නිරෝෂණ කුමාර

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන්වූ හැට දහසක් පමණ තවමත් කඳවුරුවල වාසය කරන අතර ඔවුනට මෙතෙක් සාධාරණයක් ඉටු වී නැතැයි මලෛයගම් ප්‍රතිසංස්කරණය සඳහා වූ සිවිල් එකමුතුවේ කැඳවුම්කරු නඩේෂන් සුරේෂ් පැවසීය. ඔවුන්ට දැනට ඇති ප්‍රධාන ගැටලු‍ව වී ඇත්තේ සුළි කුණාටුවෙන් විනාශ වූ නිවෙස්වලට වන්දි ලබා ගැනීම බවද ඔහු  පවසයි.

විනාශ වූ නිවාසවලට ඔප්පු නොමැති වීම නිසා වන්දි මුදල ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී ඇතැයි ඔහු කියයි. ලක්ෂ දහයක පමණ මලෛයගම් ජනතාවක් සිටියද ඔවුන්ගෙන් හැටදහසක් පමණ තවමත් පාසල්වල, පුනරුත්ථාපන මධ්‍යස්ථානවල, අවතැන් කඳවුරුවල වාසය කරන අතර මාස 3ක් ගත වුවද මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නැතැයිද ඔහු චෝදනා කළේය.

ඔහු වැඩි දුරටත් මෙසේද කීය.

“ඇතැම් දරුවන්ගේ පාසල් අධ්‍යාපනයද කඩාකප්පල් වෙලා. තවමත් සාධාරණයක් ඉටු වී නැති මේ ප්‍රජාවට සාධාරණයක් ඉටුකර දෙන ලෙස  ජනාධිපතිවරයාට සන්දේශයක් බාරදීම සඳහා අත්සන් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් පසුගියදා මහවැලි කේන්ද්‍රයේදී ආරම්භ වුණා. පාසල්වල නවාතැන් ගෙන සිටින අවතැන් වූවන්ට පාසල් කාලයේදී ඉන් පිටතට ගොස් නැවත පාසල් නිමවූ පසු පැමිණීමට සිදුවීම ඉතා දුෂ්කර කටයුත්තක්.”

මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති සාකච්ඡාවට වතුකරයේ ජනතා හඬ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඇන්තනි ජේසුදාසන් හා අවතැන්වූ මලෛයගම් ජනතාවද සහභාගි වී ඇත. වන්දි ලබා ගැනීමට චක්‍රලේඛයක් නිකුත් කළද නිවාසවල ඔප්පු නොමැති නිසා වන්දි ලබාදීමට නිලධාරීන් කටයුතු නොකරන්නේ ඔවුන් නීතිය හමුවට යාමට සිදුවෙතැයි යන බිය නිසා බවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.