශ්‍රී ලංකාව පුරා සියලුම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ඩිජිටල් පාලක සම්බන්ධීකාරකවරුන් (Digital Ward Coordinators) පත් කිරීම නිල වශයෙන් ඇරැඹුණු අතර  මූලිකව පාලක සම්බන්ධීකරණ නිලධාරීන් දහසක් පත් කෙරිණි.

ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ නව යු.එන්.පී ජංගම යෙදුම (UNP App) ඉදිරියේදී නිල වශයෙන් හඳුන්වා දීමට නියමිතව තිබේ.මෙම යෙදුම මගින් පක්ෂ සාමාජිකයන්ට, සංවිධායකයන්ට සහ ජනතාවට තොරතුරු හුවමාරු, දැනුවත් කිරීම සහ සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා නව ඩිජිටල් වේදිකාවක් සැපයීම අරමුණු කරයි.

මෙම ඩිජිටල් දියත් කිරීමේ තවත් වැදගත් අංගයක් ලෙස, සිරිකොත පක්ෂ මුලස්ථානයේ ස්ටාර් ලින්ක් අධිවේගී අන්තර්ජාල පහසුකම නිල වශයෙන් ආරම්භ කිරීමද සිදු කෙරිණි.

මේ ඩිජිටල්කරණ වැඩසටහන අමතමින් නායක රනිල් කීවේ නව 

බුද්ධිමත් දේශපාලනය වැළඳ ගන්නා නව පරම්පරාවේ නායකත්වයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙමින් සිටින බවයි. 

පක්ෂය සහ සමස්තයක් ලෙස ජාතිය අනාගතයේදී නව පරම්පරාවේ තරුණයින්ට භාර දිය යුතු බවයි.

“මගේ වයස අවුරුදු 70 ට වැඩියි. මෙහි අවුරුදු 70 ට වැඩි අය ඉන්නවා, සමහරුන් අවුරුදු 60 ට වැඩියි, තවත් සමහරු අවුරුදු 50 ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු බිහි වූ පරම්පරාව ගැන සිතීමට කාලය පැමිණ තිබෙනවා. ඒ පරම්පරාවේ අයට පක්ෂ සහ දේශපාලනය භාර දීමේදී එක්සත් ජාතික පක්ෂයටත් නායකත්වය දීමට සිදුවනු ඇති යනුවෙන්ද නායක රනිල් එහිදී පැවසීය.

රාජ දූත