සුජිත් හේවාජුලිගේ

ඉන්ධන හිඟය හේතුවෙන් නුවරඑළිය, අනුරාධපුර, දඹුල්ල සහ කතරගම යනාදී විශේෂ සංචාරක සහ ආගමික නගර මේ දිනවල පාළුවට ගොස් ඇතැයි වාර්තා වේ. 

බලශක්ති අර්බුදය හේතුවෙන් ඉන්ධන සීමා කිරීමත් සමග බොහෝ අය විනෝද සංචාර සහ ආගමික කටයුතු කල්දැමීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී තිබෙන බව ප්‍රාදේශීය ලේකම්වරු පවසති. 

මේ අතර බලශක්ති අර්බුදය හේතුවෙන් අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින්නැයි රජය පසුගියදා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ඉන්ධන හිඟය හේතුවෙන් විනෝද සංචාර සඳහා බස් රථ යෙදවීමද අඩු කර ඇතැයි වාර්තා වේ. පොදු ප්‍රවාහනය භාවිත කරන විදේශීය සංචාරකයෝද මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

ජනතාවගේ පැමිණීම අඩුවීමෙන් දිවයින පුරා හෝටල් සහ සංචාරක අවන්හල් හිමියන්ද දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ.