නිරෝෂණ කුමාර

උතුරේ ජනතාව බලාපොරොත්තු වන්නේ ඒකීය රාජ්‍ය සංකල්පයක් නොව එක්සත් රාජ්‍ය සංකල්පයක් බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා තමිල් මක්කල් කුට්ටනි පක්ෂයේ නායක සී. වී. විග්නේෂ්වරම් පවසයි. 

නව ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සකස් කරන විට ඒකීය රාජ්‍ය සංකල්පය ඇතුළත් කළ හොත් ගැටලු‍ රැසක් නිර්මාණය වීමට ඉඩ ඇතැයි ඔහු පෙන්වා දෙයි. 

එක්සත් රාජ්‍ය සංකල්පයෙන් සැමට බලය බෙදී යාමක් සිදුවන අතර එමගින් ප්‍රශ්න රැසකට විසඳුම් ලබාදීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද උතුරේ බොහෝ ප්‍රශ්නවලට කාලයක් පුරා විසඳුම් ලබාදීමට නොහැකි වූයේ ඒකීය රාජ්‍යය නිසා බව ද හෙතෙම පෙන්වා දෙයි. 

මේ නිසා එක්සත් රාජ්‍ය සංකල්පයෙන් උතුරු නැගෙනහිර පළාත් සභාවලට බලය බෙදා දුන හොත් පළාත් දෙකෙහි සිටින ජනතාවට අදාළ පළාත් සභාවලින් සිය කාර්යයන් ඉටු කිරීමට හැකි වන බව ද ඔහු සඳහන් කළේය. ඒකීය රාජ්‍ය සංකල්පයෙන් එක් පාර්ශ්වයකට බලය හිමි වෙන අතර එක්සත් රාජ්‍ය සංකල්පයෙන් බලය බෙදි යන බව ද ඔහු පෙන්වා දෙයි.