
කාලයක් තිස්සේ ලංකාවේ ධනපති දේශපාලන කඳවුර ලෙස හැඳින් වූයේ අලියා ලාංඡනය ඇති එක්සත් ජාතික පක්ෂයය. ඒ අයුරින්ම මහ පාරේ දේශපාලන අරගලයක් නම් කාගේත් ඇඟිල්ල දිගු වූයේ ජවිපෙටය. ජවිපෙ ඒ ලෙසම මෑත කාලයේ බලයට ඒමට පෙර සියලු මහ පාරේ සටන්වලට නායකත්වය දුන්නේය. වෙනතක් තබා විවිධ කණ්ඩායම් එක්ව ආරම්භ කළ ගාලු මුවදොර ‘‘“ගෝඨා ගෝ ගම’’ රටේ ජනතාව අතර ප්‍රචලිත වූයේත් ජවිපෙ වැඩක් හැටියට ය. ජවිපෙට ආණ්ඩුව ලැබුණේත් ගම්දනව් පුරා පැතිර ගිය එම මතවාදය නිසාය. එහෙත් දැන් ජවිපෙ ආණ්ඩුව පවතිද්දීත් මහ පාරේ සටන් ඇතිව තිබේ. ඒ සටන්වලට නායකත්වය දෙන්නේ කවුද? මහ පාරේ අරගලයේ ජවිපෙ ඒකාධිකාරය ඉවර ද? ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඉකුත්දා මාරාන්තික උපවාසයක් ඇරඹූ උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ අරගලය කුඩා වුවත් එය ජවිපෙ ආණ්ඩුවේ හෘද සාක්ෂියටම වැදුණු අරගලයක් බවට පත්විය. මාරාන්තික උපවාසයක් දක්වා වර්ධනය වූ එම අරගලයට සහාය දෙමින් සිටින කණ්ඩායම් අතර ජවිපෙ හෝ මාලිමාවේ කිසිවකුත් නැත. අරගල භූමියට පැමිණ සහාය දීම රජයකට කළ නොහැකි අතර අරගලයට තුඩුදුන් හේතු ඉවත් කිරීම රජයට කළ හැකිය. එහෙත් රජය දින ගණනක් ගත වනතුරුම එවැනි වෑයමක නොයෙදුණේය. අතීතයේ දී ජවිපෙ සහ මාලිමාව මෙවැනි ප්‍රශ්න තමාගේ බවට පත්කරගෙන මහ පාරේ අරගල කළ ආකාරය රටට අමතක නැත.
ප්‍රභූ දේශපාලනය යළි නැගිටීමක් සිදුවුවහොත් එය සිදුවන්නේ රතු තරුවේ දේශපාලනයේ බිඳවැටීමක් හේතුවෙනි. රතු තරුවේ දේශපාලනය සමන්විතව ඇති ජනබලය. වෘත්තීය සමිති බලය බිඳ දැමුණු විටක ප්‍රභූ දේශපාලනයට යළි හිස එසවීමට හැකිවේ.
රතු තරුවේ දේශපාලනය නොසිතූ ආකාරයට පාලන බලය ලබාගත් ගාලු මුවදොර ජනබලය පිළිබඳ පශ්චාත් විග්‍රහයක් මාලිමාව හා ජවිපෙ විසින් සිදු කළේ නම් ආණ්ඩුව දැනට වැටී ඇති ඇතැම් දුෂ්කරතාවලින් ගොඩ ඒමට හැකියාව තිබිණි. කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් එක්ව රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට අරගල කළ ද එම අරගලයෙන් පසු බලය ලබා ගත්තේ ජවිපෙ ප්‍රමුඛ මාලිමාව පමණකි. එකට සටන් වැදුණු බොහෝ පිරිස් ජවිපෙ මාලිමා දේශපාලනය සමාන අදහස් දැරුවන් වුවත් ඔවුන්ට මාලිමා කඳවුරෙන් මහ මැතිවරණයට තරග වැදීමේ අවස්ථාව අහිමි විය. මෙම පිරිස පාර්ලිමේන්තුවට ගැනීමට මාලිමාව බුද්ධිමත් වූයේ නම් මේ වන විට ප්‍රභූ දේශපාලනය තවදුරටත් දුර්වල වීමට ඉඩ තිබිණි. අනුර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය ලබා ගත්තේ ප්‍රභූ දේශපාලනයේ බෙදීම උපයෝගී කරගෙනය. ජයග්‍රහණය ලබා ගත්තේද සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවකිනි. මහා මැතිවරණය තුනෙන් දෙකකින් ජය ගැනීමට ‘‘“ප්‍රභූ’’ පක්ෂවල බොහෝ හිටපු මන්ත්‍රී පිරිසක් තරග නොවැදීම ද හේතුවිය. මෙම අවස්ථාවේ ගාලුමුවදොර සටන් සගයනුත් තම මහ මැතිවරණ ලැයිස්තු තුළට ඇතුළත් කර ගත්තේ නම් ශක්තිමත් කථිකයන් පිරිසක් මාලිමා රජයට ලැබීමට ඉඩ තිබිණි. අද මාලිමා රජය මන්ත්‍රීවරුන් 159 දෙනකුගෙන් සමන්විත වුවත් ජනප්‍රිය හා ආකර්ෂණීය කථිකයන් සිටින්නේ අතළොස්සකි. රැල්ලට ‘‘රොඩු’’ ද ඒකරාශීවීම මෙරට තුනෙන් දෙකේ බහුතරය තිබූ ආණ්ඩුවල දී දැකගත හැකි විය. ජේ.ආර්.ගේ 1977 ජයග්‍රහණයේද එවැනි ‘‘රොඩු’’ සිටියද ජනප්‍රිය ආකර්ෂණශීලී කථිකයෝද බොහෝ සිටියහ. ඒ නිසා එම රජය බිඳදැමීම පහසු වූයේ නැත. එහෙත් 2020 ගෝඨාභය රජයට තුනෙන් දෙකේ බහුතර බලයක් තිබුණද “රැල්ලට ආ ‘‘රොඩු’’ හේතුවෙන් එම රජය රැක ගැනීමට ශක්තිමත් කථිකයෝ නොසිටියහ. වත්මන් මාලිමා රජය ද එවැනිම කථික හිඟයකින් පෙළෙයි.
අද වන විට විපක්ෂයේ බොහෝ දේශපාලකයන් පිළිගන්නා කරුණක් නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමල් රාජපක්ෂ යටතේ යම් වර්ධනීය ඉදිරි ගමනක නියැළෙමින් සිටින බවය. එය ආණ්ඩුව පෙරලීම සඳහා මේ මොහොතේ ප්‍රමාණවත් ජනබලයක් නොවනමුත් වෙනත් පක්ෂවලට වඩා රටේ සියලු අංශ සමග බැඳුණු බිම් මට්ටමේ දේශපාලනයක නියැලී සිටියි. ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධියේ දී විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ක්‍රියාශීලිව මැදිහත් වූ අතර පළාතේ වෙනත් පක්ෂ එම අවස්ථාව ප්‍රයෝජනයට ගත්තේ නැත. නාමල් යටතේ පොහොට්ටුව තුළ රාජපක්ෂ පවුලේ සහ පිරිවර අවම බවක් දැනට පෙනෙයි. අලව්ව සමුපකාර ඡන්ද විමසීමේදී ද එම පක්ෂය ජයග්‍රහණය කළේ ආණ්ඩු පක්ෂයට ප්‍රබල අභියෝගයක් වෙමිනි.
ගෙවී ගිය මහ මැතිවරණ සමයේ ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ ව්‍යාපාරයක් වී ඇති දේශපාලනය මහජන සේවයක් බවට පත් කරන බවය. ‘‘“අපේ රටේ දේශපාලනය කියන්නේ බිස්නස් එකක්. ඡන්ද බලය ලබාගෙන ආණ්ඩු බලය උපයෝගී කරගෙන ධනයා උපයා ගන්නවා. ගෙවල් ගන්නවා. තේ වතු ගන්නවා. එය ලබා දේශපාලනය මුදල් ඉපැයීමයි. ව්‍යාපාරයක් බවට පත්වී ඇති මේ දේශපාලනය ජාතික ජන බලවේගයෙන් මහජන සේවයක් බවට පත් කරනවා’’ යැයිද ජනාධිපතිවරයා පැවසුවේය.
වසර ගණනාවක් තිස්සේ වත්මන් ජනාධිපතිවරයාත් ඒ මහතාගේ පක්ෂයක් පවසා සිටියේ රට කරවන ආණ්ඩුවල දේශපාලකයන් දේශපාලනය බිස්නස් එකක් බවට පත්කර ගෙන ඇති බවය. නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල්අඟුරු ගෙන ඒම ජාවාරමක් වී ඇතැයි මාලිමාව කියා සිටියේය.
අලුත් ආණ්ඩුවක් හෙයින් ගෑස් ගල් අඟුරු, ඛනිජ තෙල් බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය දේ එතෙරින් ගෙන්වන කොන්ත්‍රාත්තුව අලුත් වන්නේය. ජාතික ජන බලවේගය මැතිවරණ සමයේදීත් ඉන් පෙරත් කියා සිටියේ මෙවැනි මහා පරිමාණ ආනයන සිදු කෙරෙන්නේ ඒ ඒ ඇමැතිවරයාට කොමිස් මුදලකුත් සමග බවය. ඔවුන් කියා සිටි ඒ ඇමැතිවරුත් දැන් නැත. පත්ව සිටින්නේ අලුත්ම කැබිනට්ටුවකි. ඒ කැබිනට්ටුවේ කිසිවකුත් කලින් ඇමැතිධුර නොදැරූ අයය. ඔවුහු දූෂණයට වංචාවට කොමිස් ගැනීමට පුරුදු වූ අයද නොවන්නෝය ඒ නිසා ගෑස් ගල් අඟුරු ඛනිජතෙල් සහ බෙහෙත් ආනයනයේදී ඒවා නිෂ්පාදනය කරන රටක රජය හරහා ලබා ගැනෙනු ඇතැයි ජනතාව සිතුව ද එසේ සිදු වූයේ නැත.
ජාතික ජන බලවේගයට මෙවැනි අති විශාල ජයග්‍රහණයක් ලැබුණේ පැවැති ආණ්ඩු ජනතාවට අප්‍රසන්න වී තිබූ නිසාය. දේශපාලනයට මුවා වී ජාතික ධනය කොල්ලකන චෞර යන්ගෙන් රට මුදාගැනීමට දිගු කලක සිට ජනතා පෙළ ගැස්මක් තිබුණද එය වඩාත් උච්ච ජනතා බලවේගයක් බවට පත් වූයේ ගෙවුණු දශක එක හමාරක පමණ කාලය තුළ පෙළ ගැසුණු තරුණ පරම්පරාව නිසාය. 1987 දී ද මෙවැනිම තරුණ පරම්පරාවක් චෞර පාලකයන් පලවා හැරීමට පෙළගැසී සිටිය ද ඔවුන්ට නායකත්වය දුන් පිරිස ඒ සඳහා තෝරාගත් සන්නද්ධ ක්‍රියාමාර්ගය හේතුවෙන් සම්පූර්ණ පෙළ ගැස්මට ලෙයෙහි සහ කඳුළෙහි ගිල්වා දැමිණි. ඉන්පසු 2015 දී විශාල ජන බලයකින් එවකට පැවැති ආණ්ඩුව පෙරළා දැමුව ද ආණ්ඩුව භාර ගත් පිරිස තමන්ට බලය ලබාදුන් ජනතා බලවේගයේ අරමුණු ඉටු කිරීමට අසමත් විය. ජනතාව සරල නායකයෙක් ලෙස තෝරාගත් මෛත්‍රීපාල සිරිසේන ජනතාව සිතූ තරම් සරල නායකයකු නොවීය. ජනතාව මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති පදවිය පිරිනැමූ විට ඔහු සමගම රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දීම ජනතාව විමතියට පත් කළේය. ඒ සමගම කිසිදා ජනවරමින් බලයට පත්වන්නට නොහැකි පිරිසක් ඇමැතිධුරවලට පත්වෙද්දී ජනතාව තව තවත් විමතියට පත් වූයේ තමන් පැතූ වෙනස සිදු නොවන බව පැහැදිලිව පෙනී ගිය නිසාය.
එම ආණ්ඩුව පෙරලා දමමින් 2020 දී ගෝඨාභය රාජපක්ෂව ලබාදුන් අති විශාල තුනෙන් දෙකේ බලයද ඔහු යොදා ගත්තේ ජනතා අපේක්ෂා ඉටු කිරීමට නොව පවුලේ ඥාතීන් හැත්ත බුරුත්තම රාජ්‍ය පාලනයේ කුමක් හෝ තනතුරක් ලබා දෙන්නටය. අයියලා මල්ලිලා නැන්දලා බාප්පලා පමණක් නොව වත්තේ හරක් බලන්නන් පවා ඇමැති තනතුරුවලටත් රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලටත් තානාපති සේවයටත් පත් කෙරිණි. ජනමතය පැතුවේ එය නොව රාජ්‍ය තන්ත්‍රය පිරිසිදු කිරීමේ පාලනයකි. ඔහු හමුදා නිලධාරියකු හෙයින් හමුදා විනය රාජ්‍ය පාලනය සඳහා මනා ලෙස යොදා ගනු ඇතැයි ජනතාව ඔහුට ඡන්දය ලබාදෙද්දී බලාපොරොත්තු වූහ. එහෙත් සිදු වූයේ එයට හාත්පසින්ම වෙනස් පවුලේ පාලන ක්‍රමයක් ඔහු යටතේ පිහිටුවීමය.
මෙවර ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන්නේ ද ජනතා විමුක්කි පෙරමුණේ පාලනයක් බිහි කිරීමට නොවේ. මෙරට රාජ්‍ය දූෂණය නතර කරන බවටත් කොමිස් ගන්නා දේශපාලනය නතර කරන බවටත් මැති ඇමැති වරප්‍රසාද නතර කරන බවටත් කොල්ල කෑ ධනය යළි ලබා ගන්නා බවටත් අනුර කුමාර දිසානායක ලබා දුන් පොරොන්දු ගැන විශ්වාස කිරීමෙනි. රෝහණ විජේවීර ප්‍රාර්ථනා කළ පාලනය බිහිකිරීමට ජනතාවට වුවමනා වූයේ නම් 1998 සිට ජවිපෙ තරග කළ සියලු මැතිවරණවලදී ජනතා අනුමැතිය ලැබෙන්නට අවස්ථාව තිබිණි. එහෙත් එය සිදු නොවූයේ ජවිපෙ හා විජේවීර පැතූ දේශපාලන වෙනස සිදු කිරීමට ජනතාවට වුවමනා නොවු නිසාය. ජනතාව විශ්වාස කළේ ජවිපෙ නොව ජාතික ජන බලවේගය නමින් අනුර කුමාර දිසානායක ආරම්භ කළ අලුත් ගමනය. එම අරමුණ ගැන දැන් සැක සංකා මතුවෙමින් තිබේ.
රතු තරුවේ දේශපාලනය පිළිබඳව ඔවුන්ට සාම්ප්‍රදායිකව විරුද්ධ අනෙකුත් පක්ෂ බලන්නේ වෙනත් කෝණයකිනි. ඔවුන් කියන පරිදි මේ වන විට මාලිමා ඡන්දදායකයන් අති විශාල ප්‍රතිශතයක් ඉවත් වී සිටින අතර ජවිපෙ ඡන්දදායකයාද දුර්මුඛව සිටී. එයට හේතුව නම් දිනෙන් දිනම වෙනත් පක්ෂ අරගලකාරී දේශපාලනයකට පිවිසීම සහ රාජ්‍ය පාලන සම්ප්‍රදාය පාරම්පරික ජවිපෙ සාමාජිකයාට අනුගත නොවීමය. පාරම්පරික ජවිපෙ සාමාජිකයා දේශපාලනය ලෙස දකින්නේ අරගලයත් සමග යන සටන්කාමී දේශපාලනයකි. එහෙත් වත්මන් රජය තුළ එවැනි සටන්කාමීත්වයක් නැත. රනිල් වික්‍රමසිංහ වැනි පාරම්පරික ජවිපෙ විරෝධීන්ට දඬුවම් පැමිණවීමට රජය පියවර නොගන්නා බව ඔවුන්ගේ මතය වේ. මේ මතය 1987-89 භීෂණ සමයට මුහුණ දුන් බොහෝ ජවිපෙ හිතවතුන් තුළ ඇත.
මේ හේතුවෙන් ජාතික ජන බලවේගයට රජය කරගෙන යාමට ඉඩදී ජවිපෙ රජයෙන් ඉවත් විය යුතු බවට මතයක් ජවිපේ පැරණි සාමාජිකයන් තුළ පවතී. එවැනි වෙනසක් සිදුවිය හැකිදැයි අප තවමත් නොදන්නා මුත් වෙනත් පක්ෂ මහපාරේ අරගලවලට එක්ව සිටින විට පැරණි ජවිපෙ සාමාජිකයා නොසන්සුන්වීම වැළැක්විය නොහැකිය. ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත් වී මාලිමාවට ආණ්ඩුව කරගෙන යාමට ඉඩදිය යුතු බවට වූ මතය ජවිපෙ අභ්‍යන්තරයේ සාකච්ඡා වී ඇතැයි විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ ආණ්ඩු විරෝධී අරගල කිහිපයක් ම මතුවෙමින් පවතින පසුබිමකය. එය අද සිදු නොවූවත් අරගල දේශපාලනයට යළි පිවිසුණේ නැතිනම් ජවිපෙ දේශපාලනයට මාරාන්තික පහරක් වදින බව නම් නිසැකය.
ප්‍රේමකීර්ති රණතුංග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd